මේරි | සිළුමිණ

මේරි

මේරි යනු රුසියාවේ උපත ලැබූ චිර ප්‍රසිද්ධ ලේඛක ව්ලදිමිර් නබකොව්ගේ (1899 - 1977) ප්‍රථම කෘතිය වන රුසියානු බසින් රචිත Mawehbka නම් කෙටි නවකතාවේ සිංහල පරිවර්තනයයි. මෙය මයිකල් ග්ලෙනි විසින් 1970 කර්තෘගේ සහාය ඇතිව කරන ලද Mary නම් ඉංග්‍රීසි පර්වර්තනය ඇසුරින් සිංහලට පරිවර්තනය කරන ලද බව සඳහන් ය.

නබකොව්ගේ සියවස් ගණනක් පැරණි පරපුරකින් පැවතෙන තතාර් රුසියානුවෙකි. ඔහුගේ පියා වු වී.ඩී. නබකොව් විප්ලවයට පෙර රුසියාවේ නමක් දිනූ නීතිවේදියෙක්, විද්වතෙක්, මාධ්‍යවේදියෙක් මෙන් ම දේශපාලනඥයෙක් ද විය. 1917 ඔක්තොබර් විප්ලවයෙන් පසු ඔහු ක්‍රිමියාවේ ඇමතිවරයෙක් විය. ඉන්පසු නබකොව් පවුල ජර්මනියට සේන්දු වූහ.

ගත්කරු ව්ලදිමිර් නබකොව් උපන්නේ පීටර්ස්බර්ග් නුවර ය. එහි සරසවියක අධ්‍යාපනය ලබන අවධියේ 1917 වසරේ ඔහු සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළි දැක්වී ය. ඔහු සිය කුලුඳුල් නවකතාව වන මේරි එළි දක්වන්නේ 1926 වසරේ ය. රුසියානු, ඉංගිරිසි සහ ප්‍රංස භාෂාවල හසළයකු වූ නබකොව් සිය මුල් නවකතා 7 රචනා කරන්නේ රුසියන් බසිනි. චිර ප්‍රකට ‘ලොලිටා’ ඔහුගේ ප්‍රථම ඉංගිරිසි නවකතාවයි.

මේරි යනු විප්ලවයෙන් පසු රුසියාවේ සිට ජර්මනියට සංක්‍රමණය වු ලෙව් ග්ලෙබොවිච් ගැනින්ගේ කතාවයි. පාඨකයාට හමුවන විට ඔහු ජර්මනියේ බර්ලින් නුවර කාමර කුලියට දෙන නිවෙසක වෙසෙයි. වසර සඳහන් නොවෙතත් ඒ 1917 - 20 අතර කාලයේ විය යුතු ය. එහි ඔහු වෙසෙන්නේ ගෙහිමි කත වන ලිඩියා නිකොලෙයෙව්නා ද තරුණ කාර්ලා, වයස්ගත කවියකු වන පොද්යාගින් සහ අලෙක්සෙයි ඉවානවිච් අල්ෆ්යොරොව් ද බැලේ නර්තන ශිල්පීන් වූ කොලින් සහ ගොර්නොත්ස්වෙතොව් ද සමග ය. සියල්ලෝ අතීත රුසියානුවෝ ය.

නින්ද නොයන රැයෙක ගැනින්, අල්ෆ්යොරොව්ගේ කාමරයට පිවිසෙයි. කතාබහ අතරතුර අල්ෆ්යොරොව් සිය බිරින්දෑ වන මේරිගේ සේයාරුවක් ඔහුට පෙන්වා ඇය ගැන විස්තර කරයි. තව දින කිහිපයකින් ඇය තමා හා වසන්නට මෙහි එනු ඇති බව ඔහු පවසයි. සේයාරුව දුටු වහාම ගැනින් කැලඹෙයි. ඒ ඔහුගේ අතීත පෙම්වතියයි. ඔහු වහා කාමරයෙන් පිටව යයි.

ගැනින් මේ නගරයේ වෙසෙන ලුද්මිලා නම් තරුණියක් සමග සබඳතාවක් පවත්වා ගෙන යයි. ඇය ක්ලාරාගේ මිතුරියයි. මේරි පැමිණෙන ආරංචියෙන් නැවුම් බලාපොරොත්තු ඇති කැර ගන්නා ගැනින් ලුද්මිලා සමග සබඳතාව අත්හැර දමයි.

ගැනින්ගේ අතීත සැමරුම් ඉන්පසු දිග හැරේ. එවකට ඔහු සොළොස් හැවිරිදි වන අතර ඇය පාළොස් හැවිරිදි ය. ඔවුන් දෙනොගේ ප්‍රථම හමුවීම ප්‍රේමය ලියලා වැඩුණු අයුරු මනරම් අයුරින් ඔහු සටහන් තබයි. රුසියාවේ ඔවුන්ගේ පිටිසර ගමේ දී පමණක් නොව පීටර්ස්බර්ග් නගරයේ දී ද ඔවුන් අතර සබඳතාවේ මිහිරි සැමරුම් ගැනින් ඉදිරිපත් කරයි. ඔහු සන්තකයේ ඇය එවූ ලිපි හතරක් ඇත. සැමරුම් ඉදිරිපත් කිරීමේ දී ඔහු ඒවා ද ඇසුරු කැර ගනියි. ඇගේ එක් ලිපියක පොද්යාගින්ගේ කවියක පේලි කිහිපයක් ඇත. තමන් හා දැන් මේ නිවසනයේ වෙසෙන්නේ ඒ පොද්යාගින් ම ය.

පොද්යාගින්ගේ සිද්ධිය අතුරු කතාවක්සේ ඉදිරිපත් වෙයි. ඔහු ජර්මනියෙන් පැරිසියට යාමට වෙර දරන්නෙකි. අවස්ථා කිහිපයක දී ම උත්සාහ කළත් ඔහුගේ ප්‍රයත්නය තවමත් සාර්ථක ව නැත. ගැනින් අදාළ රජයේ කාර්යාලයට ගොස් එය ඉටු කැර දෙයි. එහෙත් පොද්යාගින් උද්යෝගය වැඩිකම නිසා ම ආපසු එන ගමනේ දී ලියකියවිලි සියල්ල නැති කැර ගනියි.

මේරි බර්ලින් වෙත ළඟාවන දිනට පෙර දින ගැනින් තමා හෙට පැරිසියේ වාසයට යන බව නිවේදනය කරන්නේ යටි අරමුණක් ඇති ව ය. ඇය එන වේලාවට අල්ෆ්යොරොව් මග හැර ඇය මුණ ගැසී ඇය ද කැටුව පලා යන අදහස ඔහුගේ සිතේ වෙයි.

එදා රැයේ ගැනින් වෙනුවෙන් සමුගැනීමේ සාදයක් පැවැත්වේ. එය සැලසුම් කරන්නේ නෘත්‍ය ශිල්පීන් දෙදෙනා විසිනි. අල්ෆ්යොරොව් ප්‍රමෝදය නිසා ම බි වෙරි වී නිදන්නට යයි. ඊට පෙර ඔහු දුම්රිය ළඟා වන්නට පෙර වේලාවකට එලාමය සකස් කොට තබා තමා කූද්දන ලෙස ගැනින්ගෙන් ඉල්ලා සිටියි. ගැනින් එලාමය වෙනස් කර ඇයගේ දුම්රිය එන වේලාවට ඇය හමුවන්නට සිතා පිටත් වෙයි. එහෙත් අවසන් මොහොතේ සිය අදහස වෙනස් කරන ගැනින් වෙනත් දුම්රියක නැඟී පැරිස් බලා පිටව යයි. එහි දී ඔහු සිතමින් සිටින්නේ වීසා නැතිව පැරීසියට ඇතුළු වන්නේ කෙසේ ද යන්න ගැන ය.

නබකොව්ගේ මේරි ඉතා සුන්දර කෙටි නවකතාවක් සේ විචාරකයෝ දකිති. මෙහි අන්තර්ගතය ඔහුගේ සැබෑ ජීවිතය හා බැඳී ඇති අතර ඔහු මෙහි ගොනු කරන්නේ ඒ සත්‍ය අත්දැකීම් ය. එහෙත් නව ප්‍රබන්ධයක් ලෙස මෙය ඉතා අපූරු එකකි. මේ කෘතිය මුද්‍රණයෙන් නිකුත් වූ වහාම රුසියානු බස කියවන්නට දත් පාඨකයන් විසින් එය ආදරයෙන් වැළඳ ගන්නා ලද බව සඳහන් ය.

ඩී.එම්.එස්. ආරියරත්නගේ කෘතියක් වන ‘මේරි’ 2009 වසරේ දී සුභාවි ප්‍රකාශකයන් විසින් එළි දක්වන ලදී.

අදහස්