බුකර් ත්‍යාගයට මුදල් දෙන්න ක්‍රැන්ක්ස්ටාර් පෙරමුණට | සිළුමිණ

බුකර් ත්‍යාගයට මුදල් දෙන්න ක්‍රැන්ක්ස්ටාර් පෙරමුණට

බුකර් සාහිත්‍ය ත්‍යාගය සඳහා වසර 18ක කාලයක් තිස්සේ අනුග්‍රාහකත්වය දැක්වූ මෑන් බුකර් සමූහය සිය අනුග්‍රාහකත්වය අවසන් කිරීමෙන් පසු මේ වසරේ සිට එහි නව මූල්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට මයිකල් මොරිට්ස් සහ හැරියට් හේමන් යන අඹුසැමි යුවළ විසින් පවත්වාගෙන යනු ලබන ක්‍රැන්ක්ස්ටාර්ට් නමැති පුණ්‍යාධාර සංවිධානය එකඟතාව පළ කර තිබේ.

ආරම්භයක් වශයෙන් වසර පහක කාලයක් සඳහා පිරිනැමෙන මේ අනුග්‍රාහකත්වය එයින් පසුව තවත් වසර පහක් දක්වා දීර්ඝ කිරීමටද ඔවුන් එකඟ වී තිබේ. ඔවුන් මෙහිදි පිරිනැමීමට අපේක්ෂා කරන අනුග්‍රාහක මුදල කොපමණදැයි මෙතෙක් අනාවරණය කර නැත.

එංගලන්තයේදී ඉංග්‍රීසි බසින් පළ කෙරෙන ඕනෑ ම ප්‍රබන්ධ කෘතියක් මේ ත්‍යාගය සඳහා ඇතුළත් කර ගැනීමට මෑතකදී ගත් තීරණය වෙනස් කිරීමට ඒ මුදල් වටිනාකම කොතරම් ද යන කරුණ අදාළ නොවන බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර වෙනත් භාෂාවකින් රචනා කර, ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ ප්‍රබන්ධ කෘති සඳහා ද අන්තර්ජාතික බුකර් ත්‍යාගය නමින් වෙනම ත්‍යාගයක් ඇරඹීමට සැලසුම් කර ඇති බවත් ඔවුහු පවසති.


බුකර් ත්‍යාගය සඳහා නිර්දේශ ලැයිස්තුව ප්‍රකාශ වේ

ලොව පුරා විවිධ රටවල විවිධ භාෂාවලින් පළ වූ කෘති වල ඉංග්‍රීසි පරිවර්තන අගයමින් පිරිනැමෙන ලොව ඉහළ ම සාහිත්‍ය සම්මානයක් වන බුකර් ත්‍යාගය සඳහා 2019 වසරට අදාළ කෙටි නිර්දේශ ලැයිස්තුව පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. මෙවර කෙටි ලැයිස්තුවට ලේඛිකාවන් වැඩි පිරිසක් ඇතුළත්ව තිබීම විශේෂ කරුණක්.

විවිධ භාෂා 25 කින් කෘතීන් 108 ක් අතරින් කෘතීන් හයක් මේ කෙටි ලැයිස්තුව සඳහා තෝරාගෙන ඇති අතර එයින් කෘතීන් පහක්ම රචනා කරනු ලැබ ඇත්තේ ලේඛිකාවක විසින්.

මෙයට පෙර මේ ත්‍යාගය හිමිකර ගත් පෝලන්ත ලේඛිකා ඔල්ගා ටොකාක්සුක් විසින් රචනා කරනු ලැබ, ඇන්ටෝනියා ලොයිඩ් – ජෝන්ස් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ඩ්‍රයිව් යුවර් ප්ලෝ ඕවර් ද බෝන්ස් ඔෆ් ද ඩෙඩ්’ (Drive Your Plow Over the Bones of the Dead) නමැති කෘතියද මේ අතර තිබේ.

ඒ හැරුණු විට ප්‍රංස ජාතික ලේඛිකාවක වන ඇනී අරනොක්ස් විසින් රචනා කරන ලදුව ඇලිසන් එල්.ස්ට්‍රේයර් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ද ඉයර්ස්’ (The Years) නමැති ස්වයංලිඛිත අපදානයත්, චිලියානු ලේඛිකා ආලියා ට්‍රෑබුකෝ සෙරාන් විසින් රචනා කරන ලදුව සොෆී හියුස් විසින්, ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ද රිමේන්ඩර්’ (The Remainder) නමැති ප්‍රථම කෘතියත්, ඕමානි ලේඛිකා ජෝඛා අල්හාර්ති විසින් රචනා කරන ලදුව මැරිලින් බූත් විසින් ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘සෙලෙස්ටියල් බොඩීස්’ ( Celestial Bodies) සහ ජර්මානු ලේඛිකා මැරියොන් පොෂ්මාන් විසින් රචනා කරන ලදුව ජෙන් කැලේජා විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ද පයින් අයිලන්ඩ්ස්’ (The Pine Islands) නමැති කෘතියක් වශයෙන් ලේඛිකාවන් විසින් රචනා කරන ලද කෘති පහක් සමඟ කොලොම්බියානු ලේඛක ජුවාන් ගාබ්‍රියෙල් වාස්ක්වේස් නමැති ලේඛකයා විසින් රචනා කරන ලදුව ඈන් මැක්ලීන් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ද ෂේප් ඔෆ් ද රුයින්ස් (The Shape of the Ruins) නමැති කෘතියත් මෙවර කෙටි නිර්දේශ අතරට ඇතුළත්ව තිබේ.


කියුබාවේ හවානාහි හෙමිංග්වේගේ නිර්මාණ සංරක්ෂණය ඇරඹේ

ප්‍රකට අමෙරිකානු ලේඛක අර්නස්ට් හෙමිංග්වේ මියගොස් වසර 60කට ආසන්න කාලයකට පසු ඔහු කලක් වාසය කළ කියුබාවේ හවානා නුවර පිහිටි “ෆින්කෝ විගියා’ (Finca Vigia) නමැති නිවෙස ඔහුගේ නිර්මාණ සඳහා සංරක්ෂණාගාර මධ්‍යස්ථානයක් බවට පත්කර තිබේ. කියුබාවේ ජීවත් වූ වසර 21 ක පමණ කාලය පුරා හෙමිංග්වේ ජීවත් ව සිට ඇත්තේ මේ නිවසේයි. ඔහු ‘දි ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී’ (The Old Man and the Sea) නමැති සිය සුප්‍රකට නවකතාව රචනා කර ඇත්තේද මේ නි‍ෙවසේදී සිට බව කියැවේ. කියබානු විප්ලවය ඇරඹී වසරකට පසු 1960 වසරේදී අමෙරිකානු තානාපති කාර්යාලයේදී උපදෙස් පරිදි හෙමිංග්වේ ආපසු අමෙරිකාවට ගොස් ඇති අතර, එයින් වසරකට පසුව ඔහු සිය දිවි හානි කරගෙන තිබේ. ඒ වන විට ආසන්න වශයෙන් ඔහුගේ ඡායාරූප 5,000ක්, ලියුම් 10,000ක් සහ ඔහුගේ සටහන් සහිත පොත් 9,000ක් පමණ හවානා නුවර පිහිටි නිවසේ තැන්පත් කර තිබී ඇතැයි සඳහන් වේ. හෙමිංග්වේ අපදාන රචක ඒ. ස්කොට්බර්ග් පවසන ආකාරයට ඒ ලිපිලේඛන මඟින් හෙමිංග්වේ සිතූපැතු ආකාරය ගැන වඩාත් අවබෝධයක් ලබාගත හැකියි. හෙමිංග්වේ විසින් තැනින් තැන සටහන් තැබූ ‘දි ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී’ සිනමා තිරනාටක පිටපතක් සහ ඔහු විසින් නවකතාවක් සඳහා යොදා ගැනීමට අදහස් කරගෙන සිට පසුව අත්හැර දමන ලද, දෙවැනි ලෝක යුද්ධය ආශි‍්‍රත සංවාදාත්මක සටහන් සහිත කඩදාසි කිහිපයක්ද මේ ලිපිලේඛන අතර ඇත. එසේම සිය “ෆෝ හූම් ද බෙල් ටෝල්ස්’ (For Whom the Bell Tolls) නමැති නවකතාව සඳහා පසුවදනක් ලිවීම සඳහා ආරම්භක වැකි කිහිපයක් පමණක් ලියා අත්හැර දමන ලද කුඩා සටහනක් ද ඔහුගේ මේ ලිපිලේඛන අතරට ඇතුළත් වේ.


ලියනාඩෝ ඩාවින්චිගේ වටිනාම සිතුවමක් අතුරුදන්

ලොව සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි විසින් සිතුවම් කරන ලද ‘සැල්වේටර් මුන්ඩ්’ ලෙස නම් කෙරුණු ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රතිමාව අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

2017 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 450 කට අලෙවි වු මෙම ප්‍රතිමාව 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ලූවර් කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණත් මේ දක්වා ඒ අවස්ථාව ලැබී නැත.

ඒ අනුව එහි අවසන් හිමිකරුවා වූ අබුඩාබ්හි සංස්කෘතික දෙපාර්තමේන්තුව සන්තකයේ තිබියදී අදාළ සිතුවම මෙලෙස අතුරුදන් ව තිබේ.

මේ අතර 2019 වසරේදී උදාවන ලියනාඩෝ ඩාවින්චිගේ 500 වැනි අනුස්මරණ සැමරීම වෙනුවෙන් පැරිසියේ ලුවර් කෞතුකාගාරයේදී පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය සඳහා එ් සිතුවම සම්බන්ධ කරගැනීමටත් ප්‍රංස බලධාරීහු සූදානමින් සිටියහ.

ක්‍රි.ව. 1500 දී පමණ ලියනාඩෝ විසින් සිතුවම් කරන ලද මේ සිතුවම එහි වසර 500ක ඉතිහාසය තුළදී දෙවතාවක් ම අතුරුදන් විය.

පසුව 2017 වසරේදී එය සැබෑ සිතුවම ලෙස සහතික කිරීමෙන් අනතුරුව සිදු කළ වෙන්දේසියේදී මේ මිලට අලෙවි විය. සවුදි අරාබියානු කුමරෙකු වන අබ්දුල්ලා බින් මොහොමඩ් බීන් ෆාර්හාන් අල් සාවුද් එහි හිමිකරුවා බවට පත් විය.

අදහස්