දේව වන්දනාව | සිළුමිණ

දේව වන්දනාව

මගෙ ළමාවියේදි මට තිබුණු තවත් ප්‍රශ්නයක් තමයි මගෙ පවුලෙ හැමෝම දේවාලෙ යන්ඩ පුරුදු වෙලා හිටිය එක. ඒ වැඩේට මං හරස් වුණා. ඒකෙ තේරුම මොකක්ද කියල මං ප්‍රශ්න කෙරුවා.

‘ඒක එහෙම තමයි. අපේ පරම්පරාවෙ උදවිය කරපු විදිහට දේවාලෙ ගිහින් පූජා පවත්තන එක හොඳයි. ඒක අපේ අතීත උරුමයක් ’

ඒකයි ලැබිච්ච උත්තරේ. හුදු උත්තරයක් මිසක් කාරණා කාරණා අවබෝධ කර දීමක් නෑ.

‘මං ඇහුවෙ ඒකෙ ඇති හොඳ නරක නෙමේ. මං ඇහුවෙ ඒ වැඩේ තේරුම මොකක්ද කියල‍ා . මට නං කිසිම දෙවි කෙනෙක් පේන්නෙ නෑ. මට පේන්නෙ ගල් පිළිමෙ විතරයි. ඔයගොල්ලොත් හොඳාකාරවම දන්නවනෙ මේක ගල් පිළිමයක් කියලා. ඔයගොල්ලොමනෙ ඒක තමතමන්ගෙ අත්වලින් දේවාලෙ තැන්පත් කෙරුවෙ. ඒක මාකට් එකෙන්නෙ සල්ලි දීල ගත්තෙ. ඒකෙ තේරුම දෙයියො මාකට් එකේ විකිණෙනවා කියන එකනෙ. මොන කාරණාවක් හින්ද ද ඒ පිළිමෙ දෙවියො බවට පත් වුණේ? ඒක හදපු කැටයම් මඩුවෙ කවුරුවත් ඒකට වඳින්නෙ නෑ. මිනිස්සු ගිහින් හෙට්ටු කරනවා. කවුරුවත් එතන ඒකට කන්නලව් කරන්නෙ, යාඤා කරන්නෙ නෑ. එතන පිළිම මහගොඩක් තියෙන හින්ද කිසිකෙනෙක් එතන දෙවියෙක් ඉන්නව කියල හිතන්නෙත් නෑ. තමතමන්ගෙ කැමැත්ත අනුව තමන්ට හොඳයි කියල හිතෙන පිළිමයක් සල්ලි දීල ගන්ඩත් පුළුවන්’ මං කිව්වා.

ඒගොල්ලන්ට මගෙ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්ඩ, ඒ ගැන කිසිදෙයක් පැහැදිලි කර දෙන්ඩ බැරුව ගියා. මොකද ඇත්තටම ඒක දෙවිකෙනෙක් බවට පත්වෙලා නෑ. ඒක පිළිමයක් ම විතරයි. ඒක දැන් තියෙන්නෙ කැටයම් මඩුවෙ හරි, සාප්පුවෙ හරි නෙමේ. දේවාලෙ. දේවාලෙ කියන්නෙ මොකක්ද? තවත් ගෙයක්.

‘මටත් ඕනෑ ඔයාලගෙ යාඤාවට එකතුවෙන්ඩ. මටත් ඕන්නෑ දේවාලෙන් පිටට වෙලා ඉන්ඩ. ඒත් හිතට විරුද්ධව මට වැඩ කරන්ඩ බෑ. මුලින් ම මං තෘප්තිමත් වෙන්ඩ ඕනෑ. ඒකට ඔයාල කිසිම උත්තරයක් දෙන්නෙ නෑ. ඔයාල ඔය යාඤාවලදි මොනවද කියන්නෙ? අරක දෙන්ඩ, මේක දෙන්ඩ කියල ඉල්ලනවා. ඔයාලට පේන්නැද්ද ඕකෙ තියෙන විහිලුව? ඔයාල ගල් පිළිමයක් සල්ලි දීල ගන්නවා. ඒක ගෙයක් ඇතුළෙ තැන්පත් කරනවා. ඔයාලම සල්ලි දීල ගත්තු පිළිමෙන් දැන් ඔයාලම අරව දෙන්ඩ, මේව දෙන්ඩ කියල ඉල්ලනවා. ගෙදරට සෞභාග්‍යය ඉල්ලනවා; දරු පවුලට නිරෝගීකම ඉල්ලනවා. ඔයාල හැසිරෙන්නෙ මහ පුදුම තාලෙකට; මට බෑ ඔයාලත් එක්ක පෑහෙන්ඩ’

ඒගොල්ලො ගොළුවෙලා අහගෙන හිටියා. මං දිගටම කතා කෙරුවා.

‘මං හේතුවක් නැතුව අකීකරු වෙන්නෙ නෑ. ඒ තියා මේක අකීකරු වීමකුත් නෙමේ. ඔයාල ඔයාලගෙ දෙමව්පියන්ගෙන් මේ වැඩේ තේරුම මොකක්ද කියල අහල නෑ. ඒ අය ජීවත්වෙලා තියෙන්නෙ අඥාන විදිහට. ඔයාලත් දැන් ජීවත්වෙන්නෙ අඥාන විදිහට. ඔයාලට ඕනෑ වෙලා තියෙන්නෙ මාවත් අඥාන විදිහට ජීවත් කරවන්ඩ!’

මගෙ සද්දෙ ටික දවසක් යනකොට අඩු වෙලා යයි කියල ඒගොල්ලො හිතුවා. එහෙම හිතල ඒගොල්ලො මාවත් අඬගහගෙන දේවාලෙට ගියා. ඒගොල්ලො ඔළුව නමාගෙන යාඤා කෙරුවා; මං ඔහේ පැත්තකටවෙලා හිටියා.

‘හැමෝම ආගම් භක්තියෙන් වන්දනා කරද්දි ඔයා විතරක් ඔහොම හිටන් ඉන්න එක හරි නෑ’ තාත්ත මට කිව්වා.

‘මට නං පේන ආගම් භක්තියක් නෑ. මට පේන්නෙ එක විදිහක ව්‍යායාමයක් කරනව වගේ. මේ මිනිස්සුන්ට ව්‍යායාම කරන්ඩ ඕනැකමක් තියෙනව නං ව්‍යායාම කරන තැනකට ගියානං හරිනෙ. ඒක ඇත්තට ම ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඔයාට මං හිටගෙන ඉන්න එක තමයි නරකට පේන්නෙ. ඒත් ඔයාල තමයි පිස්සු යාතුකර්ම කරන්නෙ’

‘තමුං දේවාලෙ නාව නං හොඳයි. ආ එකෙං වෙන්නෙ අනිත් මිනිස්සු තමුං කරන කුඩුකේඩු වැඬේ දකින එක විතරයි’

‘මොකක්? ඔයා ඔහොම කියන්නෙ මං හැමතිස්සෙම දෙවියන්ට පිටුපාල හිටගෙන ඉන්න හින්දද ? පිටුපාල ඉන්ඩ මෙතන ඉඩ දෙන්නෙ නෑනෙ. ඒකද කුඩුකේඩු වැඩේ? දෙවියො සර්වබලධාරී නං තමුන් ඉන්න ඉරියව්ව වෙනස් කර ගන්ඩ එයාට පුළුවන්නෙ. මං ඒකට වද වෙන්නෙ ඇයි? ඒත් එයා ඉන්නෙ එක ම ඉරියව්වෙන්නෙ. එයාට මගෙ පිටිපස්ස දකින්ඩ ඕනෑ නැත්තං තැන වෙනස් කරගන්ඩ පුළුවන්නෙ. මං ඔයාගෙ දෙවියන්ට වඩා ජීවමානයි. ඒකනෙ ඔයා මට මං ඉන්න විදිහ වෙනස් කරගන්ඩ කියන්නෙ. ඔයා ඒක ඔයාගෙ දෙවියන්ට කියන්නෙ නෑ. එහෙම නොකියන්නෙ එයා මැරිච්චි කෙනෙක් බව ඔයා දන්න හින්ද’

‘ඔය වගේ කතා කියන්ඩ එපා!’ ඒගොල්ලො කිව්වා.

‘එයා මට මොනව කරන්ඩද? එයා හුස්ම ගන්නෙ නෑ. එයා කතා කරන්නෙ නෑ. එයාට කන් ඇහෙයි කියලවත් මං හිතන්නෙ නෑ. මොකද හුස්ම නොගන්න, ඇස් පේන්නෙ නැති, හෙල්ලෙන්ඩවත් බැරි කෙනකුට කන් ඇහෙන්නෙ නැති එක ස්ථිරයි. මේ හැමදේම කෙරෙන්නෙ ඉන්ද්‍රිය ඒකාබද්ධතාවෙන්. ඒකාබද්ධතාව පරිපූර්ණව තිබිය යුතුයි. එහෙම නැතිකොට ඔයගොල්ලො යාඥා කරන්නෙ කාටද?’

ඉතින් බොහොම හෙමින්, ටිකින් ටික මං අපේ පවුලෙ උදවිය දේවාලෙන් ගලෝ ගත්තා. පවුලෙන් පටන්ගත්තු වැඩේ සමාජෙටත් ගියා. කාලෙකදි ඒ අය දේවාලෙ යන එක නවත්තල දැම්මා.

ලබන සතියට ...

අදහස්