කොවුල් හඬ සම­ඟින් මැකී ­ගිය අකුරු හා සිතු­වම් | සිළුමිණ

කොවුල් හඬ සම­ඟින් මැකී ­ගිය අකුරු හා සිතු­වම්

දශක අටක් පමණ වූ ජීවිත කාලය මුළුල්ලේ ඔහු නිරතව සිටියේ එක්තරා ආකාරයක තවුස්වුතයක දැයි අපට සිතෙයි. චිත්‍ර ශිල්පියකු ලෙස හැඳින්වුණ ද ජීවිතයේ කිසිදු කලක ඔහු ස්ථීර රැකියාවක නියැළුණේ ද නැත. ආර්ථික විද්‍යාවේ එන ඉල්ලුමට සැපයුම න්‍යාය ඔහු නොදැන සිටි ගාන ය. බොහෝ දෑ හඹායන තරගකාරි ලොවේ රැකියා අවස්ථා වුව හඹා නොගිය ඔහු ලද පමණින් සතුටු වූවකු ලෙස පෙනුණ ද කිසිදාකත් අකර්මණ්‍ය ව සිටියකු ද නොවේ. දිවා රෑ මුළුල්ලේ ඔහු යෙදී සිටියේ චිත්‍ර ඇඳීමේ හා කතන්දර නිර්මාණයේ ය.

ඔහු නමින් ටී. ආර්. ජයවර්ධන ය. මේ නම ඉතා හොඳින් දැන සිටියේ වැඩිහිටියන් නොව කුඩා දරුවන් ය. ඒ දශක ගණනාවක් මුළුල්ලේ ඔහු විසින් ආමන්ත්‍රණය කරන ලද්දේ කුඩා දරුවන් ම වන නිසා ය. වැඩිවශයෙන් ම ඔහු දරුවන්ට කතා කළේ ‘රුසියා‘, ‘ජගතා’, ‘බටිති’ වැනි දරුවන්ගේ ම ප්‍රකාශන මාර්ගයෙන් ය. ඒ හැරුණුවිට ළමා කතා, චිත්‍රකතා පොත් වශයනේ පළකිරීමට ද ඔහු කිහිප වාරයකදීම යොමු වී තිබේ. 5 ශිෂ්‍යත්ව පෙරහුරුව සඳහා සිසු සිසුවියනට ඔහු අත්වැල් සැපයූ අවස්ථා බොහෝ ය. දරුවන්ගේ බුද්ධි වර්ධනයට අදාළ සාංඛ්‍යා රටා නිර්මාණය කිරීමේ, හැඩතල ගැන්වීමේ අපූරු කුසලතාවක්, නිපුණතාවක් ඔහු සතුව තිබිණ. කතන්දර නිර්මාණයේ ලා අති සූරයකු වූ ඔහු ඒවා රූප බවට පත්කළේ ද තමාගේ ම තෙළිතුඬිනි.

ගණිත ගැටලු, භාෂා ගැටලු ළිහා දීම සඳහා සරල ක්‍රමෝපාය භාවිතයට ගනිමින් විවිධ සතුන්, ගහකොළ හා සොබාදහමේ අපූර්ව වස්තු පෑනෙන් හා පින්සලෙන් නිර්මාණය කළ ටී. ආර්. ජයවර්ධන, ඒවා පොතට හා පෑනට පමණක් සීමා කරගත්තකු වූයේ ද නැත.

ඔහුගේ මුළු ජීවිතය ම වැඩි වශයෙන් ගෙවුණේ ඒ සතුන් හා ගහකොළ ඇසුරේ ය.

ලෝකය බෙදාගත යුත්තක් මිස බදාගත යුත්තක් නොවන බව ලෝකයට පෙන්වා දුන් මිනිසුන් අතළොස්සකට අයත් වූ මේ චිත්‍ර ශිල්පියා අවිවාහකයකු වූ අතර ඔහුගේ මිතුරු කැල බවට පත්ව සිටියේ සතුන් ය.

දශක අටක් පමණ වූ ජීවිත කාලය මුළුල්ලේ ඔහු නිරතව සිටියේ එක්තරා ආකාරයක තවුස්වුතයක දැයි අපට සිතෙයි. චිත්‍ර ශිල්පියකු ලෙස හැඳින්වුණ ද ජීවිතයේ කිසිදු කලක ඔහු ස්ථීර රැකියාවක නියැළුණේ ද නැත. ආර්ථික විද්‍යාවේ එන ඉල්ලුමට සැපයුම න්‍යාය ඔහු නොදැන සිටි ගාන ය.

බොහෝ දෑ හඹායන තරගකාරි ලොවේ රැකියා අවස්ථා වුව හඹා නොගිය ඔහු ලද පමණින් සතුටු වූවකු ලෙස පෙනුණ ද කිසිදාකත් අකර්මණ්‍ය ව සිටියකු ද නොවේ. දිවා රෑ මුළුල්ලේ ඔහු යෙදී සිටියේ චිත්‍ර ඇඳීමේ හා කතන්දර නිර්මාණයේ ය.

මේ අපූරු සිතුවම්, රටා, අකුරු ලියැවුණේ ඔහුට ම ආවේණික වූ අමුතුම රටාවකිනි. කාගෙන් හෝ ඉල්ලා නොගත් ශෛලියකිනි. සිනා කතා නිර්මාණය කිරීමට ඔහු උපන් හපනෙක් වූවේ ය. ඇතැම් විටක ලෝකයේ වෙනත් රටක ඔහු උපත ලැබුවේ නම් අතිමහත් වූ සමාජ අවකාශයක් ඔහු වෙනුවෙන් විවර වන්නට තිබුණේ යැයි අපට සිතෙයි.

මේ අපූරු මිනිසා දූ දරුවන්ගෙන්, පුංචි කුරුල්ලන්ගෙන්, සමනලුන්ගෙන් හා අපා-දෙපා-සිවුපා-බහුපා සතුන්ගෙන් ද සදහටම සමුගත්තේ පසුගිය අවුරුදු සමයේ ය.

නිහඬ නිවාඩු දිනයකදී ඔහුගේ පන්හිඳ හා තෙළිතුඩ සඳහට ම නතර වී තිබිණ. එය සිදුවූයේ කරාපිටිය මහරෝහලේ වාට්ටුවකදී ය. ඒ ගමන ඔහු යන්නට ගියේ කුරුල්ලන්ට, සමනලයන්ට, මුවපැටවුන්ට මෙන් ම සුමිතුරු කුඩා දරු-දැරියනට ද නොකියා ය.

දැන් කුඩා දරුවන්ට, ලස්සන සමනලයන්ට, කුරුල්ලන්ට මෙන් ම මල්දරන ගස්වලට, පල දරන අතුවලට පවා ඔහු නැතිවීම පාළුවක් මෙන් ම පාඩුවක් ද වී තිබේ. ඒ, ඒවායේ ලස්සන දකින්නට, සිතුවම් කරන්නට, පාට කරන්නට හා ඒවාට ආදරය කරන්නට සිටින වර්තමාන මිනිසුන්ගේ අල්ප බව නිසා ය. කවදත් අතමිට සරු නොවූ නිසා සතුනට ආහාර සම්පාදනය කිරීම එතරම් පහසු කරුණක් නොවුණ ද තල්පේ ඉසවුවේ සිඳීගිය බඳුන් ජලයෙන් පුරවා පිපාසිත සත්ත්වයන්ගේ පවස නිවාලූ කාරුණික මිනිසා වූයේ ද ඔහු ම ය.

ඉතින් දැන් ඔහු වෙනුවෙන් අප කුමක් නම් ප්‍රාර්ථනා කළ යුතු ද?

ලෝකයේ පරිසර පද්ධතියට ඔහු වැනි මිනිසුන් සිය දහසකගේ අත්‍යාවශ්‍යතාව මහමෙර මෙන් බරට දැනෙමින් ඇති යුගයක ය, මේ අප ජීවත්වන්නේ.

ඉතින් මිනිසුන්ට මෙන් ම කුරල්ලනට හා මල්වලටත් ලෝකය අභය භූමියක් කරදීම සඳහා ඔහුගේ පාඩම්වලින් පන්නරය ලද දූ-පුතුන් යොමු වේවා! ඒ සඳහා ඔවුනගේ සිත්සතන් මල් මෙන් සුපුෂ්පිත වේවා! යි අපි පතමු.                        

 

Comments