ප්‍රතිත්‍රස්ත පනත ගෝණි බිල්ලෙක් නොවෙයි | සිළුමිණ

ප්‍රතිත්‍රස්ත පනත ගෝණි බිල්ලෙක් නොවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වී සති තුනකට ආසන්නයි. නීතිය හා සාමය ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ඔබට සෑහීමකට පත් විය හැකිද?

ප්‍රහාරය සිදු වී සති දෙකක් යන්න මත්තෙන් අපේ වීරෝදාර ත්‍රිවිධ හමුදා හා පොලීසිය රටේ ආරක්ෂව යථා තත්ත්වයට පත් කළා. දැන් රට යථා තත්ත්වයට පත්ව තිබෙන බවට ත්‍රිවිධ හමුදාපතිවරුන් රටට සහතිකයක් දී තිබෙනවා.

ප්‍රහාරයට පෙර බුද්ධි අංශ ඒ ‍‍තොරතුරු දැන සිටි බව සනාථ වූ තොරතුරක්. එහෙම නම් ඔවුන් ඒ තොරතුරු ලබාදුන්නේ කාටද?

සාමාන්‍යයෙන් වගකිව යුත්තන්ට ඒ තොරතුරු දැනුම් දෙනවා. මා නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස සිටියදී මටත් අවශ්‍ය තොරතුරු බුද්ධි අංශ ලබා දුන්නා‍. බුද්ධි අංශය අදාළ අයට තොරතුරු දී තිබෙනවා. ඒ නිසා නේ පොලිස්පති හා ආරක්ෂක ලේකම් ගෙදර යැව්වේ!

තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාර වළක්වාගැනීමට අපොහොසත් වීම ජාතියක් වශයෙන් මහා අභාග්‍යයක් නොවෙයිද?

අනිවාර්යයෙන් ම ඔව්! දැන් ආරක්ෂක ඇමැති ජනාධිපතිවරයායි‍. ඔහු බොහෝම කාර්යබහුලයි. ඒ නිසයි අප කියන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණකාලීන ඇමැතිවරයකු සිටිය යුතුයි කියා. උදාහරණයක් විධියට ජයවර්ධන යුගයේ ආරක්ෂක ආශය බාරව ලලිත් ඇතුළත්මුදලි මහතා හිටියා; ප්‍රේමදාස යුගයේ රංජන් විජේරත්න මහතා හිටියා; චන්ද්‍රිකා මහත්මියගේ කාලේ ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ ආරක්ෂක කටයුතු භාරව හිටියා. එවැනි අයකු නොසිටීම තමයි මෙවැනි ඛේදවාචකයක් ඇති වීමට හේතුව කියලයි මට හිතෙන්නේ.

පාසල් විවෘත කළත් පාසල්වලට සිසුන්ගේ පැමිණීම අඩුයි. මේකට හේතුව මොකක් කියලාද ඔබ හිතන්නේ?

බෝම්බ පිපිරිලා ජනාධිපතිවරුන්, ‍ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, මහජනතාව විශාල ලෙස මිය ගිය සමයේත් පාසල් පැවැත්වූවා. දැන් වෙලා ත‍ිබෙන්නේ නොයෙක් නොයෙක් අය කරන ප්‍රකාශ නිසා ජනතාවට භීතියක් ඇති වී තිබෙනවා.

කිසිදු ඇමැතිවරයකු දරුවන් පාසල් යවා නෑ කියා සමහර වෙබ් මාධ්‍ය වාර්තා කර තිබුණා. ආරක්ෂක විද්‍යාලයටත් ඉකුත් සතියේ පැමිණ හිටියේ අඩු සිසු පිරිසක්. ඇමැතිවරුන්ට තම දරුවන් පාසල් යවා, ආරක්ෂක විද්‍යාලයට ළමයින් ගෙනත් ආරක්ෂාව පිළිබඳ රටට ආදර්ශයක් දෙන්න පුළුවන් නේද?

ඔව්. ඒක හොඳයි. එතකොට ආරක්ෂාව තහවුරුයි කියා ජනතාව පිළිගනීවි. දේශපාලනඥයන්, ආරක්ෂක අංශ විතරක් නොවෙයි, දැන් සියලු දෙනා තම දරුවන් පාසල් යැවිය යුතුයි. අවුරුදු තිහක් යුද්ධය තිබිලාත් අප ළමයින් පාසල් යැව්වා.

මේ ප්‍රහාරයට මුවා වී ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හදනවා කියලා ප්‍රබල චෝදනාවක් ආණ්ඩුවට නැ‍ඟෙනවා...

පනතක් ගේන්නත් කලින් ඇයි බය වෙන්නේ? මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, සාකච්ඡාවට භාජනය කරනවා; සංශෝධනය විය යුතු තැන් සංශෝධනය කරනවා. ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ ගෝණිබිල්ලන් මවන එක වැරදියි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව බලවත් රටවල කුමන්ත්‍රණයක් බව සමහරු කියනවා. ඒ මතයට එකඟ විය හැකිද?

මොකක් හරි ප්‍රශ්නයක් ආවාම මේක 'විදේශ කුමන්ත්‍රණයක්' කියලා ගිරිය කඩාගෙන කෑගහන දේශපාලනඥයෝ අපේ රටේ ඉන්නවා. මේ ප්‍රහාරය පිළිබඳවත් ඉන් පසු තත්ත්වය පිළිබඳවත් විදේශීය ඔත්තු සේවා අපට සහාය දුන්නා. අපි තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ රටක්. එවකට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අවි-ආයුධ නැව් පිටින් අරන් එනකොට ඒ පිළිබඳ අපට ඔත්තු දුන්නේත් මේ රටවල් තමයි. ඒ නිසා ඒ අවි-ආයුධ නැව් මුහුදේදීම විනාශ කරන්න අපට හැකියාව ලැබුණා. මේ අයට ඒ අතීතය අමතක වෙලා, ළිං මැඩියන් වගේ කියවනවා. මේ අය තමයි ලංකාවට ත්‍රස්තවාදය උගන්නපු කට්ටිය.

මේ අන්තවාදි ආගමික කල්ලිය සමඟ ඇතැම් විනිසුරන් සම්බන්ධ වී සිටින බව අසාත් සාලි ආණ්ඩුකාරවරයා කියනවා. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

අසාත් සාලි ජනපතිවරයා සමඟ සමීපව කටයුතු කරන ආණ්ඩුකාරවරයෙක්. එවැනි අයකු මෙවැනි ප්‍රකාශයක් කිරීම ඉතා බරපතළයි. එයාට තිබෙන්නේ මාධ්‍යයට මේවා කිය-කියා ඉන්නේ නැතිව, ජනාධිපතිවරයාට ඒ බව කියා ඒ විනිසුරන් සම්බන්ධයෙන් නීති පියවර ගන්න එකයි.

රට මුහුණ දී තිබෙන ගැටලු හමුවේ යළිත් ජාතික ආණ්ඩුවකට යෑමේ සූදානමක් පවතිනවාද?

ජාතික ආණ්ඩුවකට යන්න ජාතික එකඟතාවක් තිබෙන්න ඕන‍ෑ නේ. අප දැක්කා නේ ජාතික වශයෙන් ව‍ූ මේ විපතේදී ඒකාබද්ධ විපක්ෂය බොරදියේ මාළු බාපු ආකාරය. ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානම්ව සිටි අයෙක් මේ විපත සිදු වූ වහා කිව්වා තමා එළඹෙන ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා. මේ මළ කඳන් උඩින් කරන දේශපාලනය පිළිකුල් ලෙස හෙළා දකින්න ඕනෑ. රටට ජාතියට අවාසනාවන්ත ඉරණමක් ලක් වූ අවස්ථාවක තම පෞද්ගලික න්‍යාය පත්‍ර ඉදිරිපත් කර ජනතාද්‍රෝහිව දේශපාලනය කරනවා නම් ඔහු අවස්ථාවාදියෙක්. ජනතා ද්‍රෝහියෙක්. එවැනි ජනතාද්‍රෝහි වැඩ කරන අයට ජනතාවම ඉදිරියේදී පාඩම් උගන්නාවි‍.

Comments