ඩුවේ ගේ පාඩම | සිළුමිණ

ඩුවේ ගේ පාඩම

ළමයි ඉස්කෝල වලට එන්නේ නෑ...මිනිස්සු වැඩට යන්නේ නෑ...රටම පාළු වෙලා' මේ විපක්ෂය නඟන චෝදනාව ය.'හොයා ගන්න ආයුධ පෙන්නන්න දෙන්නේ නෑ. මාධ්‍ය නිදහසක් නෑ' මේ සමහරක් මාධ්‍ය කියන කතා ය. 'මේ ආණ්ඩුව කාලේ වගේ නෙවේ, මහින්දගේ කාලේ බුද්ධි අංශ වැඩ කළේ සුපිරිවට. මොන අපරාධයක්වත් බුද්ධි අංශ වලට හොරෙන් කරන්න බැරි වුණා. ඝෝඨා නියමෙට ඒක හැඩ්ල් කළා' මේ තවත් සමහරු කියන කතා ය. ඒ කියන කතා වලට අනුව නම් මේ ආණ්ඩුව ගන්නම දෙයක් නැත. පහුගිය ප්‍රහාරයෙන් ආණ්ඩුව කිච වෙලාම ගිහින් ය; ලැජ්ජාවේ බැරි ය; අසමත් ය; වැඩ බැරි ය.

ඒ එක එක අයගේ කතා ය. කල්පනා කරලා හරියට හිතලා අතීතය මතක් කරලා, ඒ එක්කම ලෝකය ගැනත් හිතලා බැලුවොත් ඔය කියන කතා 'හිස් ප්‍රලාප සහ වාචාල' බව තේරුම් ගන්න එච්චර අමාරු නැත. කවුරුත් දන්න විදිහට පාස්කු ප්‍රහාරය අහඹුවක් ය. 'එහෙනම් බුද්ධි අංශ කීවේ..කියල තියෙද්දිත් ගණන් නොගෙන හිටියේ' විවේචකයෝ එහෙම කියයි. එතන වරදක් තිබේ. එහෙත්, එය එහෙම නොවිය හැකිද.?ලෝකයේ එහෙම වෙලා නැද්ද?.අමෙරිකාවේ රහස් ඔත්තු සේවා තුනක් තිබේ. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA), ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සිය (NGA) යන ආයතන මෙහි බුද්ධි අංශ ලෙස ලෝකය ම විශ්මයට පත් කළ අති සූක්ෂම රහස් ඔත්තු සේවා ය. 'ඒවයේ ඇස් වහලා මැස්සකුටවත් අමෙරිකාවට යන්න බෑ 'ඒ ලෝකය ම කියන කතාව ය. හැබැයි මැස්සෙක් නොවේ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ම වරක් අමෙරිකාව කරකවා අතෑරියේය. එරට ආර්ථිකයෙහි සීයට 20ක් කඩා බිම දමන්නට ඒ ත්‍රස්තවාදීන්ට පුළුවන් විය. 'මොනවා, අමෙරිකාවේ ආර්ථිකෙන් සීයට 20ක් කඩා දාන්න ත්‍රස්තවාදීන්ට පුළුවන් වුණා?'කෙනෙක් පුදුමයෙන් අහන්නට බැරි නැත.

ලෝක බලවතාගේ ආර්ථිකයෙන් අබමල් රේණුවක් හොල්ලන්න බැරිකොට සියයට 20ක් කඩා දාන්නේ කොහොමද?මේ කියන්නේ ඒ කතාව ය. 2001 වසරේ සැප්තැම්බර් 11 වන අඟහරුවාදා උදෑසන අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කළේ මුළු අමෙරිකාවම සෙල්ලමට ගනිමින් ය. අල්-කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ 3කින් පිටත් වූ වාණිජ ගුවන්සේවා දෙකකට අයත් මගීන් සහිත වාණිජ ගුවන්යානා හතරක් අතරමගදී පැහැරගෙන එල්ල කළ ප්‍රහාරය, ලෝකය සොලවා දැමුවේය. ලෝක වෙළඳ මධ්‍යස්ථානය පමණක් නොව, ආරක්ෂාවේ මහා දෙවොල 'පෙන්ටගනය' පවා කුඩු පට්ටම් කළේය. මම කෑ ගැසුවා..'මේ අපරාදය කළේ කවුද?. දෙවියනේ මගේ රට ආරක්ෂා කරදෙන්න.' මම දෙවියන්ගෙන් ඉල්ලුවා. මට වොෂින්ටනයට යන්න උවමනා වුණා. ආරක්ෂකයන් ඒක වැලැක්වූවා. මුලින් ලුසියානාහි ගුවන් හමුදා කඳවුරකටත්, පසුව නෙබ්‍රස්කා හි තවත් හමුදා කඳවුරකටත් යානය ගොඩ බැස්සුවා. තවත් ප්‍රහාරයක් සඳහා ගුවන් යානයක් වොෂිංටනය බලා යන බව මට හමුදා නිලධාරීන් දැනුම් දුන්නා. ප්‍රහාරක ගුවන් යානා යවා එය වහා මැඩපවත්වන ලෙස නියෝග කළා. එහෙත් එය පෙන්සිල්වේනියාවේ උතුරු අන්තයට වන්නට කඩා ඇති බව පසුව සැළවුණා. අපි ඒ ගුවන් යානයට පහර දුන්නාද? එසේ නැත්තම් එය කඩා වැටුණාද? මට උණ ගන්න වගේ ආවා, බඩ එහෙට මෙහෙට පෙරලුණා. අහෝ දෙවියනේ මම මගේ අහිංසක ඇමරිකානුවන්ට මරණය කැඳවූවාද? "එවක අමෙරිකාවේ ජනාධිපති බුෂ් තමන්ගේ පොතේ ලියා තිබෙන්නේ එහෙම ය.

'ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදීන් ඇල්ලුවාද?'එහෙම අහන කෙනෙක්ට දෙන්න තියෙන උත්තරේ මේක ය. 'කිසියම් සතුරකු උස්සා පොළවේ ගැසූ රටක් නැවත ඔසවා තැබිය යුතු යුතු අයුරු කිසිම පොතක් සඳහන්ව නැහැ. එහෙත් ඒ ගැන තිබූ උද්‍යෝගය සහ පසුබිම මා වෙත ලැබුණේ නියම බටහිර ටෙක්සාස් වැසියකු ලෙස ඒ දෙස ශුභවාදීව බැලූ නිසා බව මම විශ්වාස කරනවා. ඒ එක්කම ඇතැම් විට මම තද වැඩි වුණා. ඒත් මට ඕන වුණා ඔසාමා බින් ලාඩ්න් ව හොඳින් හෝ නරකින්, පණ ඇතිව හෝ නැතිව...' බුෂ් එහෙම කීවත් ප්‍රහාරය එල්ල වන්නේ 2001 දීය. බින් ලාඩන් සොයන මෙහෙයුම එතැන් සිට ආරම්භ කරන නමුත් 2010 වනතුරු ඔහු සොයා ගන්නට නොහැකි විය. නෙප්චූන් ස්පියර් ලෙස අවසන් මෙහෙයුම සැලසුම් වීම ආරම්භ වන්නේ 2010 අගෝස්තු මාසයේ දීය.

ඒ වෙනකොට ජනපති ඔබාමා ය. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA), ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සිය (NGA) යන ආයතන මෙහි බුද්ධි අංශ ලෙස කටයුතු කළහ. මෙහෙයුමට අණ ලැබුනේ 2011 අප්‍රේල් 11 වෙනි දා උදෑසන ය. 'ඒ කියන්නේ බුෂ් මොකුත් කරලා නෑ?. එහෙනම් ඉතින් ඊළඟ ඡන්දෙන් ගෙදර යවන්න ඇති. 'එහෙම හිතෙනවා නම් උත්තරය මේක ය. 2000 ජනාධිපතිවරණයේදී ජෝර්ජ් බුෂ් දිනන්නේ නූලෙන් ය. එය හරියට දෙවැනි මනාපය ගනින්නක් විය. එහිදී ප්‍රතිවාදී අල්ගෝර් සීයට 48.4ක් ගනිද්දී බුෂ් ගන්නේ සීයට 47.9කි. එහෙත් අමෙරිකාවේ බිහිසුණු ම ප්‍රහාරය එල්ල වූ 2001න් පසුව 2004 ජනාධිපතිවරණයේදී බුෂ් ප්‍රතිවාදී කෙරී ව පරාජය කරන්නේ සියයට 50.7ක් වැඩි ඡන්ද ලබමිනි. 'ඒ කියන්නේ ත්‍රස්තවාදියෝ ගහලත්, උන් හොයන්න බැරි වෙලත් බුෂ් දිනලා?' සමහරවිට එහෙම හිතෙනවා නම් තවත් උත්තරයක් දෙන්න තිබේ.

1993 දීත් ලෝක වෙළඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය වෙලාවේ අමෙරිකාවේ ජනාධිපති ක්ලින්ටන්ය. 1992 ක්ලින්ටන් දිනන්නේ සීයට 43ක ප්‍රතිශතයකිනි. 1993 ප්‍රහාරයෙන් පසුව ක්ලින්ටන්ට චෝදනා දසතින් ම ආවේය. 'මෙදා ක්ලින්ටන් ගෙදර' සමහරු කීය. ආරක්ෂාව ගැන අතිශය සංවේදී අමෙරිකාව එහෙම හිතපු එක හරි ය. ඒ මදිවට ක්ලින්ටන්ට කාන්තා චෝදනාත් ආවේය. 1996 ජනාධිපතිවරණය ආවේය. චෝදනා කිසිවක් නැතිව 92 දී සීයට හතලිස් තුනක් පමණක් ගත් ක්ලින්ටන් 96දී චෝදනා කප්පරක් තිබියදී සීයට 49ක් ඡන්ද ගෙන දෙවැනි වරටත් ජනපති විය. 'අමෙරිකන්කාරයන්ට පිස්සු' එහෙම හිතෙනවා නම් කරන්න තියෙන්නේ හිනා වෙන එක විතර ය. බුද්ධි අංශයකටත්, ආණ්ඩුවකටත් වරදින අවස්ථා තිබෙන්නට පුළුවන. එහෙම කියා මොන ආණ්ඩුවක්වත් තමන්ගේ රටේ මිනිස්සු මරන්නේ නැත. 'මෙහෙම වෙලාවක බුද්ධි අංශ වලට අතපසු වෙන්න බැරිද?'ඒකට උත්තරයක් දුන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු බුද්ධි තොරතුරු විශ්ලේෂණ උපදේශක ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේය.ඔහු මෙහෙම කීවේය.බුද්ධි අංශ කියන්නෙත් උපරිම වශයෙන් දැනුවත් වෙන්න උත්සාහ කරන පිරිසක්. නමුත් ඒ අයටත් අතපසුවීම් වෙන්න පුළුවන්. මම අන්තර්ජාතික උදාහරණයක් දෙන්නම්. අමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට කලින් ඔවුන්ගේ ගුවන් නියමුවන් පුහුණුකරන පාසලකින් ආරංචියක් ආවා.

ඔවුන් ළඟට පුහුණුවට පැමිණි කෙනකුට අවශ්‍ය වෙලා තියෙනවා කියලා විශේෂ පුහුණුවක් ලබන්න. ඒ ගුවන් යානයක් ගුවන්ගත කරන්න හෝ ගොඩබස්වන්න නොවෙයි; අවශ්‍ය තැනට පදවාගෙන යෑමට පමණක් පුහුණු වෙන්න. ඒක අසාමාන්‍ය ඉල්ලීමක් නිසා ඒ අය එෆ්.බී.අයි. එකට දැන්නුවා. එෆ්.බී.අයි. එකේ හිටපු ප්‍රධානියා කොලින් රම්ලි ඒක ඉහළ බලධාරීන්ට දැන්නුවා. නමුත් ඔවුන් ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. එදා සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලුනු දෙකෙන් එකකට කඩා වැදුණු ගුවන් යානයක් පදවාගෙන ගිහින් තිබුණේ ඒ පුහුණු වූ පුද්ගලයා කියලා පසුව දැනගත්තා.'

රැස පුවත්පත 2019 මැයි 8

බුද්ධි අංශ දුර්වල කළා කියා කියන අයට කියන්න තියෙන්නේ කොටකෙතන එක දිගට භීතියෙන් මුසපත්වෙන ඝාතන සිදු වූයේ යුද්ධෙ ඉවරවෙලා තිබියදී බවයි. සමහරු කොටකෙහනට කීවේ "පුංචි නන්දිකඩාල් ප්‍රදේශයක්" කියා ය. ඒ තරමට හමුදාව යොදා ආරක්ෂාව දමා තිබිණ. 2008 ඉඳල මරණ 19 සාහසික ලෙස සිදු විය. "මීටර් 200,300 වගේ පොඩි පොඩි කෑම්ප් දාගෙන ඉන්නවා. ස්වර්ණලතා මැරුණ තැනට මීටර් 300ක් වත් නැහැ පොලිස් මුරපොල. දැන් නැතන් පාපු මැරුණ තැනට මීටර් 300ක් විතර පහලින් පොඩි මුරපොලක් තියෙනවා."ඒ දවස්වල මිනිස්සු කීය. ගමක්,රටක් සසළ කළ අපරාධ ජාලය වෙනකොට ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ ය. ඒවා ත්‍රස්තවාදී ප්‍රහාර නොවීය. හැබැයි සාහසික ඝාතන විය. හමුදා අණු ඛණ්ඩ, පොලිසිය, බුද්ධි අංශ සේරම තිබියදීත් ඝාතන සිදුවිය. අපරාදකාරයෝ කියකිය වෙන වෙන අය අල්ලා කුදලාගෙන ගියහ.බුද්ධි අංශ විතරක් නොවේ රට ම මේ අපරාධකරුවන් අල්ලන්න කියද්දීත් මහින්දවත් ගෝඨාවත් කරපු දෙයක් නැත.

ඒ දිනවල කොටකෙතන තියා මුළු රත්නපුරේම දරුවෝ භීතියෙන් පාසල් ගියහ. කවුරුවත් ඔවුන් වෙනුවෙන් පෙරට ආවේ නැත. ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත බව එදා මායිම් කළේවත් නැත.මේ වෙලාවේ 'ළමයි පාසැල් එන්නේ නෑ'කියා කාලකන්නි සතුටක් ලබන ජඩයන් ත්‍රස්තවාදීන්ටම සමානය. 'ළමයි ඉස්කෝල වලට එන්නේ නෑ...මිනිස්සු වැඩට යන්නේ නෑ...රටම පාළු වෙලා'මේ විපක්ෂය නඟන චෝදනාව ය. ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ දෙන උත්තරය මෙතැනදීත් වැදගත් ය.

'සාමාන්‍ය ජනතාව කටයුතු කරන්නේ හැඟීම්වලින්. මම උදාහරණයක් කියන්නම් සාමාන්‍ය ජනතාව මොනතරම් කලබලද කියන එකට. එල්.ටී.ටී.ඊ. එකත් එක්ක යුද්ධය පැවැති කාලයේදී කළුතර බිග් මැච් එකකට සම්බන්ධ පාසල් සිසුන් පිරිසක් කළුතර දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවේ රතිඤ්ඤා එකක් පත්තු කෙරුවා. දුම්රිය මැදිරියක වාඩිවෙලා හිටිය මනුස්සයෙක් ඒක බෝම්බයක් කියල කලබල වෙලා දුම්රියෙන් පැනලා දුම්රිය මාර්ගය හරහා දුවන්න ගිහිල්ලා අනිත් පැත්තෙන් ආව දුම්රියකට යටවෙලා මැරුණා. සාමාන්‍ය මිනිස්සු ඉතා සුළු දේකට පවා කලබල වෙනවා.

වරක් ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා කියලා ආරංචි වුණ ගමන්ම ගඟේ එහා පැත්තේ හිටිය මිනිස්සු දහස් ගාණක් අනිත් පැත්තට දුවන්න ගිහිල්ල පාලමකදි තෙරපිලා, පෑගිලා ළමයි සහ කාන්තාවන් ඇතුළු මිනිස්සු 1000ක් පමණ මැරුණා. බෝම්බය පිපිරුණානම් සමහර විට උපරිම මරණ ගණන ඉන් දහයෙන් එකක්වත් නොවෙන්න තිබුණා.

එතනදි වෙන්න ඕන සිදුවීමක් වුණාම හැඟීම්බර වෙලා ප්‍රතික්‍රියා දක්වන එක නොවෙයි, සිදුවීම අවබෝධ කරගෙන ප්‍රතිචාර දක්වන්න තමයි මිනිස්සු ඉගෙන ගන්න ඕන.

මිනිසුන්ට බියක් ඇතිවෙන එක සාධාරණයි. නමුත් මිනිස්සු ප්‍රමාණය ඉක්මවා ප්‍රතික්‍රියා දක්වනවා. පැහැදිලි ව ම මම දකින්නේ වර්තමානයේ වෙලා තියෙන්නෙත් ඒකයි. දැන් මිනිස්සු ගමන් බිමන් යන එක නවත්තලා. ඒත් මේ දේ කොච්චරකල් කරන්නද. ගමන් බිමන් යනකොට අවධානයෙන් යන එක තමයි හොඳම දේ. කළයුතු දේ කරන්න ඉගෙන ගන්න ඕන.''හොයා ගන්න ආයුධ පෙන්නන්න දෙන්නේ නෑ. මාධ්‍ය නිදහසක් නෑ'මේ සමහරක් මාධ්‍ය කියන කතා ය. පසුගිය පාස්කු ප්‍රහාරය දා මාධ්‍ය තරඟෙට ප්‍රචාර ලබා දුන්හ. තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර සේම මෝඩ පහේ මාධ්‍ය හැසිරීම්ද දැකිය හැකි විය. එක් මාධ්‍යකින් මෙහෙම විකාශයක් සි දුවිය.'මෙතන සෝදිසි මෙහෙයුම් කළා.. බොහෝ දේවල් සොයා ගන්න පුළුවන් වුණා. මින් අනතුරුව අපි අහවල් තැනට යනවා' වගකිවයුතු මාධ්‍යවේදියා රහස ලෝකෙට ම කීවේය. එක්කෝ තක්කඩිකමට, නැත්නම් මෝඩ කමට කල් ඇතිවම ඔහු මාධ්‍ය හරහා ත්‍රස්තවාදීන්ට ඒ පණිවිඩය දුන්නේය. තමන් සෝදිසියට එනතුරු ත්‍රස්තයන් එතැනටම වී සිටිතැයි ඔහු හිතන්නට අැති.

අවසන් වශයෙන් මෙහෙම කිවයුතුය. දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය පර්ල් වරායට බෝම්බ දාන බව කියලා අමෙරිකා බුද්ධි අංශ කලින් දැනගත්හ. ඒ මෙහෙමය. අමෙරිකානුවෝ කාලයක් තිස්සේම ජපාන රහස් පණිවිඩලට සවන් දෙන්න සමත් වී හිටියහ. ජපන් යුද ආඥාදායකත්වය පර්ල් වරායට පහර දීමේ නියෝගය නිකුත් කිරීම ඔවුන් ඒ අනුව දැන ගත්හ.. පර්ල් වරායට එල්ල කරන ප්‍රහාරය ගැන දැනගත්ත ගමන්ම බුද්ධි අංශ විසින් ඒ කාලේ හිටිය ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ඇතුළු ඉහළ ම බලධාරීන් දැනුවත් කිරීම ය. නමුත් ඊට නිසි පියවර නොගත් නිසා ප්‍රහාරය වළක්වන්න බැරි වූ අතර බුද්ධි අංශ නිලධාරීන් මෙයින් කම්පා විය..

ඒ එක්කම ජනාධිපතිවරණය පැමිණියේය. රූස්වෙල්ට් ජනාධිපතිට එරෙහිව තරග කළේ ඩිවේ කියන අපේක්ෂකයෙක්. එයාට බුද්ධි අංශ එක්ක සමීප සම්බන්ධකම් තිබුණ අතර බුද්ධි අංශ නිසි පරිදි තොරතුරු දුන්නත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධව ක්‍රියා නොකළ බවත් ඒ වන විටත් බුද්ධි අංශ දැඩිව කළකිරි සිටින බවත් ඔහු දැන ගත්තේය. මේ අවස්ථාවේදී සී. අයි. ඒ. ප්‍රධානියා හිටියේ ජෙනරාල් මාෂල් ය. ඔහු ඩිවේ මුණගැසී කියා සිටියේ පර්ල් වරායට පහරදීම වළක්වන්න ජනාධිපතිවරයා කිසිවක් නොකර සිටීම ගැනත්, බුද්ධි අංශ කලකිරී සිටින බවත්, ඩිවේ දන්න බව තමන් දන්නා බව ය. ඒ වුණත් මේ සිදුවීම මැතිවරණ වේදිකාවේදී පාවිච්චි කරන්න එපා කියා ජෙනරාල් මාෂල්, ඩිවේගෙන් ඉල්ලුවේය.'ඒ ඇයි.ඒකෙන් මට දිනන්න පුළුවන්' ඩිවේ කීවේය. මාෂල් මෙහෙම කීවේය.

'ඔබ ඒක කීවොත් ජපානය දැන ගන්නවා ඔවුන්ගේ රහස් පණිවිඩවලට අමෙරිකාව සවන් දෙනවා කියලා. ඒවා ඔවුන් වෙනස් කරන්න පුළුවන්, ඒ වගේම ඒවා වෙනස් නොකර ඒ මඟින් වැරදි තොරතුරු අමෙරිකානුවන්ට ලැබෙන්න සලස්වන්නත් පුළුවන්. එහෙම වුණොත් රටම අනතුරක. ඔබ හිතන්න රට ගැන හිතනවද..ජනාධිපතිවරණය ගැන හිතනවාද කියා.' යැයි මාෂල් කීවේය. අවසානයේ ඩිවේ ඒක පිළිගත්තේය. මැතිවරණ වේදිකාවේ කිසිම තැනක පර්ල් වරාය හෝ බුද්ධි අංශ කතා ඔහු නොගෙනාවේය. අන්තිමට මැතිවරණයෙන් ජනාධිපති රූස්වෙල්ට් ම දිනුවේය. ඩිවේ පරාජය වුවත් ඔහු රට දිනෙවුවේය.'මේ වෙලාවේ ලංකාවේ ඩිවේලා ඉන්නවද නැද්ද කියා හිතාගන්න වෙන්නේ එන මැතිවරණයේදීය.

මානාභරණ

Comments