එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට උන කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉදුරුවේ ආචාරියා | සිළුමිණ

එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට උන කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉදුරුවේ ආචාරියා

ශ්‍රී ලංකාවේ දේශපාලනය අලුත් හැරවුමකට ලක් කරමින් පාස්කු ඉරිදා පුපුරා ගිය බෝම්බ වැල සමාජයට අතිශයෙන් වැදගත් පාඩම් කිහිපයක් ම උගන්වමින් සිටී. ඒ අතර ප්‍රධාන වන්නේ අන්තර් ජාතික ත්‍රස්තවාදයට මුහුණදීම සදහා ජාතික වශයෙන් වැදගත්වන පරිදි රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු පියවරයි. එහෙත් ඊටත් වඩා වැදගත් වන්නේ අන්තර් ජාතික ත්‍රස්තවාදයට කෙම් බිමක් වන පරිදි සකස් වී ඇති ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය යළි ප්‍රති ව්‍යුහගත කිරීමයි.

ඉස්ලාම් අන්තවාදී වහාබ්වාදය දරුණු සමාජ පිළිලයක් වන්නේ ඔවුන් සටන් වදින්නේ සමස්ත සමාජයටම එරෙහිව නිසා ය. ඉස්ලාම් ආගමේ කියවෙන දෙවියන් වහන්සේ නොපිළිගන්නා සියලු ජනතාව මේ ත්‍රස්තවාදයේ ඉලක්කයක් බවට පත් වේ. ඒ අනුව ඉස්ලාම් වහාබ්වාදීන් හැර සියලු ආගමික හා නිර් ආගමිකයන්ට අත්වන්නේ මරණයයි. මෙය සමාජ විනාශකාරී බැවින් වහා පිළියම් යෙදිය යුතු සමාජ ප්‍රශ්නයකි.

අන්තර් ජාතික ඉස්ලාම් වහාභිවාදී ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම රාජ්‍යයේ ආරක්ෂක හමුදාවන්ට පවරන ගමන් මඩ දේශපාලන භූමිය සකස් කර ගත යුතුව ඇත්තේ එවැනි ආගමික මතවාදයකට පවතින සමාජ ඉල්ලුම අහෝසි කිරීම සඳහා ය. ඒ සදහා ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ද්‍රෂ්ටිමය වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද ගොඩනඟා ගත යුතු ය.

ඉස්ලාම් වහාභිවාදයට එරෙහි දේශපාලන ව්‍යාපාරයක් ශ්‍රී ලංකාව තුළ නොතිබුණාම නොවේ. විශේෂයෙන් මෑතක දී ආරම්භ වූ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ව්‍යාපාරයේ නිමිත්ත වූයේ ඉස්ලාම් වහාභිවාදයට එරෙහි වීම යැයි කිවහොත් එය නිවැරැදිය ය. ඔවුන්ගේ සමස්ත වැඩපිළිවෙලම ස්ථානගත කර තිබුණේ ඔවුන් පැහැදිලි ලෙසම හදුනා ගත් ඉස්ලාම් ව්‍යාප්තවාදී මූල ධර්මවාදයට එරෙහිව ය.

අනූව දශකයේ දී පැන නැඟුණ විධිමත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ව්‍යාපාර මෙන්ම 2005 වර්ෂයට පසුව පැන නැඟුණ අන්තවාදී සිංහල කල්ලි කණ්ඩායම් වල දේශපාලන ඉලක්කය වූයේත් තම පස මිතුරා වූයේත් ඉස්ලාම් අන්තවාදී මූලධර්මවාදයයි.

විශේෂයෙන් ඥානසාර හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ අන්තවාදී කල්ලියේ ප්‍රධාන ඉලක්කය වූයේ ඉස්ලාම් වහාබ්වාදයයි. ඥානසාර භික්ෂුව ඉස්ලාම් වහාබ්වාදයට එරෙහිව දැඩි ලෙස සිංහල බෞද්ධ අන්තවාදය උසි ගැන්වූ නිසා සමාජය තුළ ප්‍රචණ්ඩ නොසන්සුන්තාවක් වරින් වර ඇති විය. විශේෂයෙන් අලුත්ගම නගරයේ ඇතිවූ කනගාටුදායක තත්ත්වය ද ඉන් පසුව ගාල්ල, අම්පාර හා දිගන නගරවල ඇති වූ නොසන්සුන්තාවන් ද පැන නැඟීමට ඥානසාර භික්ෂුවගේ මැදිහත්වීමක් තිබුණි.

එක් අතකින් ඉස්ලාම් වහාබ්වාදී කල්ලි කණ්ඩායම් පෝෂණය කරමින් තවත් අතකින් ඊට එරෙහි සිංහල අන්තවාදී කල්ලි කණ්ඩායම් පෝෂණය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඍජු දායකත්වයක් දරා ඇති බව චෝදනා එල්ල වී තිබේ. එහෙත් මේ කිසිම චෝදනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණ පැවැත්වූයේ නැත. එනිසා ඊළඟ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට ද ඔහුට හැකි වී ඇත්තේ තමන් බලයට ආවොත් ඉස්ලාම් අන්තවාදය මුලුනුපුටා දමන බවට ආකර්ෂණීය පොරොන්දුවක් ලබා දෙමිනි.

මුස්ලිම් ව්‍යාප්තවාදී අදහස් තුළින් සමාජයට දේශපාලන තර්ජනයක් ආ හැකි බව මෑත ඉතිහාසය තුළ මුල් වරට කීවේ ප්‍රකට සමාජ විද්‍යාඥයකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1987 දී පමණ ය. එහෙත් මේ මේ මූල ධර්මවාදය හඳුනා ගැනීමට හෝ එය පරාජය කිරීමට හෝ කිසිම දේශපාලන ව්‍යාපාරයක් සංවිධිතව කටයුතු නොකළේ ය. ඒ අවකාශය අවසානයේ පිරුණේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කණ්ඩායම් වල අන්තවාදී දේශපාලන අදහස් වලිනි. ඥානසාර භික්ෂුව මේ රටේ මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කල් ඇතිව කටයුතු කළ බව බොහෝදෙනෙක් කියති. එහෙත් ඥානසාර භික්ෂුව ඉස්ලාම් අන්තවාදයට ඇගිල්ල දිගු කළේ බෞද්ධ අන්තවාදයක් හිස මත දරා ගනිමිනි.

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමේ දී ඊට සිංහල බෞද්ධ අන්තවාදය හෝ වෙනත් අන්තවාදයක් හෝ පදනම් කර ගැනීමෙන් කිසිසේත්ම ඉස්ලාම් අන්තවාදය අහෝසි කළ නොහැකිය. එහෙත් ඒ නිසා ඉස්ලාම් අන්තවාදය තවදුරටත් ශක්තිමත් වන බව නම් ස්ථිර ය. එහෙත් ඥානසාර හිමියන්ගේ හා අනෙක් සිංහල අන්තවාදී කණ්ඩායම් වල උත්සාහය වූයේ එය යි. එය එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට උන කාරියා දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉදුරුවේ ආචාරියා යන කියමන සිහිපත් කරන්නක් වන අතර ඉන් එහා කිසිම වටිනාකමක් එවැනි ක්‍රියා කලාපයක් මඟින් ඇති නොවේ.

ලෝකයේ විමුක්තිවාදී ව්‍යාපාර ඕනෑ තරම් ඇතත් ඉස්ලාම් වහාභිවාදය පදනම් කර ගත් අන්තවාදය ත්‍රස්තවාදයක් මිස කිසිසේත්ම මහජන ව්‍යාපාරයක් නොවේ. එහි කෙතරම් භයානක ව්‍යාපාරයක් ද යන්න තේරුම් ගැනීම සදහා එහි පදනම වුවත් සලකා බැලීම සෑහේ. ඉස්ලාම් වහාබිවාදය අනුව දෙවියන් වහන්සේ නොඅදහන නොපිළිපදින සියලු දෙනා දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් වලට පටහැනි ය. එනිසා ඔවුන් සියලු දෙනා මරා දැමිය යුතු ය යැයි කියවේ. මෙය කෙතරම් සමාජ හානිකර ද කෙතරම් මනෝ ව්‍යාධියක් ද යන්න යන්න බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුය. එහෙත් එහි ආරම්භය නිර්මාණය විය යුත්තේ ද මුස්ලිම් ජනතාව ගෙන්ම ය.

මුස්ලිම් ජනතාව සාම්ප්‍රදායික ඉස්ලාම් ආගමේ ඉගැන්වෙන අල්ලා දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් හා වහාභිවාදී ඉගැන්වීම් අතර පවතින විසම්මුතිය තේරුම් ගත යුතුය. ලෝකයේ නිපදවන ඕනෑම දැනුම් පද්ධතියක් මහජනයා විනාශ කිරීම සඳහා නොව ජනයාගේ පැවැත්ම සදහා පවතින්නකි. එහෙත් වහාභිවාදයෙන් කියවෙන දැනුම සමාජ විනාශකාරී වන බැවින් එවැනි ඉගැන්වීම් සමාජය විසින් බරපතල ලෙස සලකා බැලිය යුතුය. එහෙත් වහාභිවාදයේ ක්‍රෑරත්වය නිසාම එවැනි ස්වයං විවේචනයකට මුස්ලිම් ප්‍රජාව යොමුවන්නේ සීමා සහිතව ය. එහෙත් මුස්ලිම් ප්‍රජාව බරපතළ ලෙස ගැඹුරින් තේරුම් ගත යුත්තේ තමන් සමාජ විනාශකාරී වහාභිවාදයට ගරු කරන්නේ නම් තමන්ගේම විනාශයට පෙරළා එය සහාය වන බවකි.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන සමාජ දේශපාලන ව්‍යාපාරයක් මූලික වශයෙන් සිදු කළ යුත්තේ මෙවැනි සමාජ ප්‍රතිසංස්කරණයක් සදහා පළමු අඩිතාලම දැමීම ය. කාලයකට පෙර මේ රටේ පැවැති විශිෂ්ට වාමාංශික ව්‍යාපාරය විසින් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණයන් ලෙස සලකා බැලුවේ මෙවැනි කරුණු ය. නමුත් දැන් දැන් එවැනි වමේ ව්‍යාපාරයන් තබා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන් හෝ ශක්තිමත්ව නැති නිසා ජන මූලයන්ගෙන් නැඟෘ එන සමාජ ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරයන් දක්නට නැත.

ඒ නිසා අන්තවාදයට මහජනතාවගෙන් ම බලපෑම් සිදු කිරීමක් ඇති නොවේ. ඒ වෙනුවට රාජ්‍යයේ යුද හමුදාව හා පොලීසිය වැනි ආයතන කෙරෙහිම විශ්වාසය තබාගෙන කටයුතු කරන අන්දමක් නිරීක්ෂණය වේ.

සමාජ ජාල වෙබ් අඩවි කෙරෙහි මේ දිනවල අවධානය යොමු කළ විට ඉස්ලාම් අන්තවාදයට අන්තවාදී භාෂාවකින් ම අභියෝග කරන අන්දමක් දකින්නට ලැබේ. එහි ඇත්තේ රාජ්‍ය මර්දනීය උපකරණ කෙරෙහි සම්පූර්ණ විශ්වාසයයි. එක් වාමවාදී පුදගලයකු අදහස් දක්වමින් පවසා තිබුණේ මෙවැනි ත්‍රස්තවාදීන් ආයුධ පෙන්වීම සඳහා රැගෙන යා යුතු බවයි. ඔහු එමඟින් අදහස් කළේ කුප්‍රකට ලෙස පාතාල සාමාජිකයන් මරාදමන අශ්ලීල ක්‍රමය ආගමික අන්තවාදීන් සදහා ද භාවිත කළ යුතු බවයි. ආගමික අන්තවාදීන් සූදානම් වන්නේ සමාජයේ පවතින ගරු කටයුතු වටිනාකම් හා සංස්කෘතික පද්ධතිය විනාශ කිරීමට ය. ඒ අන්තවාදීන්ට ඇගිල්ල දිගු කරමින් සමාජයේ සමහර කොටස් උත්සාහ ගන්නේ ද සමාජ වටිනාකම් හා ශිෂ්ට ක්‍රමවේද විනාශ කරන්නට ය. අතොරක් නොමැතිව ඉබාගාතේ ඇවිදින සමාජය අන්තවාදයට එරෙහිව ශක්තිමත් දේශපාලන ගමන් මඟක නොයා තවත් අන්තවාදයක පටලැවෙන්නට උත්සාහ ගැනීම තාර්කික ය.

මේ මොහොතේ දී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන මහජන ව්‍යාපාරයක් මහන්සි විය යුත්තේ සියලු ආකාරයේ අන්තවාදීත්වයට එරෙහිව ශක්තිමත් ව සටන් කිරීමටයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොටස් අතර සම්මුතියක් ඇති කර ගත යුතු ය. එසේම සමාජය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා සංවාදයක් ඇති කර ගත යුතුය. එහි මූලික ඉඩ හසර වෙන් කර දිය යුත්තේ මුස්ලිම් ජන කොටසට ය. මුස්ලිම් ජනතාව ඉස්ලාම් ආගමේ මූලධාර්මික අන්තවාදය ප්‍රතික්ෂේප කරමින් ස්වයං විවේචනයක් කළ යුතු අතර සෙසු ආගමික කොටස් වල ප්‍රගතිශීලීන්ට ඔවුන් හා අත්වැල් බැදගත හැකි පරිසරයක් නිර්මාණය කර ගත යුතුය.

සිංහල ජනතාව ඥානසාර හිමියන් ද මුස්ලිම් ජනතාව සහරාන් ද ප්‍රතික්ෂේප නොකරන්නේ නම් සාමූහික විනාශයට ගමන් කරන්නට දෙවර්ගයේම ජනතාව සූදානම් විය යුතුය.

Comments