අන්තවාදය මතවාදයෙන්ම පරාජය කළ යුතුයි | Page 2 | සිළුමිණ

අන්තවාදය මතවාදයෙන්ම පරාජය කළ යුතුයි

වර්තමානයේ රටේ පවතින තත්ත්වය ගැන ඔබේ අදහස...

රටට බිය ඇති කළ ඉස්ලාම් අන්තවාදි සංවිධානය මේ තරම් දුරට වර්ධනය වුණේ රට කරපු ආණ්ඩු දෙකේම වරදින්. පහුගිය අවුරුදු 7-8ක කාලය තුළ මේ තත්ත්වය පිළිබඳ වාර්තා වෙලා තියෙද්දිත් ආණ්ඩු දෙකම ඒ ගැන නිසි අවධානයක් යොමු කළේ නැහැ. එහෙම වුණා නම් මෙහෙම තත්ත්වයක් ඇති වන්නේ නැහැ.

මෙහි ප්‍රධාන වගකිව යුත්තන් ලෙස ඔබ දකින්නේ කවුරුද?

මෙයට වගකිය යුතු පාර්ශ්ව දෙකක් සිටිනවා. එක් පාර්ශ්වයක් බෝම්බ පුපුරවාගත් අයයි. අනෙක් පාර්ශ්වය ඒ ගැන අනතුරු ඇඟවීමක් කර තිබියදීත් නිසි පියවර නොගත් අයයි.

පාසල් ආරම්භ කළත් සාර්ථකත්වයක් නැති බවයි පෙනෙන්නේ...

පාසල් ආරම්භ කිරීම සඳහා ගත් තීරණයේ සිටම ආණ්ඩුව වරද්දාගත්තා. අධ්‍යාපන ඇමැති කියනවා ආරක්ෂාව හොඳයි කියා. ඔහු කොහොමද කියන්නේ? ආරක්ෂාව ගැන ඔහු දන්නේ මොනවාද? ඒකට හොඳම උත්තරය තමයි ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ දරුවන් පැමිණෙන ආරක්ෂක විද්‍යාලයටවත් දරුවන් නොපැමිණීම. දරුවන් පාසල් යවන්න තරම් මානසිකත්වයක් ගොඩනැඟිලා නැහැ.

ඒත් හැමදාම මෙහෙම හැංගිලා ඉන්න පුළුවන්ද?

මේ තත්ත්වය ඉතා ඉක්මනින් සමනය විය යුතුයි. නැත් නම් පාසල් අඩපණ වෙයි; ව්‍යාපාර කර්මාන්ත සියල්ල බිඳවැටේවි. ඒකම අන්තවාදීන් ලබන ජයග්‍රහණයක් වනවා.

වත්මන් ආරක්ෂාව ගැන ඔබ පක්ෂය සෑහීමකට පත් වෙනාවද?

කොහෙත්ම නැහැ. රටේ ජනතාව උපයන මුදලින් විශාල මුදලක් බදු ලෙසින් ගන්නවා. එයින් විශාල ප්‍රමාණයක් යන්නේ ආරක්ෂක අමාත්‍යාංශයටයි යන්නේ. එහෙත් මේ දක්වාම ආණ්ඩුව එයින් කළේ ප්‍රභූ ආරක්ෂාව තර කිරීමයි. අඩුම වශයෙන් බුද්ධි අංශ මඟින් දැනගන්න ලැබුණු තොරතුරු ජනතාවට දැනුම් දුන්නා නම් 21 වැනිදා පල්ලිවලට නොයා සිටින්න ජනතාවට හැකි වනවා. ඒත් එහිදී පවා කළේ ප්‍රභූ ආරක්ෂාව සැලසීම පමණයි. විපක්ෂ නායකතුමාට පවා දැනුම්දී තිබුණා. තොරතුරු මත පදනම්ව තීන්දු ගැනීමක් මෙහිදී දකින්නට නැහැ. දේශපාලන බල පොරයට තමයි සියලු දෙනා කටයුතු කරන්නේ.

අන්තවාදි ක්‍රියාවලට සම්බන්ධ අය අත්අඩංගුවට ගත් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන ජනතා පැහැදීමක් නැති බවක් පේනවා..

පාර්ලිමේන්තුව විසින් හදිසි නිතීය සම්මත කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මහජන ආරක්ෂක පනත් ඒ අනුව බලාත්මකයි. බුද්ධි අංශ හා අනෙක් අංශ මඟින් අත්අඩංගුවට ගැනීම් සිදු වනවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත මර්දන ඒකකය වැනි අංශ මඟින් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා. එහෙත් දේශපාලනඥයන්ට සම්බන්ධ ඥාති පිරිස් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකින් ප්‍රශ්න කර මුදාහැරීම් ගැන ජනතා පැහැදීමක් නැහැ. ආණ්ඩුව දැනගත යුතුයි ජනතා විශ්වාසය තහවුරු කරන්න.

දෙමටගොඩදී අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ඔබ පක්ෂයට සම්බන්ධයි. ඔහු පක්ෂයෙන් නම් කිරීමට පෙර විපරම් නොකෙළේ ඇයි?

ඔහු 2015 ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසයි අප නම් කළේ. ජාතික ලැයිස්තුවෙන් නම් කරන්නේ පක්ෂයේම අය නොවෙයි; ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් වැනි අයත් නම් කරනවා. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණට සමබන්ධ අය ගැන බුද්ධි අංශ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරතුරුව පරීක්ෂණ කරනවා. ඔහු යම් වරදක් කර ඇත් නම් අප ඒ ගැන කරන ඕනෑම නීතිමය කටයුත්තකට සහාය දෙනවා.

මඩකලපුවේ ආරම්භ කිරීමට යන ආගමික විශ්වවිද්‍යාලය සම්බන්ධව ඔබ පක්ෂයේ මතය පැහැදිලි කළොත්...

රාජපක්ෂ පාලන සමයේ සයිටම්-එක ආරම්භ කර විහාල ගැටලුවක් ඇති වුණා. මේකත් ඒ වගේම තමයි. රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කිරීමට අවසර දී ඇත්තේ එවකට වෘත්තීය පුහුණු ඇමැතිවරයා විසින්. කොහොමත් පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ අපේ පක්ෂයේ මතය ඉතා පැහැදිලියි. රජය වහාම සිදු කළ යුත්තේ ඒ ආයතනය රජයට පවරාගෙන රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට අනුගත කිරීමයි.

මේ අවස්ථාවේ රටේ ස්ථාවරත්වය පිණිස ඔබ පක්ෂය දෙන සහයෝගය කුමක්ද?

රටේ ජනතාවට ආරක්ෂාව සැලසීම ආරක්ෂක අංශවල කාර්යභාරයක්. ආණ්ඩුවේ නායකයා ලෙස අගමැතිවරයාත්, රටේ නායකයා ලෙස ජනාධිපතිවරයාත් මේ අවස්ථාවේ යම් එකඟත්වයකට පැමිණිය යුතුයි, රට මේ අස්ථාවරත්වයෙන් ගොඩ ගන්නේ කොහොමද යන්න ගැන කතා කරගැන්මට. මේ අවස්ථාවේ අප කිසිදු ලෙසකින් පවසන්නේ නැහැ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ අස් විය යුතුයි කියා. එසේ වුව හොත් රට තවත් අරාජික වනවා. ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් තව කෙටි කලයි බලයේ ඉන්න තිබෙන්නේ. ඒ නිසා අවම වශයෙන් ඒ කෙටි කාලයේ හෝ බල අරගලය පසෙක තබා අන්තවාදය පරාජය කර, ජාතික ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ යුතුයි.

අප පක්ෂයක් වශයෙන් ඉදිරි සතියේ සිට දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩමුළු රට පුරා මෙහෙයවනවා. 'අන්තවාදය පරාජය කරමු, ජාතික ආරක්ෂාව තහවුරු කරමු' යන්න අපේ තේමාව වනවා.

Comments