ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් ගොඩක් විතරයි | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් ගොඩක් විතරයි

“ලසිත් මාලිංගව ක්‍රිකට් ලෝක කුසලානයට නම් කරලා තියෙන්නේ. එයා බෑ කිව්වොත් ඇත්තටම අපට කරන්න දෙයක් නෑ. අපි මේ ටීම් එක ක්‍රිකට් ලෝක කුසලානයට යන්නේ නැතුව, ඊළඟට ඉන්න ටීම් එක ගෙනියන්න බෑ. මාලිංග ආබාධ වු‍ණොත් අපට වෙන කෙනෙක් ගෙන යන්න වෙනවා. ඒ නිසා අපි එයාට ආයාචනා කරලා කියනවා, රට ගැන හිතලා ක්‍රීඩා කරන්න කියලා.“

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මේ බව ප්‍රකාශ කළේ එංගලන්තයේ පැවැත්වෙන දොළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ කතිකාවේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ෂම්මි සිල්වා,

“ඇත්තටම මේ නම් ගොඩක් විතරයි. මම අද මෙතැන මැරුණත් මේ පුටුවට පෝලීමේ එන්න කට්ටිය ඕනෑ තරම් බලාගෙන ඉන්නවා. ඒ වගේ තමයි ක්‍රීඩකයොත්, මාලිංග ගේ තැනට වුණත් ඇවිත් ක්‍රීඩා කරන්න ඕනෑ තරම් ඉන්නවා. කවුරු ගියත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහලා දාලා යන්නේ නෑ වගේ තමයි. අපි රට වෙනුවෙන් තමයි මුලින් ක්‍රිඩා කරන්න ඕනෑ.

ලසිත් මාලිංග රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. මම හිතන්නේ නෑ එයා දැඩි තීරණයක් ගනියි කියලා. මේ අවස්ථාව මාලිංගටත් තම දක්ෂතා එළි දැක්වීමට හොඳ අවස්ථාවක්.

“මේක එයාටත් හොඳ අවස්ථාවක්. නායකත්වයෙන් ඉවත් කළාට ක්‍රීඩකයෙක් විදියට තම හැකියාවන් සහ දක්ෂතාවයන් පෙන්නුම් කිරීමට. මාලිංග අපිට කිසිම ලියුමක් එවලා නෑ, අපි එයා ඉල්ලන හැම දෙයක්ම දීලා තියෙන්නේ. එයාට තියෙන්නේ රට වෙන‍ුවෙන් ක්‍රීඩා කරන්න විතරයි. මම දැඩිව විශ්වාස කරනවා එයා ශ්‍රී ලංකා ටීම් එකත් එක්ක ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න යයි කියලා.“

මාලිංග ලෝක පූජිත ක්‍රීඩකයකු බව පවසන ෂම්මි සිල්වා, “මාලිංග කියන්නේ ලෝක පුජිත ක්‍රීඩකයෙක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. හොඳම පන්දු යවන්නත් අතරත් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය කාලයේ ඔහු නායකයා ලෙස කටයුතු කළ තරග පරාජය වූ නිසා හොඳ ක්‍රීඩකයකුට හොඳ නායකයකු නොවෙන්න පුළුවනි. ඒ වගේම හොඳ නායකයකු හොඳ ක්‍රීඩකයකු නොවෙන්නත් පුළුවන්. අපි මාලිංගට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට යැව්වෙත් කිසිම කොන්දේසියක් නැතිවයි. මේ අලුත් නායකයකු සමඟ අලුත් ගමනක් බව ද හෙතෙම පවසයි. අසන්ත සහ එයාගේ ටීම් එක තෝරපු ලෝක කුසලාන කණ්ඩායම ඉතාමත් හොඳ එකක් කියලා පැහැදිලියි. අලුත් නායකයා, දිමුත් දකුණු අප්‍රිකානු සංචාරයේදී කිසිම කෙනෙක් හිතපු නැති විදියට හොඳට ටෙස්ට් තරගාවලිය අවසන් කළා.

අපට තේරුණා දිමුත්ට ටීම් එක එකතු කිරීමේ සම්පූර්ණ ශක්තිය තියෙනවා කියලා. ඔහු ටෙස්ට් තරගාවලියේදී ඒ බව ඔප්පු කළා. ඇන්ජලෝ - මාලිංග - දිනේෂ් චන්දිමාල් වගේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්න පසුබිමක තමයි දිමුත් නායකයා වෙන්නේ. ටෙස්ට් තරගාවලියේදී එයා ඒ විශ්වාසය දිනා ගත්තා. මේ ටීම් එකට ලෝක කුසලාන තරගාවලියේදී ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ තේරීම්වලට එක් වුණේ නෑ.“

 

Comments