අත්වැසුම් දේශපාලනය සහ මුස්ලිම් සමාජය | සිළුමිණ

අත්වැසුම් දේශපාලනය සහ මුස්ලිම් සමාජය

දේශපාලකයන් සමාජයට සංවේදි බොහෝ දේ අල්ලන්නේ අතට අත්වැසුම් දමාගෙන යැයි බටහිර කියමනක් තිබේ. එයට හේතුව ඔවුන්ගේ අත්වල කුණු තැවරෙන නිසා නොව, ඇඟිලි සලකුණු නොතබා ඒ දේ වෙත අත දැමීමට බව බොහෝ දෙනකුට තේරුම් ගැනීමට මේ හොඳ කාලයකි. මෙය ගමේ ‍දේශපාලනයේත් අපේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලනයේත් මෙන්ම ට්‍රම්ප්ලා පුටින්ලා රඟන ගෝලීය දේශපාලනයේත් අද දැකිය හැකි තත්ත්වයකි. ඔවුන්ගේ මේ 'අත්වැසුම් දේශපාලනය' පිළිබඳ අපට වඩාත් සංවාද කරන්න සිදුව ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන තලයේ සිදු වන කතාබහ විමසන කල්හිය.

පොදුවේ බලන කල මේ කතා-බහ තුළ එක් එක් දේශපාලන අභිලාශයන් ඉස්මතු වනු මිස, මේ මොහොතේ රටට හෝ ජනතාවට හෝ අවශ්‍ය වී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ සිදු වන කතා-බහ ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදු වූ ඉස්ලාමික අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු අප මේ ‍ගෙවන්නේ තුන්වන සතියයි. සති තුනක් ගෙවුණත් ඍජුවම බෝම්බවලට බිලි වී යන්තමින් දිවි ගලවාගත්තවුන් සහ ඔවුන්ගේ සමීපතමයන් විඳින කම්පන‍යේ හෝ මේ රටේ ජනතාව පෙළන තිගැස්මේ හෝ තවම අඩුවක් නැත. මේ වන විට රජය ආරක්ෂක හමුදා සහ පොලීසිය මඟින් ත්‍රස්තවාදය හමුවේ සාර්ථක ප්‍රබල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ වෙනුවෙන් මෙරට බහුතර මුස්ලිම් ප්‍රජාව සහ සමස්ත ජනතාව වෙතින් ලැබෙනුයේ නොමඳ සහායකි. ආරක්ෂක හමුදා පවා මේ මෙහෙයුම් අතරේ පවසන්නේ අන්තවාදි විෂබීජයේ මූලයන් දිවූ මුස්ලිම් ප්‍රජාව අතුරින් මෙය මර්දනය කිරීම සඳහා ලැබෙන සහාය සුළු-පටු නොවන බවයි.

මේ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇති ඉස්ලාම් ආගමික අන්තවාදයෙන්ද වැඩියෙන්ම බැට කන්නේ මේ මුසල්මානුවෝය. අපේ රටේ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයටද මේ අන්තවාදි ආගමික කල්ලිවලින් එන පීඩනය පුපුරා ගිය ආකාරය 2017 වසරේ කාත්තන්කුඩියේදී අත්විඳිය හැකි විය. එදා සහරාන්ලා කාත්තන්කුඩියේ අන්තවාදය පතුරවද්දී ඊට එරෙහි වූවන්ට සමස්ත මුස්ලිම් ප්‍රජාව, මුස්ලිම් දේශපාලනය ඇතුළු සියලු පාර්ශ්ව නිසි සහායක් දැක්වී නම් පසුගියදා පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි දරුණු තැනකට ඒ පිරිස තල්ලු නොවනු ඇති වග අද කාත්තන්කුඩි මුස්ලම් වැසියන් සිහි කරන්නේ දැඩි වේදනාවකිනි.

ඉස්ලාම් අන්තවාදයේ සිහිනය වන්නේ ඔවුන්ගේ ආගම පදනම් කරගත් එකම මුස්ලිම් පාලකයකු සහිත කලිෆාතයක් නිර්මාණය කිරීමය. මෙය හුදෙක් ආගමික උමතුවක් බව බහුතර මුස්ලිම් සමාජයේද පිළිගැනීමයි. මේ උමතු ආගමික අන්තවාදය පෝෂණය කරන ගෝලීය දේශපාලනයක්ද ඇත. ඔවුන් අන්තර්ජාතික තලයේදී මේ උමතු ආගම්වාදය අත්වැසුම් දමාගෙන එහෙ-මෙ‍හෙ හසුරුවන්නේ ඔවුන්ගේ අභිමතාර්ථ වෙනුවෙනි. අරාබිකරයෙන් නිර්මාණය වන මේ අන්තවාදය ලෝකයට පැතිරවීමේ පළමු පියවර නිර්මාණය වන්නේ 1970 දශකයෙන් පසු මැද-පෙරදිග තෙල් සම්පත් කෙමෙන් බටහිර ලෝකයට විවර වෙද්දීය. එහිදී සිදු වන ධනය හුවමාරුව සමඟ මැද-පෙරදිග කලාපය පොහොසතුන්ගේ පාරාදීසයක් බවට පත් වන්නේ නිතැතිනි. ඒ හරහා මැදපෙරදිගින් සෙසු ලෝකයටත්, ලෝකයේ වෙනත් රටවලින් මැද-පෙරදිගටත් ආයෝජන හුවමාරුව, ශ්‍රම හුවමරුව සිදු වීම එකල සිට අද දක්වාම දක්නට හැකි සංසිද්ධියකි. තම ආගමික ඉගැන්වීම් අනුව ඉතා සාමකාමි වූ, ව්‍යාපාර පදනම් කරගත් දිවි පෙවෙතක් ගෙවූ දේශීය මුස්ලිම් ප්‍රජාව අතරටද ආගම මුල් කරගත් අන්තවාදි අදහස් කාන්දු වන්නේ ඒ අනුවය. අරාබි සංස්කෘතියට හුරු වීම, ඒ ආකාරයට ඇඳුම් ඇඳීම මුස්ලිම් අනන්‍යතාවක් දක්වා වර්ධනය වන්න වූයේ ඒ අනුව බව මේ පිළිබඳ විශ්ලේෂණයක යෙදෙන මුස්ලිම් විද්වතකු වන ආචාර්ය අමිර් අලී සඳහන් කර ඇත.

කෙසේ වුවද කලක් තිස්සේ මුස්ලිම් සමාජය තුළ සිදු වූ මේ ඉස්ලාමික ආගමික නැඹුරුව අන්තවාදයක් දක්වා ගමන් කරන්න අවශ්‍ය පසුබිමද ශ්‍රී ලංකාව තුළ කෙමෙන් නිර්මාණය විය. ඒ කෙරෙහි මුස්ලිම් ප්‍රජාව කෙරෙන් විවිධ විරෝධතා නැඟුණද 'අත්වැසුම් පැලඳගත්' මුස්ලිම් දේශපාලනය එය සමස්ත සමාජයට හිතකර පරිදි නියාමනය කිරීමට උනන්දු නොවූයේ ඇයිද යන්න කාටත් වටහාගත හැකිය. මෙරට ජාතික සටනට සහ ජතියේ සංවර්ධනයට දැවැන්ත දිරියක් දුන් විශිෂ්ට මුස්ලිම් රාජ්‍ය තාන්ත්‍රිකයන් සිටි රටක ජාතිවාදි දේශපාලන බල කඳවුරු අටවාගත් මෑත කාලීන මුස්ලිම් දේශපාලන නායකයෝ මේ ආගම් සහ ජාති උන්මාදය තම ඡන්ද පදනම තහවුරු කිරීමට භාවිත කළහ.

මෙහි අවාසනාවන්ත අවසාන ප්‍රතිඵලය නම් අද වන විට අප කවුරුත් එකිනෙකා දෙස සැක මුසු දෑසින් බලන තත්ත්වයට පත්ව තිබීමය. ත්‍රස්තවාදියා දෙස සැක මුසු දෑසකින් බැලිය යුතු වුවත්, මේ රටේ එකට ජීවත් වන ජන කොටස් එකිනෙකා දෙස සැක මුසු හැඟීමකින් කටයුතු කිරීම අප කාටත් පීඩාවක් ගෙන දෙන කටයුත්තකි. මේ වන විට මෙකී අන්තවාදි ත්‍රස්තවාදයේ තවාන් පෝෂණය වූ මුස්ලිම් සමාජයද මෙහි පවතින බරපතළ විනාශකාරි බව අවබෝධ කරගෙන ඇතුවාට සැකයක් නැත. අන්තවාදය මර්දනය සඳහා ඔවුන්ගේ සහාය නොමඳව ලැබෙන්නේද ඒ හේතුවෙනි. මේ මුස්ලිම් ජනතාව අන්තවාදයෙන් මෙන්ම ඒ මත රෝපණය වූ ත්‍රස්තවාදයෙන්ද රැකගැනීම සමස්ත සමාජයේ වගකීමකි.

එහෙත් සමස්ත මුස්ලිම් සමාජය එක් පැත්තකට තල්ලු කිරීමේ වෛරි අරමුණින් ක්‍රියා කරන අන්තවාදි පාර්ශ්ව මේ සමාජය තුළ විවිධ අරමුණු සපුරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන බවක් පෙනී යයි. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් ඔවුන් එවැනි ජාතිවාදි අන්තවාදි දැක්මකින් කටයුතු කිරීමෙන් සිදු වන්නේ රටම තවදුරටත් අවිනිශ්චිත, අනාරක්ෂිත අරාජිකත්වයට තල්ලු කිරීමක් පමණකි. ඒ වෙනුවට කළ යුත්තේ මේ රටේ සැබෑ මුස්ලිම් ප්‍රජාවට විශ්වාසයකින් යුතුව පෙර සේ කටයුතු කිරීමට අවැසි සහතිකය රැකවරණය සැලසීමය. එය රජයකින් හෝ නිලධාරීන්ගෙන් සිදු වනවාට වඩා සවිමත්ව සිදු වන්නේ රටේ සමස්ත ජනතාව අතින් බව අපගේ විශ්වාසයයි. එසේ වුව හොත් මේ ආගමික අන්තවාදයේ අක්-මුල් අපට අඩුම තරමින් රටට ලෝකයට තර්ජනයක් නැති මට්ටමකට හෝ නියාමනය කරගත හැකි වනු ඇත.

අදහස්