උතුරු මැද පළාතේ අපනයන බෝග ප්‍රචලිත කිරීමට පියවර | Page 2 | සිළුමිණ

උතුරු මැද පළාතේ අපනයන බෝග ප්‍රචලිත කිරීමට පියවර

අනුරාධපුර අතිරේක දිස්ත්‍රීක් සමූහ නිමල් විජේසිංහ

ගම් මිරිස් වගාවට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් පුවක් හා කුරුදු වගාව උතුරු මැද පළාතේ ප්‍රචලිත කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පියවර ගෙන ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපනයන කෘෂී බෝග වගා රටාව පිළිබදව අදහස් පල කළ දිස්ත්‍රික් වගා ව්‍යාපෘති නිළධාරී චාමින්ද සෙනෙවිරත්න මහතා ගම් මිරිස් වගාවට ප්‍රමුඛත්වය ලබා දී ඇති බව පැවසීය. අනුරාධපුරය අයත්වන වියලි කලාපයේ පස මදක් රතු දුඹුරු පැහැයෙන් යුක්තයි. මෙම කලාපය තුල වර්ෂාපතනය මි.මි. 1750 මට්ටමේ පවතිනවා. මේ නිසා පසට හා බෝගයට ගැලපෙන වාරිමාර්ග ක්‍රමවේදයක් අවශ්‍යයයි. අනෙක් ගැටලුව වී තිබෙන්නේ මාස් කන්නයේ වැස්ස අවසානයේ විශාල වශයෙන් පොළොව මත ජලය කලක් මුලුල්ලේ රැදී තිබෙනවා. මෙම පරිසරය ගම් මිරිස් වගාවට ඉතා අහිතකරයි. මේ නිසා උසට පාත්ති සකස්කර බැරලයක් ආකාරයට ගම් මිරිස් වැල් ඉහලට ගෙන යාමේ පෙප්සිකා (PEPCYKA) වගා රටාව අනුරාධපුර දිස්ත්‍රීක්ක‍‍ය තුල සාර්ථකව අත්හදා බලා තිබෙි.

 අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ඉපලෝගම ගම්මානයේ ආර්.සෝමා නමැති ගෙවිලිය මෙම ක්‍රමය යටතේ 2016 දී ගම් මිරිස් පැල 80 ක් ''ධනසවිය'' වැඩසටහන යටතේ සිටුවා 2018 අප්‍රේල් මාසය මුල් අස්වැන්න ලබා ගෙන ඇති අතර 2018 දෙසැම්බර් අග  කිලෝ 70 ක අස්වැන්නක් ලබා ගැනීමට සමත්ව සිටී. ලබන ජූනි/ජූලි වන විට ඇය මෙම පෙප්සිකා ගම් මිරිස් වගාවෙන් ගම් මිරිස්කි ලෝ 175 ක ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වනු ඇති බව සෙනෙවිරත්න මහතා පැවිසීය.

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ගම් මිරිස් ගෙවතු 890 ක් කුරුදු ගෙවතු 27 ක් පුවක් ගෙවතු 30 ක් ආරම්භ කර ඇත. පැල අවශ්‍යතාවයෙන් 50% ක් නොමිලේ ගොවීන් හට ලබා දෙන බවද ඔහු පැවසීය.

මේ වසර තුල දිස්ත්‍රීක්කයේ පුවක් පැල 20000 වගා කිරීමේ වැඩසටහනක් ද දියත් කොට ඇත.

Comments