තත්ත්වයෙන් බාල ලුණු අලෙවි කල අයට දඩ | Page 2 | සිළුමිණ

තත්ත්වයෙන් බාල ලුණු අලෙවි කල අයට දඩ

අඹන්පොල විශේෂ- සකුන්තලා ජයසිංහ

ව්‍යාජ නම් සහ ලිපිනය යෙදු ලේබල් සහිතව තත්ත්වයෙන් බාල ලුණු අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකරු වු පුද්ගලයකු ට මහව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් තිස් දහසක දඩ නියම කරන ලදී.

ඉකුත් අලුත් අවුරුදු උත්සව සමයේ මහව , අඹන්පොල , නාගොල්ලාගම සහ තවත් තදාසන්න මහජන පොළවල්වලට බෙදා හැරීම සඳහා මහව ප්‍රදේශයේ ගබඩා කර තිබුණු ලුණු තොගයක් පරීක්ෂා කිරිමේ දී මහව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් 2019.04.26 වැනි දින මෙම ලුණු තොගය අත් අඩංගුව ට ගන්නා ලදී. මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඕ.ඒ.ජේ.ඩී සරත්චන්ඳ්‍ර මහතාගේ උපදෙස් පරිදි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.එම් ජේ.කේ බණ්ඩාර, බලල්ල කලාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .එම්. කේ බණ්ඩාර සහ මහව මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එම්.ආර්.කේ හේරත් යන නිලධාරින් විසින් මෙම හදිසි වැටලීම සිදු කරන ලදී.

ඒ අනුව අත් අඩංගුවට ගන්නා ලද ලුණු තොගය රස පරීක්ෂකවරයා ට ඉදිරිපත් කිරීමෙන් පසු එම වාර්තාවට අනුව එම ලුණු පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වීමෙන් පසු සැකකරුට එරෙහිව මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී. අත් අඩංගුවට ගත් ලුණු තොගයේ අයඩින් ප්‍රමාණය වැඩි වීම, තත්ත්වයෙන් බාල වීම . කැට විශාල වීම , තෙතමනය වැඩි වීම යන චෝදනාවලට අමතරව ලුණු ඇසුරුම්වල සඳහන් කර තිබුණු නිෂ්පාදිතයා සහ ලිපිනය පිළිබඳ තොරතුරු ව්‍යාජ ඒවා වීම යන කරුණු යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සැකකරුට එරෙහිව චෝදන ගොනු කර තිබිණි. ඒ අනුව ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා වරදකරුට රුපියල් තිස් දහසක දඩ නියම කරන ලෙස නියෝග කළේය.  

Comments