ඉස්ලාම් දහමට අනුව මරාගෙන මැරීම පවක් | සිළුමිණ

ඉස්ලාම් දහමට අනුව මරාගෙන මැරීම පවක්

රට තුළ උද්ගතව තිබෙන තත්ත්වය වෙනස් කිරීම සඳහා මුස්ලිම් ජනසමාජය සතු වගකීම හා ඔවුන් ඒ සඳහා කරන යෝජනා මොනවාද යන්න සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමයේ සම්බන්ධීකාරක (තරුණ අංශය) නුෂ්රත් නව්ෆල් මවුලවි සමඟ කළ සංවාදයකි මේ.

• මුස්ලිම් සමාජය නියෝජනය කරන ආගමික නායකයක ලෙස, පසුගියදා ඇති වූ සිදුවීම ඔබ දකින්නේ කොහොමද?

පොදුවේ අරන් බැලුවොත් අන්තවාදී පිරිස් හැම ආගමකම ඉන්නවා. බෞද්ධ, කිතුනු, හින්දු, ඉස්ලාම් මේ හැම එකකම එවැනි අය ඉන්නවා. ඒ අය ත්‍රස්තවාදි ක්‍රියා සිදු කරන්නේ කුමන පරමාර්ථයෙන්ද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා කුමන ආකාරයේ අන්තවාදයටත් අප විරුද්ධයි. මේ දේවල් මනුෂ්‍ය සමාජයට හොඳ දේවල් කියලා අපට කියන්න බැහැ.

• එහෙත් මෙවැනි සංවිධාන තමන්ගේ සමාජය තුළ ක්‍රියාත්මක වන බව තේරුම් ගත්තාම ඒ බව වගකිවයුතු පාර්ශ්වයන් දැනුවත් කිරීමේ ඔබලාගේ වගකීමක් නේද?

අප මීට කාලයකට ප්‍රථම ඉස්ලාම් වියතුන්ගේ සංවිධානය ලෙස ඒකරාශී වී 2014-15 වසරවල පැවති රජයටත්, වර්තමාන රජයටත්, ආරක්ෂක අමාත්‍යංශයටත්, බුද්ධි අංශයටත් ගිහින් මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබාදී තිබෙනවා. පොඩි පිරිසක් එකතු වෙලා අන්තවාදී ලෙස ක්‍රියා කරන බවක් අපට පේනවා, මේ පිළිබඳව කරුණාකරල හොයල බලන්න කියල අපි කිව්වා. දැන් බලන කොට ඒ පිළිබඳව මේ අය සොයාබැලීමක් සිදු කර නැති බවයි අපට හිතෙන්නේ. ඔවුන් හිතන්න ඇති මේ අය එච්චර දුරට හැදෙන්නෙ නැති වේවි, යුද්ධයේ අත්දැකීම් තියෙන නිසා ඒකට මේ අය බය වේවි කියලා. නැත් නම් මෙහෙම වෙන්නේ නැහැ නේ.

• මෙවැනි ත්‍රස්ත ක්‍රියා සඳහා ඉස්ලාමීය ඉගැන්වීම්වලින් අනුබලයක් ලැබෙනවද?

කෙනකුට මරාගෙන මැරෙන්න කියල ඉස්ලාම් ආගමේ කොහේ වත් කියලා නැහැ. ඇත්තටම ඒ විදියට මරණයට පත් වීම ලොකු පවක්.

• ඒත් ඉස්ලාම් නොවන, අනෙකුත් ආගම් අදහන අය මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස සලකා පිරිසුදු ඉස්ලාමය වෙනුවෙන් ඔවුන් ඝාතනය කළාට කමක් නැහැ කියලා කුරානයේ සඳහන් වන බවට චෝදනා නැඟෙනවා...

ඉස්ලාම් ආගමේ එවැනි දෙයක් කියලා නැහැ. මේ අයට කුරානයේ තියෙන දේවල් වැරදි විදියට කවුරුහරි උගන්වලා තියෙනවා. අපි ඒ මුල තමයි හොයන්න ඕන. අයිඑස්අයිඑස් සංවිධානය කියන්නේ ලංකාවේ ආරම්භ වුණු ත්‍රස්තවාදී කල්ලියක් නෙමෙයි. අයි එස් කියන්නේ අන්තර්ජාතික ලෙස අපරාධ සිදු කරන කල්ලියක්. මේ අයගේ ක්‍රියා මොනවාද කියල අපි විග්‍රහ කරල බැලුවොත්, ඔවුන් වැඩියෙන්ම ඝාතනය කර තියෙන්නේ කාවද? මුස්ලිම් සමාජයමයි. එහෙම නම් කුමන හෝ ආගමක තමන්ගෙම අයව මරන්න කියල ලියවිලා තියෙනවද? නැහැ. එහෙම නම් මේ අය කවුද? ලෝකය තුළ කවුරුන් විසින් මේ අයව නිර්මාණය කළේද? මේ අයට මෙවැනි ත්‍රස්ත කියා සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන්නේ කවුද? ඇයි මේ අය අනෙක් අය විතරක් නැතුව මුස්ලිම් අයවත් මරන්නේ? මං එහෙම කියන්නේ අනෙක් අය මරන්න ඕනෑ කියන එක නොවෙයි; මේ අයට එහෙම බෙදීමක් නැති බව අඟවන්නයි. ඒ නිසා මෙන්න මේ ගැන අපි අවධානය යොමු කළ යුතුයි.

• මේ රටේ පාරම්පරික මුස්ලිම්වරුන්ට විරුද්ධව වහබ්වාදි කණ්ඩායම් සක්‍රීයව කටයුතු කළේ අද-ඊයේ නොවෙයි නේද?

ඔව්, එහෙම ඉතිහාසයක් තිබෙනවා. මං ඒක නැහැයි කියන්නේ නැහැ. ඒත් මෙතන ප්‍රහාරය එල්ල කළේ වහබ්වාදය හෝ සුෆිවාදය හෝ අනුගමනය කරන අය නොවෙයි; ඊටත් එහා ගිහින්, ඒ අය විසින්ම වෙනම ආගමක් හදාගත් ත්‍රස්තවාදී කල්ලියක්. ඒත් මේ අයිඑස්අයිඑස් කණ්ඩායමට සම්බන්ධ බොහෝදෙනා වහබ්වාදි කණ්ඩායමේ තමයි ඉඳලා තිබුණේ. ඒක අපි පිළිගන්න ඕනෑ.

• මේ තත්ත්වය නිසා සමස්ත මුස්ලිම් සමාජයටම කිසියම් අභියෝගයක් එල්ල වී තිබෙනවා. ඔබලා එය තේරුම් කරගන්නේ කොහොමද?

ලංකාවේ ඇති වෙච්ච මේ සිද්ධියේදී ඇඟිල්ල දික් වුණේ සමස්ත මුස්ලිම් සමාජයටයි. ඒ නිසා අද බෞද්ධ, කිතුනු, හින්දු මේ හැමදෙනාම මුස්ලිම් ප්‍රජාව දිහා බලන්නේ මෙයත් ත්‍රස්තවාදියෙක්ද? කියන බිය මුසු හැඟීමකින්. මේ අය එහෙම බලන්න ඕනෑ කියල හිතලා බලනවා නොවෙන්න පුළුවන්. එහෙත් යථාර්ථය එයයි. කිසියම් කණ්ඩායමක් විසින් හෝ එක පාර්ශ්වයක් විසින් හෝ එවැනි ත්‍රස්තක්‍රියාවක් කළාම ඒ මුළුමහත් සමාජය දිහාම අපි ඒ කෝණයෙන් බැලීමට පෙලඹීම මනුෂ්‍ය ස්වභාවයයි. එය අප තේරුම් ගත යුතුයි. ‘අප මේ අයට කොච්චර උදවු කර තිබෙනවද? බලන්න, ඔවුන් අප දිහා බලන්නේ මෙහෙමනෙ...‘ කියලා ඒ අයට අපි බැනලා තේරුමක් නැහැ. මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනෑ. ඇත්තම කිව්වොත් මේ ප්‍රශ්නෙදී මුස්ලිම් සමාජයක් විදියට අපිත් බයේ තමයි ජීවත් වෙන්නේ. අද වෙද්දි බෞද්ධ, කිතුනු, හින්දු සමාජයට තිබෙන බය මොකක්ද? අපිත් එක්ක මෙච්චර කල් ආශ්‍රය කරපු මුස්ලිම් සහෝදරයාත් අයිඑස්අයිඑස් සංවිධානයේ කෙනෙක්ද? ඔවුනුත් වහාබ් අන්තවාදි පුද්ගලයන්ද? කියන එක පමණයි. එහෙත් අද මුස්ලිම් සමාජය මේ ත්‍රස්තවාදි ක්‍රියාව නිසා ත්‍රස්තවාදීන්ටත්, අනෙකුත් ජාතීන්ටත්, ආරක්ෂක අංශවලටත් හැමෝටම බයෙනුයි ජීවත් වන්නේ.

• ඔබ ඔහොම කිව්වාට අපට අපේ යාළු මිතුරන් කෙරෙහි එහෙම ලොකු අවිශ්වාසයක් නැහැ. මොකද, ඒ අය අපත් එක්ක එකට පාසල් ගිය අය. ඔවුන්ගේ සිතුම් පැතුම් අප හඳුනනවා. ඒත් පස්සේ කාලෙක මේ තත්ත්වය වෙනස් වුණා. ඔවුන් ජාතියක් ලෙස වෙනම ජීවත් වන්න පටන් ගත්තා. මුස්ලිම් සමාජයක් විදියට අපි පොඩි කාලයක් තුළ ඈත් වෙලා ජීවත් වී තිබෙනවා. මේකට හේතුව අපි ජාතීන් ලෙස වෙන්ව පාසල් අධ්‍යාපනය ලැබීමට යොමු වීම නේද? මෙතනින් නේද අපේ වෙන් වීම සිද්ධ වුණේ?

ඇත්තටම මේකට වගකියන්න ඕනෑ සිංහල සමාජයවත්, හින්දු සමාජයවත්, කිතුනු සමාජයවත්, මුස්ලිම් සමාජයවත් නොවෙයි; මේ රට පාලනය කරපු උදවියයි. ඒ අය තමයි මේ තත්ත්වය නිර්මාණය කළේ. අපි ළමයි අරන් පාසල ගියාම ‘ඔයාල සුළු ජාතීන් නිසා, අපට මේ පාසලට ගන්න පුළුවන් 2.5%යි‘ කියල කියනවා. එතකොට පාසලක් අහිමි වන මුස්ලිම් ළමයා කොහේ ගිහින්ද ඉගෙනගන්නේ? හැම අම්මා කෙනකුම තාත්තා කෙනකුම බලාපොරොත්තු වන්නේ ‘තමන්ගේ දරුවා හොඳට ඉගෙනගෙන මේ රටේ ඉහළ තැනකට ඒවී, ඒ වගේම හොඳ පුරවැසියකු වේවි‘ කියලා. ඒ නිසා ඒ ළමයින්ට උගන්වන්න පාසල් ඇති කරන්න මුස්ලිම් සමාජය උත්සාහ ගත්තා. එහෙත් රජයට දු‍රදැක්මක් තිබුණා නම් ඒ කාලෙම මේවා නවත්තලා, ‘නෑ, හැමෝම එකම පාසලකට යන්න ඕනෑ.

ඒකට අවශ්‍ය පියවර අපි ගන්නවා‘ කියලා කියන්න තිබුණා. ඒත් එහෙම කළේ නැහැ.ඒ නිසා අද බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් විතරක් නොවෙයි, විවිධ තරාතිරම්වල පාසල් ඇති වී තිබෙනවා. මම ගියේ රජයේ සිංහල පාසලකට. මං ඒ අධ්‍යාපනය හමාර කරලා අරාබියට ගියා මවුලවි කෙනෙක් වෙන්න. ඊට පස්සේ මම ලංකාවට ඇවිත් සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමයට සම්බන්ධ වෙලා වෘත්තීය මාර්ගෝපදෙශකයකු විධියට කටයුතු කළා. මම වැඩියෙන් ආශ්‍රය කළේ වැඩ කළේ සිංහල මින්ස්සු එක්ක. මගේ එක සිංහල යාළුවෙක් මට කෝල් කරලා කියනවා: ‘මචං උඹට ප්‍රශ්නයක්ද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දේවල් ඉවර වෙන කම් අපේ ගෙදර ඇවිත් ඉඳපන්, තියෙන විදියට කාලා අපි ජීවත් වෙමු‘ කියලා. මෙන්න මේ ආශ්‍රය හැම ජනකොටසක් අතරේම ඇති වෙන්න ඕනෑ.

ඒකට අපි හැමෝම එකට එකතු වෙලා ආගමිකයන් විදියට වෙනස් වෙන්න කලින් ලාංකිකයන් වෙන්නේ කොහොමද කියලා හිතන්න ඕනෑ. මොකද, අපි හැමෝම ආගමට එන්න කලින් මේ ලෝකෙට ආපු ගමන් ලාංකිකයන්. ඊට පස්සෙ තමයි ආගම එන්නේ. ඒ නිසා මුල්න්ම අපි ජීවත් වන රටට ආදරය කරන්න ඉගෙනගන්න ඕනෑ. ඒක උගන්වන්න පුළුවන් හොඳම තැන පාසල. පාසල්වල අධ්‍යාපන කටයුතු යාවත්කාලීන කර, බෙදීමක් නැතුව හැමෝටම එකට ඉගෙනගන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න ඕනෑ. ඒ පාසල්වල එක ළමයෙක් හිටියත්; අදාළ ආගම උගන්වන්න ගුරුවරයෙක් ඉන්න ඕනෑ. ඔවුන්ගේ සංස්කෘතියට අනුව ජීවත් වෙන්නත්, ඒ වෙනස්කමට ගෞරව කරන්නත් උගන්වන්න ඕනෑ. එතකොට අපේ ආකල්ප වර්ධනය වනවා. එහෙම වුණාම වෙනස්කම පේන්නේ අභියෝගයක් විදියට නොවෙයි; පොහොසත් කමක් විදියටයි.

ඒ විවිධත්වය තුළ හැමෝටම ශ්‍රී ලංකිකයන් ලෙස ජීවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ලංකාව අද අපි දකින ලංකාවට වඩා ගොඩක් වෙනස් එකක් වේවි. හැමෝම සතුටින් නිදහසේ ජීවත් වෙන ලංකාව හැදේවි. අපි බෙදිලා වෙන් වෙලා මරාගන්න ගියොත් අපට රටක් තියා, අපට අප වත් ඉතුරුවෙන එකක් නැහැ. ඒ නිසා මේ අන්තවාදි ක්‍රියා නැවත ඇති නොවෙන්න මුලිනුපුටා දානවා වගේම අපි හැමෝම මේ රටේ සමඟියෙන් එකට ජීවත් වෙන්න හැකි පරිසරයකුත් මේත් එක්කම හදාගන්න ඕනෑ. එකට පටු අරමුණු ඇතිව දේශපාලනය කරන අයත් ඒ ආකල්පවලින් එළියට එන්න ඕනෑ. අපිට ඒ අය නාවත් කමක් නැහැ. ජනතාව විදියට වෙනස් වුණොත් ඔවුනුත් ඉබේටම එතෙන්ට එන්න සිද්ධ වේවි. ඒ නිසා මේ ප්‍රශ්නයේදී අපි එකට එකතු වෙලා මුහුණ දෙමු. එය පරාජය කර, ශ්‍රී ලංකික ජාතියක් වශයෙන් එකට නැඟී සිටිමු.

අදහස්