කණ්ඩා­යම් සංගී­තයේ අලුත්ම රිද්මය සීදුවේ ‘වෝලාරේ’ | සිළුමිණ

කණ්ඩා­යම් සංගී­තයේ අලුත්ම රිද්මය සීදුවේ ‘වෝලාරේ’

මෙරට කණ්ඩායම් සංගීතයට සීදුව ප්‍රදේශය නියෝජනය කරමින් එක් වුණ තවත් එක් සංගීත කණ්ඩායමක් තමයි ‘වෝලාරේ‘. මේ වන විට මෙරට අස්සක් මුල්ලක් නෑර සිය සංගීත රසස්වාදය ලබා දෙමින් නමක් දිනාගෙන ඇති වෝලාරේ සංගීත කණ්ඩායම මෙවර BAND OF THE WEEK කතාබහට එක් කරගත්තෙමු.

 

ඔබ කවුරුද කියල හඳුන්වාදෙමින් ම කතාබහ පටන් ගනිමු?

මගේ නම රෝෂාන් අක්මීමන. සීදුවේ වෝලාරේ සංගීත කණ්ඩායම පටන් ගත්ත සමාජිකයෝ දෙන්නගෙන් එක් අයෙක් තමයි මම.

එහෙත් මේ කණ්ඩායම පිටුපස තවත් පුද්ගලයකු ඉන්නවා?

ඔව්. මේ කණ්ඩායම පටන් ගත්ත තැන ඉඳලා මේ තැනට එනකල් ඔහුගෙන් ලැබුණු දායකත්වය මිල කළ නොහැකියි.

ඒ කවුරුද?

චතුරංග විතානගේ.

ඔහුත් සංගීත කණ්ඩායමේ ශිල්පියකු ලෙස ක්‍රියා කරනවද?

ඔහු කවදාවත් වේදිකාවට එන්නේ නැහැ. වේදිකාව පිටුපසට වෙලා විශාල ශක්තියක් ලබාදෙනවා.

එතකොට කවුරුද මෙහි සැබෑ නායකයා?

මාලන් ජෙරම්.

ඔබේ ගම් පළාත?

කොච්චිකඩේ.

අධ්‍යාපනය ලැබුවේ?

කොච්චිකඩේ මහා විද්‍යාලයේ.

පාසල් කාලයෙමද සංගීතය පටන් ගත්තේ?

කුඩා කාලයේ ඉඳලා සංගීතයට දැඩි කැමැත්තක් තිබුණා. මම හිතන්නේ එය මට සහජයෙන් ලැබුණු දෙයක් වෙන්න ඇති.

එහෙත් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමඟ ඔබ පොලිසියට බැදෙනවා?

ඔව්. මම පොලිස් දෙපාර්තුමේන්තුවට බැඳෙනවා. එහි වසර විසි පහක් සේවය කළා.

ඇයි ඉන් ඉවත් වෙන්නේ?

සංගීතයට තිබුණු දැඩි කැමැත්ත නිසා සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න අසාව ඇති වුණේ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි පොලිසියෙන් ඉවත් වෙලා චතුරංග එක්ක සංගීත කණ්ඩායම පටන් ගත්තේ.

වෝලාරේ කියන නම අපිට නුහුරුයි. ඇයි එවැනි නමක් යොදන්නේ?

වෝලාරේ කියන්නේ ඉතාලි වචනයක්. එහි සිංහල තේරුම ‘පියාඹනවා‘ කියන තේරුමයි.

වෝලාරේ සංගීත කණ්ඩායම හැඩ කරන අනෙක් සමාජිකයෝ කවුරුද?

කී බෝඩ්- අනෝජ් නිලංග, ලීඩ් ගිටාර්- දිනූෂ ප්‍රනාන්දු, රිදම් ගිටාර්- රසික මහේෂ්, බේස් ගිටාර්- නිමල් ඈන්, ඩ්‍රම්ස්- සංජු, ඔක්ටර් ෆෑඩ්- චාමික ප්‍රමෝද්‍ය, නිවේදනයෙන්, නුවන් රජිත, ගායනයෙන්. නුවන් රජිත, දමිත් ග්‍රේටෝ, බුද්ධික පියුමාල් කටයුතු කරනවා.

මේ තරම් සංගීත කණ්ඩායම් තිබෙන රටේ ඔබේ කණ්ඩායමටත් ඉඩකඩක් තිබෙනවද?

කොයි තරම් සංගීත කණ්ඩායම් තිබුණත් තමන් කරන දේ නිවැරදිව කරනවා නම් ඒ ඕනෑම කණ්ඩායමකට ඕනෑ තරම් වැඩ තිබෙනවා. ඒ අතින් ගත්තම අපට හොඳට වැඩ තිබෙනවා.

අපේ රටේ බෙහෝ සංගීත කණ්ඩායම් එකම රැල්ලක් පස්සේ යන්නේ. වෝලාරේත් එහෙමද?

ඇත්ත. ඒ චෝදනාව ගොඩක් සංගීත කණ්ඩායම්වලට එල්ල වෙනවා. හැබැයි අපිට ඒ චෝදනාව එල්ල කරන්න බැහැ. මොකද අපි කිසිම රැල්ලක් පස්සේ යන්නේ නැහැ. අපිට ආවේනික ක්‍රමවේද විතරයි අනුගමනය කරන්නේ. අපි හැම මොහොතෙම උත්සහ කරන්නේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය දේ දෙන්නයි. එහෙම නැතුව අපිට ඕනෑ දේ ප්‍රේක්ෂකයට දීලා පලක් නැහැ. වෝලාරේ සංගීත කණ්ඩායම එය නිසි ලෙස අවබෝධ කරගෙනයි ඉන්නේ.

මේ දුර එන්න අතහිත දුන්නේ කවුරුද?

රෝෂාන් ප්‍රනාන්දු, ඩූබාලි සම්පත්. අජිත් කුමාර, අජිත් විතානගේ, කීංස්ලි පීරිස්, ෂන්ෂයින් සුපුන්, ඩොනල් අයියා, ලාල් අයියා, ෆෙස්බුක් මිත්‍රයෝ සහ අපේ ගෙවල්වල සියලු දෙනාගෙන්ම ඉහළ සහයෝගයක් ලැබෙනවා.

සංගීත කණ්ඩායමක් ලෙස අනාගත බලාපොරොත්තු මොනවද?

ප්‍රේක්ෂකයන් තුළ රැඳෙමින් ඔවුන්ව සංගීතයෙන් පිනවීමයි. 

Comments