මේ උන්මන්තක ත්‍රස්තවාදය මර්දනය කිරීමට අපට හැකියි | සිළුමිණ

මේ උන්මන්තක ත්‍රස්තවාදය මර්දනය කිරීමට අපට හැකියි

පසුගිය දා සිදු වූ ත්‍රස්ත ක්‍රියා සමඟ මේ වන විට රට මුහුණදී සිටින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අභ්‍යන්තර හා ස්වදේශ සේවා කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමඟ කළ සංවාදයකි.

පසුගියදා ඇති වූ ත්‍රස්තවාදී පහර දීම සම්බන්ධයෙන් එක එක්කෙනාට බෝලය පාස් කරලා ආණ්ඩුවට ගැලවෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් ඔබට කියන්නට තිබෙන්නේ මොකක්ද?

ඔබ කියන විදියට අපි පක්ෂයක් විදියට එක එක්කෙනාට බෝලය පාස් කළේ නැහැ. ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් යථාර්ථය තමයි අපි රටට කිව්වේ.

මේක එක රටකට පමණක් සීමා වුණු හුදකලා සිද්ධියක් නොවේ. දෙමළ බෙදුම්වාදී ක්‍රියා සංවිධානය වුණේ නිදහස ලැබීමට පෙරත් ඉන් පසුවත් රටේ අයිතිවාසිකම සහ භූමිය පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගෙනයි. එය ක්‍රමයෙන් වර්ධනය වී එල්ටීටීඊ ත්‍රස්තවාදය දක්වා වර්ධනය වුණා. එය ආරම්භ කරන විට උමා මහේෂ්වරම්ලා නීලම් තිරුචෙල්වම්ලා වැනි මේ රටේ හිටපු ඉහළ පෙළේ දෙමළ දේශපාලනඥයන් සියලු දෙනාම ඝාතනය කළා. ප්‍රභාකරන් කියන ජනසංහාරක ත්‍රස්තවාදි නායකයා බිහි වුණේ එහෙමයි.

ප්‍රභාකරන් හිටියේ ලංකාවේ. ඔහු කවුද කියල අපි දන්නවා. පසුව ඒ ත්‍රස්තවාදී නායකයාට ලෝකේ විවිධ සංවිධාන උදව් උපකාර කළා. මුදල් දුන්නා. ආයුධ දුන්නා. රැකවරණය දුන්නා. නමුත් අද අපි මුහුණදී සිටින ත්‍රස්තවාදය මුළුමනින්ම වෙනස්. මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයන් ලෝකය පුරාම සැඟ වී සිටිනවා. ඔවුන් කවුද කියලා කිසිවකු හරියට දන්නේ නැහැ. ඒ අයගේ අනුගාමිකයන් අපේ රට තුළත් බිහි වී සිටිනවා. මොවුන් මානසික ආබාධයකින් පෙළෙන පිරිසක්.

බල්ලෙක් කිසියම් දෙයක් සඳහා පුහුණු කළාම ඒ බල්ලගෙන් වැඩ ගොඩක් ගන්න පුළුවන්. ඔවුන් කිසියම් පරීක්ෂණයක් සඳහා ගෙන ගියොත් ඔවුන් වෙඩිබෙහෙත් තිබුණ තැන හොයනවා. මනුෂ්‍යයොත් බල්ලන් ගානට දාලා උපතේ සිට වැරදි පුහුණුවක් ලබා දුන්නොත් ඔහු හෝ ඇය අන්ධ භක්තික මනුෂ්‍යයකු බවට පත් වෙනවා. එවැනි අය ඔවුන්ගේ ආගම අනුව මරණින් පස්සේ දෙවියන් වහන්සේ විසින් ඔවුන්ව භාර ගන්නවා කියා හිතනවා.

ඒ මානසිකත්වයට ආවම ඒකත් අමුතු විදියේ අරමුණක්. ඒ අමුතු අරමුණට ලංකාවේ සමස්ත මුස්ලිම් ප්‍රජාව නොවෙයි කිසියම් පිරිසක් හසු වී සිටිනවා. එයින් ඔවුන් මුදාගන්න අපටත් වඩා දැඩි ඕනෑකමක් තියෙන්නේ මුස්ලිම් ජනතාවටයි. ඔවුන් මේ තත්ත්වයෙන් මුදාගන්න ශ්‍රී ලංකා ආණ්ඩුව කුමක්ද කරන්නේ කියලා අද ඔවුන් බියෙන් සැකෙන් යුතුව කල්පනා කරනවා.

මේ ව්‍යසනයට ආණ්ඩුව වගකියන්න ඕනෑ කියලා ඔබ පිළිගන්නේ නැද්ද?

කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාත්, සමස්ත දේශපාලන බලඅධිකාරියත් මෙහි වගකීම භාරගත යුතුයි. දීර්ඝ කාලයක සිට මේ ප්‍රශ්නය ලෝකය පුරාමත් අපේ රට තුළත් වර්ධනය වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාරම්පරික සුෆී මුස්ලිම් ජනයා සහ ශ්‍රී ලංකාවේ වාහබි මුස්ලිම් ආක්‍රමණික ජනයා අතර 1940 දශකයේ පමණ සිට මතවාදී අරගලයක් පැවතුණා. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා වාහබ් මතවාදය පිළිගත්තේ නැහැ. 1970 දශකයේදී අරාබිකරයේ තෙල් බලවතුන් ඔවුන්ගේ මුදල් යොදාගනිමින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා වාහබ් මතවාදයට නැඹුරු කරගැනීමට කටයුතු කළා. එම වහබ්වාදීන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ තවුහීද් ජමාද් මතවාදය දරන සංවිධානයක් ලෙසයි.

ඒ නිසා ආගමික වශයෙන් ලියාපදිංචි නොවූ පල්ලි ඇති වී තිබෙනවා. ඔවුන් සුෆීවාදය ප්‍රතික්ෂේප කරමින් වාහබි අධ්‍යාපන ආයතන මෙරට තුළ පිහිටුවීමට කටයුතු කරමින් සිටිනවා. මේ නිසා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයට පාලනය කළ නොහැකි තත්ත්වයක් අද ඇති වී තිබෙනවා. මුස්ලිම් ජනතාවගේ දුප්පත්කම දඩමීමා කරගෙන මුදල් ආයෝජනය කරමින් ඔවුන් වටා විවිධ කණ්ඩායම් සංවිධානය කරමින් තිබෙනවා. මේ ක්‍රියාවලිය දවසකින් දෙකකින් හෝ වසරකින් දෙකකින් ඇති වූ තත්ත්වයක් නෙවෙයි.

1996 මාර්තු 29 වැනිදා වහබ්වාදීන් සුෆීවරුන්ගේ කාන්තන්කුඩි හි පිහිටි භාවනා මධ්‍යස්ථානය විනාශ කළා. 2005 දී සුෆී මුස්ලිම්වරුන්ට වෙඩි තියලා එක් අයෙක් මිය ගියා. එහෙත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. 2006 දෙසැම්බර් 13 වනදාත් කාත්තන්කුඩි මහා නගරසභාව තුළ පිහිටි භාවනා මධ්‍යස්ථානය විනාශ කළා. එම අවස්ථාවේ පොලීසිය කළ වෙඩිතැබීමකින් තිදෙනෙකු ඝතනය වුණා. ඊට දවස් දෙකකට පස්සේ ඒ කියන්නේ 15 වැනිදා වාහබ්වාදී අන්තවාදී කණ්ඩායම් සුෆී මුස්ලිම්වරුන්ගේ නිවාස 117ක් ගිනිබත් කළා. 2007 අගමික නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව වහාබිවරුන්ගේ එම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් (සුෆී මුස්ලිම්වරුන්ට හිරිහැර කරන බව) යූඑන් එකට දන්වා තිබෙනවා.

2009 පෙබරවාරි මසයේ උකුවෙල නගරයේ ඉදි කර තිබූ අවුරුදු 150 පැරණි සුෆී මුස්ලිම් දේවස්ථානය වහාබ්වාදීන් විසින් විනාශ කර එම ජනයාට පහර දුන්නා. 2009 ජූලි 14වන දින බේරුවල දර්ගා නගරයේ සිදු වූ ගැටුම්වලින් දෙදෙනකු මරණයට පත් වී හතළිහකට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. එහිදී 132ක් පමණ අත්අඩංගුවට ගනු ලැබුවා. 2014 ඔක්තෝබර් 31 වෙනිදා රාත්‍රී දොළහට පමණ වහබ්වාදීන් 500ක් පමණ එකතු වී ජිහාඩ් භාවනා මධ්‍යස්ථාන විනාශ කරලා, පුස්තකාල ගිනි තියලා සුෆී ජාතිකයන්ට අයිති කඩසාප්පු ඇතුළු ඔවුන්ගේ දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ කළා.

මේ විදියට මේ ඉතිහාසය පිටු ගණනාවක් ලියන්න පුළුවන්. අපේ රජය බලයට පත් වෙලා 2015 වර්ෂයේදී තමිල්නාඩුවේ පදිංචි බලවත් වහබ් දේශකයකුට ලංකාවට පැමිණීමට වීසා ලබාදෙන්න එපා කියලා මුස්ලිම් සංවිධානයක් වන ජමයි තුලා උලේයිමා සංවිධානය රජයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව වහා ක්‍රියාත්මක වී අපේ රජය ඔහුගේ පැමිණීම වැළැක්වූවා.

2009 අගෝස්තු 16 වෙනිදා ලංකා සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මුස්ලිම්වරුන් බඳවාගත්තා. එම මුස්ලිම්වරුන්ගෙන් සමහරක් අද ජිහාඩ් ඉල්ලිම් ඉටු කිරීමට තවුහීද් සංවිධානයට එකතු වී තිබෙනවා. එල්ටීටීඊ ය මර්දනය කළ පසුව එවැනි දරුණු අන්තවාදී කණ්ඩායම් මර්දනය කිරීමට එවක රජය පියවර ගත්තේ නැහැ. මේ වහාබ් අන්තවාදය මර්දනය කිරීමට නම් මුස්ලිම් ජනතාවගෙන්ම යෝජනා ලබාගෙන රජයට නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි. එසේ නැති නම් මුස්ලිම් දේශපාලන නායකයන්ටද මේ අන්තවාදීන්ගේ අවි එසවීමට ඉඩ තිබෙනවා.

අප දන්නවා සමස්ත මුස්ලිම් ජනයා මෙතැන නැහැ. ඔවුන් අද අසරණ වෙලා. එනිසා ඔවුන් අප විසින් ආරක්ෂා කළ යුතුව තිබෙනවා.

මේ ඇති වී තිබෙන තත්ත්වය ඉතාම බැරෑරුම්. මේ සම්බන්ධයෙන් ජනතාව ආණ්ඩුව විවේචනය කරනවා?

නොතේරුම්කමට මහජනයා අපව විවේචනය කරන්න පුළුවන්. නමුත් මේ සිදු වීමත් සමඟ මුළු ලෝකයම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය පිළිගෙන ඔහුට පෞද්ගලිකව දුරකතන ඇමතුම් ලබාදෙමින් අවශ්‍ය සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය සාධනීය පියවර රාශියක් ගැනීමට කටයුතු කර තිබෙනවා. මුළු ලෝකයේම රටවල රාජ්‍ය නායකයන් අග්‍රාමාත්‍යතුමාට කතා කිරීමට පමණක් සීමා නොවී ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාරය මර්දනය කිරීමට ගනු ලබන සියලු ක්‍රියාමාර්ගවලදී අපේ රජය සමඟ සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.

අවුරුදු හතළිහක දේශපාලන පරිචයක් ඇති මේ ශ්‍රේෂ්ඨ ජන නායකයාගේ සෙවණ මේ මොහොතේ රටට ජාතියට අත්‍යවශ්‍යයි. බිහිසුණු ත්‍රස්තවාදයක් රට තුළ පැවතියදීත් මේ ආකාරයට ලෝකයේ සියලු රාජ්‍ය නායකයන් ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා මේ ආකාරයට පෙළ ගැසුණු අවස්ථාවක් මීට පෙර අප දැක නැහැ. ඒ තත්ත්වය ඇති වූයේ අග්‍රාමාත්‍යවරයා විසින් ගෙන ගිය සාර්ථක විදේශ ප්‍රතිපත්තිය නිසා බව අප අමතක නොකළ යුතුයි. නැති නම් පසුගිය කාලයේ වගේ අපි සෙසු ලෝකය හා උරණ වී කටයුතු කළේ නම් අපට සිදු වන්නේ තනිව මේ ප්‍රශ්නය විසඳා ගැනීමටයි. එසේ වුයේ නම් මෙවැනි ගෝලීය ත්‍රස්තවාදයක් පිටුදැකීමට අපට කිසිසේත් නොහැකිය. මන්ද යත් මොවුන් මර්දනය කිරීමට නම් සෙසු ලෝකයේ සහාය අත්‍යවශ්‍ය කොන්දේශියක් වන නිසාය.

1992 දී පුනරීන් මහා ප්‍රහාරයෙන් පොලිස් භටයන් සහ හමුදා සොල්දාදුවන් 800කට අධික සංඛ්‍යාවකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. එහිදී ඔවුන්ගේ ලේ ලබාගනිමින් ජීවිතක්ෂයට පත් කර තිබුණා. මහා බැංකු මහා බෝම්බය, පිටකොටුවේ මහා බෝම්බය, කටුනායක මහා බෝම්බය, කොළඹ වරායේ සහ ගල්ල වරායේ සිදු වූ මහා බෝම්බ පිපුරුම් සියල්ල පරාජය කර නැඟී සිටි ජාතියක් හැටියට මෙය පරාජය කිරීමට අපට හැකිය. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් ,සම්පන්දන් මහතා ඇතුළු සියලු දේශපාලන පක්ෂ නායකයනුත් එකමුතුව එකාවන්ව ලෝක සාහය ලබාගෙන මෙම ත්‍රස්තවාදය අපේ රටින් මුලිනුපුටා දැමිය යුතුයි. එය මුස්ලිම් සිංහල ජනතාවගේ සමඟියට හේතුවනු ඇත.

මේ අවස්ථාවේ දී සහෝදර කිතුනු ජනතාව මුහුණදුන් බරපතළ ඛේදවාචකය කිසිසේත් අපට අමතක කළ නොහැකිය.

එම නිසා සියලු කතෝලික බැතිමතුන්ගේ හා මුස්ලිම් බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සමස්ත බෞද්ධ හා හින්දු ජනතවගේ සුරක්ෂිතභාවය හා අපගේ මාතෘ භූමියේ අලංකාරය හා සත්කාරය විඳගැනීමට පැමිණි විදේශීය ජනයාගේ ජීවිත අප සහතික කළ යුතුයි. ත්‍රස්තවාදීන් කතෝලිකයන්ගෙන් පළිගැනීම වගේම අපගේ ආර්ථිකයෙන් පළිගැනීමටද අමතක කරලා නෑ. ඔවුන් තරුපහේ හෝටල්වලට ප්‍රහාර එල්ල කරමින් බලාපොරොත්තු වූයේ අප රටේ ආර්ථිකය විනාශ කරදැමීමයි.

අපට පෙනී යන්නේ මේ ත්‍රස්තවාදීන්ට ඒකායන අරමුණක් නැති බවයි. කිසියම් නිශ්චිත අරමුණක් නැති ත්‍රස්තවාදයකට අනාගතයක් ද තිබිය නොහැකිය. එ් නිසා මේ ත්‍රස්තවාදය අනාගත පරපුර වෙනුවෙන් අප රජය විසින් නියත වශයෙන්ම පරාජය කළ යුතුයි.

Comments