මෙරට ප්‍රථම ‘පෙර පිසූ ආහාර’ කර්මාන්තායතනය කන්දකාඩුවේ ඇරැඹේ | සිළුමිණ

මෙරට ප්‍රථම ‘පෙර පිසූ ආහාර’ කර්මාන්තායතනය කන්දකාඩුවේ ඇරැඹේ

ඉනෝකා පෙරේරා

මෙතෙක් කලක් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් වැය කරමින් මැලේසියාවෙන් ආනයනය කරන ලද, යුද බිමේ සොල්දාදුවන්ට සහ විවිධ පුහුණු කඳවරු සඳහා අත්‍යාවශ්‍ය, ‘පෙර පිසූ ආහාර’ (Meals ready to eat හෙවත් MRE ration) පැකට් මෙරටදීම නිෂ්පාදනය කිරීම ආරම්භ කොට තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ පළමුවරට ආරම්භ කරන ලද මෙම ආහාර නිෂ්පාදනාගාරය ඉදිකොට ඇත්තේ පොළොන්නරුව - කන්දකාඩු ගොවිපළ පරිශ්‍රයේ වන අතර, එය වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ අදහසකට අනුව, යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් ඒකකයේ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න මහතාගේ තවත් සාර්ථක අත්හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාත්මක වේ.

එක් දිනකදී එක් පුද්ගලයකුගේ ආහාර වේල් තුනකට අදාළව එනම්, පැය 24ට අයත් පෝෂණීය ආහාර පැකට් පහක් ලෙස මේවා නිෂ්පාදනය වන්නේ, ග්‍රෑම් 200, චිකන් ෆ්‍රයිඩ් රයිස්, ග්‍රෑම් 200 මාළු සමඟ රයිස් ඇන්ඩ් කරි හෝ නිර්මාංශී සෝයා සමඟ රයිස් ඇන්ඩ් කරි සහ ග්‍රෑම් 220 උදේ ආහාරවේලට අයත් තෙම්පරාදු කඩල පැකට්ටුවක් ලෙසිනි.

ඒ අනුව, දිවා රාත්‍රිය සඳහා ග්‍රෑම් 200 බත් පැකට් හතරක් සහ උදෑසන වේල සඳහා ග්‍රෑම් 220 තෙම්පරාදු කඩල පැකට්ටුවක් එක් පුද්ගලයකුගේ දිනක ආහාරවේලට අයත්වන ලෙස නිෂ්පාදනය වේ. මෙම දිනක ආහාර ප්‍රමාණය මෙතෙක් මැලේසියාවෙන් ආනයනය කළේ, රුපියල් 1200 - 1600 ත් අතර මුදලකට වන අතර, මෙරට නිෂ්පාදන වියදම වන්නේ රුපියල් 720 කි.

ශ්‍රී ලාංකික කුළුබඩු යොදා ගනිමින්, අපේ රසයට අනුව නිෂ්පාදනය වන මෙම සෑඹ ආහාර පැකට්ටුවකම සොල්දාදුවකුගේ දිනකට අවශ්‍ය සම්පූර්ණ පෝෂණ ගුණය ඇතුළත් වන සේ පිස සකස්කොට ඇත. අධි පීඩන උෂ්ණත්වයේ විෂ බීජ හරණය කොට ඇති හෙයින් මාස හයේ සිට අවුරුදු දෙක දක්වා කාලයක් කල් තබා ගත හැකි මුත් අපේ රටේ කුළුබඩු හැර කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් මෙම ආහාරවල නැති බව, ව්‍යාපෘතිය බාර බ්‍රිගේඩියර් ගුණරත්න මහතා පවසයි.

“දැන් අපේ රටේ යුද්ධයක් නැති වුණත් මේ රෙෂන් පැකට්වලට ලොකුම ඉල්ලුම තිබෙන්නේ, ත්‍රිවිධ හමුදාවේ විවිධ පුහුණු කඳවුරුවලින්. ඒ වගේම, විවිධ නායකත්ව පුහුණු කඳවුරු සඳහාත්, ගංවතුර වැනි ආපදා තත්වවලදීත් මේ රෙෂන් පැකට් එක රටට හුඟක් ප්‍රයෝජනවත්. පැහෙන උණුවතුරේ විනාඩි දහයක් තියලා හෝ නොතියා කෙළින් ම ආහාරයට ගන්න පුළුවන්. ඇත්තටම මෙය පරිපූර්ණ පෝෂණීය ආහාර වේලක්. එක් පුද්ගලයකුගේ දිනෙක ආහාර වේල් තුනට ම යන්නේ රුපියල් 720 යි. අපි මේ ආහාර වේල්වල සියලු ගුණයත් - රසයත් ඇතුළත් පර්යේෂණ කටයුතු කළේ වයඹ විශ්වවිද්‍යාලයේ. මේ නිෂ්පාදනාගාරයේ වැඩකරන සියලු ම දෙනා වයඹ විශ්වවිද්‍යාලයේ ඒ සඳහාම විශේෂ පුහුණුවක් ලබපු අය. මේ ආහාර පිසින්නෙත් ඒ සඳහා සුවිශේෂි වූ පැකට් හදන්නෙත්, ආහාර පැකට් කරන්නෙත් සීල් කරන්නේ සහ ජීවාණුහරණය කරන්නේත් අධි තාක්ෂණික මැෂින්වලින්. රටේ ඕනෑම තැනෙකට ඕනෑම ප්‍රමාණයකට කෙරෙන ඉල්ලුමක් සපුරන්න අපිට පුළුවන්...”

මෙම ව්‍යාපෘතිය ඔස්සේ, ඕනෑම ශ්‍රී ලාංකිකයකුට අවශ්‍ය තරම් පිසූ ආහාර ප්‍රමාණ ඇණවුම් කළ හැකි අතර, මෙම ව්‍යාපෘතිය ජනතාව අතරට යෑමෙන් දේශීය ආහාර නිෂ්පාදනයක් ලෙස එය තව තවත් ව්‍යාප්ත කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.

ඡායාරූප - ගයාන් පුෂ්පික 

Comments