ඔබේ ව්‍යාපාරයේ ඉන්නෙත් විශ්වසනීය සේවක පිරිසක්ද? | Page 2 | සිළුමිණ

ඔබේ ව්‍යාපාරයේ ඉන්නෙත් විශ්වසනීය සේවක පිරිසක්ද?

දෙනුකා පෙ‍රේරා - මානව සම්පත් උපදේශිකා

ව්‍යාපාරයක් ගොඩ දමන්නත්, ව්‍යාපාරයක් බිම දමන්නත් සේවකයන් කරන බලපෑම සුළුපටු නොවේ.

කාර්යශූර සේවක මණ්ඩලයක්, ආයතනයකට හෝ ව්‍යාපාරයකට ආශීර්වාදයක් සේම, අලස, බොරුවෙන් කල් ගෙවන සහ අනුන්ගේ වැඩවලට තමන් ලකුණු දාගෙන රඟන සේවකයෝ ආයතනය දිනෙන් දින පරිහානියට ගෙන යති.

එහෙයින් සේවක විශ්වාසය යනු, ආයතනයකට හෝ ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් එය පවත්වාගෙන යෑම අද, අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් යම් ආයතනයක්, සේවකයකු බඳවාගැනීමේදී, වර්තමානයේ ඔහු සේවය කරන ස්ථානය, පෙර සේවා ස්ථානය, පාසල, පවුල් පසුබිම, කතා විලාසය සහ පෞරුෂත්වය... යන කාරණා ඉතා හොඳින් සොයා බැලීම වැදගත් වේ. ආයතනයකට හෝ ව්‍යාපාරයකට අලුත් සේවකයකු බඳවාගන්නවා යනු, පවුලකට අලුත් සාමාජිකයකු එක් කරගැනීම තරම්ම වැදගත් කාරණාවකි.

නව සාමාජිකයාගේ සියලු තොරතුරු, ආයතනයක් විසින් එසේ සොයා බැලීම සිදු කරනුයේ, බඳවාගැනීමට යන සේවකයා කවුරුන්ද, ඔහු කුමන ආකාරයේ පුද්ගලයකු ද යන්න දැනගැනීමට මෙන්ම, සේවකයා පිළිබඳ විශ්වාසය ආයතනය වෙත ගොඩනඟාගැනීමට ඒ සියලු කාරණඑ වැදගත් වන නිසාත්, නවක සේවකයාට ආයතනය පිළිබඳ විශ්වාසයක් ගොඩනඟා දීමටත්ය.

සේවකයකුගේ විශ්වාසය ආයතනයකට වැදගත් වන ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:

1. සේවකයකු තමා ලබාගන්නා වැටුපට, උපරිම දායකත්වය ආයතනය වෙත ලබා දිය යුතුය. සෑම සේවකයකුටම ආයතනය විසින් රැකියා පරිසරය, රැකියා විස්තරය හා සපුරාලිය යුතු ඉලක්ක දෙනු ලැබේ. ඒ අනුව සේවකයකු හෘදයංගමව තම රාජකාරිය ඉටු කිරීම, සේවක විශ්වාසයට අදාළ වේ.

2. ආයතනය මඟින් ඔහුට ලබා දෙන නිලතල, වරප්‍රසාද සහ අනෙකුත් දේ ආයතනයේ සුබසිද්ධිය උදෙසා පමණක් භාවිත කිරීමත් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිත නොකිරීමත් මඟින් සේවකයකුගේ අවංක භාවය විදහා පායි.

3. තවද සේවකයකු ආයතනයේ අභිවෘද්ධිය උදෙසා තමාගේ කායික, මානසික දායකත්වය මෙන්ම අනෙක් සේවකයන්ගේ ද අභිප්‍රේරණය වඩවන ආකාරයට ධෛර්යය වර්ධනය වන ආකාරයට කටයුතු කළ යුතුය.

4. සේවකයකු ආයතනයේ කටයුතු සමාජ මෙහෙවරක් ලෙස සලකා ආයතනයටත් පාරිභෝගිකයන්ටත් කෙටිකාලීන නොව දිගුකාලීන යහපතක් වන මෙහෙවරක් ඉටු කළ යුතුය.

5. සේවකයකු තමාගේ ඉදිරි ගමන මෙන්ම තමා වැඩ කරන ආයතනයේ ඉදිරි ගමන පිළිබඳ සුබවාදීව සිතිය යුතු අතර, තම අරමුණු මෙන්ම ආයතනයේ අරමුණු ඉටු වන ආකාරයට වැඩ කළ යුතුය.

ආයතනයකට සේවකයන් බඳවාගැනීමට මෙන්ම රඳවාගැනීමටද උපකාරි වන කරුණු නම් නිවැරදි සන්නිවේදනය, අභිප්‍රේරණය සහ සාමූහික හැඟීමයි.

සේවකයකු විසින් ආයතනයක් වෙත කොපමණ තම රාජකාරිය ඉටු කළද ඔහු විශ්වාසය බිඳීමට කටයුතු කරන්නේ නම් ආයතනයක් විසින් ඔහුගේ රාජකාරි ගැන සිතා විශ්වසනීයභාවය අමතක කර දමයි. එහෙත් එය ඉතා භයානක වන්නේ විශ්වාසය මතද ඉහත කරුණු පහ රඳා පවතින නිසාවෙනි.

මේ සියලු කරුණු සලකා බලන විට සේවක සත්‍යභාවය හා විශ්වසනීයත්වය ආයතනයකට ඉතා වැදගත්ය. තවද සේවක දැනුම ආකල්ප තරමටම මෙම විශ්වාසයද ආයතනයකට ඉතා වැදගත්ය.

Comments