සංචාරකයන්ට ලංකාව එපා කරවන ගාල්ලේ ත්‍රීවීල් මැරයෝ | සිළුමිණ

සංචාරකයන්ට ලංකාව එපා කරවන ගාල්ලේ ත්‍රීවීල් මැරයෝ

සම්පත් දෙණිපිටිය

පසෙකට වී බලා සිටියෙමි. කියන්නට කිසිම දෙයක් ඉතිරි වී නැත. සියලුම දේ ඒ විදේශිකයාගේ බෑගයේ සිංහලෙන් ලියා අලවා තිබූ පොස්ටරයේ තිබිණි.

සුදු පැහැති කොළයක සිංහල දන්නා අයෙකු ලවා රතු පාට අකුරින් සටහන්ව තිබුණේ මේ වචන දෙකය.

“ ත්‍රීවීල් එපා”.

ඔහු දුටුවේ අම්බලන්ගොඩ සුපිරි වෙළෙඳසලකදී ය. ඒ සිදු වීම වූ දා සවස මේ අපූරු පුද්ගලයා සම්බන්ධ කතාව මයුරි අප්සරා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. ඇය ලියන කතාවට අනුව ඔහු එසේ බෝඩ් ලෑල්ලක් එල්ලාගෙන මහපාරේ ඇවිදින්නට පටන්ගන්නේ ගාල්ල දුම්රියපළේ සිට වූ සිද්ධි දාමයක ප්‍රතිඵලයක් ලෙසිනි.

විදේශික යුවළ ගාල්ල දුම්රිය ස්ථානයෙන් එළියට එන්නේ ගාල්ල කොටුවට ගමන් කරන්නටය. එතැන සිටි ත්‍රීවීල් රියැදුරන් ඔවුන් වට කරගෙන ගාලු කොටුවට යෑම සඳහා රුපියල් දහසක මුදලක් වෙනුවෙන් බලපෑම් කළත් ඔවුන්ගෙන් බේරී හෝටලයට යන යුවළ ඉන් පසු හෝටල් හිමියාගේ උපදෙස් අනුව එක්තරා ටැක්සි සේවයක උපකාරය සොයා තිබිණි.

පසු දින එම ටැක්සි සේවයේ පිහිට පතන්නට ගිය යුවළට මුහුණ පාන්නට වී තිබුණේ වෙනත් ඉරණමකයට. ඔවුන් රැගෙන යෑමට පැමිණි ටැක්සි රියැදුරාට ත්‍රීවිල් මැරයෝ වටකර පහර දෙන්නට සූදානම් වූහ. යුවළ වාහනයෙන් බස්සා යැවූහ. හෝටල් හිමියාගේ උපදෙස් මත ඔහු මේ දැන්වීම එල්ලාගෙන මහපාරට බැස ඇත්තේ ඉන් පසුය.

සංචාරක ව්‍යාපාරයෙන් රට ගොඩදාන්නට යන පාලකයන් සහිත රටකට අඩිය තබන විදේශිකයන්ගේ ඉරණම එසේය. මෙය අප කාලයක් තුළ දුටු ඛේදනීය යථාර්ථය ය. පුළුවන් හැම එකාම නීතිය තමන් අතට අරගෙනය. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ විවිධ සුළු රැකියා කරනවුන් බොහෝ දෙනෙක් විදේශිකයන් දකින්නේ ලංකාවට එන අන්තිම සුද්දා ලෙසය. ඔවුන් ඔහු සූරාකෑමට යොදන්නේ අපුල දනවන අශික්ෂිත ගැටය. ඒ හැසිරීම් අප වඩාත් ප්‍රකට ලෙස දකින්නේ ත්‍රීවීල් රියැදුරන් සම්බන්ධවය. විශේෂයෙන් ගාල්ල නගරය ආශ්‍රිතව මේ ව්‍යාපාරය පවතින්නේ මාෆියාවක ස්වරූපයෙනි.

දකුණට බොහෝ විට විදේශිකයන් ගමන් කරන්නේ දුම්රියෙනි. සංචාරකයන් ගැවසෙන සෑම දුම්රිය ස්ථානයක් වටාම මේ අවිධිමත් ත්‍රීවීල් කොල්ලකරුවෝ සංවිධානය වී සිටිති. උතුම්ම ආගන්තුක සත්කාරය සහිත රට ලෙස ලෝකයට ගොස් කියන රටකට පැමිණෙන සංචාරකයෙකුට අත්විඳින්නට සිදු වන මුල්ම කාලකණ්ණි අත්දැකීම මස් කෑල්ලක් වට කරගත් කපුටන් සේ වට වන ත්‍රීවීල් රියැදුරන්ගේ කොල්ලයකට හසු වීමට නම් ඔහු ලෝකයට ගොස් නැවත අප ගැන කියන දේ වෙනම කල්පනා කළ යුතුය.

සංචාරකයන්ගේ ඉතාම වැදගත් ආකර්ෂණයක් දිනූ තැනක් වන්නේ ගාලු කොටුවය. ගාලු කොටුව ආශ්‍රිතව මේ වන විට නිර්මාණය වී ඇති සංචාරක සංස්කෘතිය අතු ඉති ලා නොවැඩෙන්නට ප්‍රධානම බාධයක් වේ නම් මේ අවිනීත ත්‍රිරෝද රථ රියැදුරෝය. පොදුවේ හික්කඩුව මාගාල්ල වෙරළ තීරය ආශ්‍රිතවත් ගාලු කොටුව ආශ්‍රිතවත් මේ අශික්ෂිත මාෆියාව ක්‍රියාත්මකව තිබේ.

මේ ප්‍රදේශ ආශ්‍රිතව ත්‍රිරෝද රථගාල් පවතින්නේ කුඩා මැර කල්ලි ලෙසිනි. එහි ඇත්තේ ඒකාධිකාරියකි. ඒ බොහෝ රථගාල්වල විවිධ භාෂා යන්තමින් කතා කළ හැකි කිහිපදෙනෙක් වෙති. ඔවුන් විශ්වාස කරන පරිදි විදේශිකයෙකු ඒ පැත්තෙන් යනවා නම් ඔහු තමන්ගේ ත්‍රී වීල් රථයේ ගමන් කළ යුතුය. ඔවුන් පවසන මුදලට විදේශිකයෙකු රථයට නොනැඟුණහොත් ඔවුන්ට යන්නට වෙන්නේ පා ගමනිනි. මඟ දී හමු වන එකම ත්‍රිරෝද රථයක්වත් ඔවුන් ඉදිරියේ නවත්වන්නේ නැත. එසේ නවත්වා ඔවුන් අදාඝ ගමනාන්තයට රැගෙන යන්නට එකඟ වන අයෙකුක වේ නම් සිදු වන්නේ අනිවාරතේ ගුටි කන්නටය. මේ මැරයන්ට බියෙන් ඔවුන් ඒ අවදානම ගන්නේ නැත.

මේ ත්‍රිරෝද රථ මාෆියාව ඉබේ ඇති වන්නක් නොවේ. ඔවුන්ට නීතිය අතට ගැනීමට අවශ්‍ය පදනම හැදෙන්නේ හෝටල්කරුවන් නිසාය. ගාල්ලේ හෝටල් මාෆියාව ගැන නොදන්නෝ නොවෙති. එහි අක්මුල් ඇත්තේ දකුණේ පාතලයේ ය. එම හෝටල්වල නැවතී සිටිනා සංචාරකයෙකු තමන්ගේ ත්‍රිරෝද රථයකට නංවාගන්නේ නම් ත්‍රිරෝද රථ රියැදුරා කුලී ගමනින් යම් මුදලක් එම හෝටලයට ගෙවිය යුතුය. කුලී ගමනින් වැඩිපුර මුදලක් අය කරන්නට ත්‍රීවීල් රියැදුරාට සිදු වන්නේත් ඒ නිසාය. එමෙන්ම තම හෝටලයට රැගෙන එන විදේශිකයා සංචාරකයා වෙනුවෙන් යම් මුදලක් ගෙවීමට හෝටල් හිමියෝ ද කටයුතු කරති. මේ හේතුව නිසාම සංචාරකයෝ ගාල්ල මාගාල්ල අවට හෝටල්වල නතර වීම තබා ඒ කිට්ටුවෙන් පා ගමනින් යෑම දැන් දැන් අප්‍රිය කරමින් සිටිති. මේ තත්වය බල පා ඇත්තේ සංචාරක ව්‍යාපාරය හා බැඳුණු සුළු ව්‍යාපාරයන්ගෙන් ජීවිතය ගෙවාගත් පිරිසටය.

“ මාස තුනක් විතර කාලයක ඉඳලා මේ තත්ත්වය හොඳටම වැඩියි මහත්තයො. දැන් බොහොම දෙනෙක් නවතින්න ගාල්ලට මාගාල්ලට එන්නෙ නෑ. අම්බලන්ගොඩටත් තංගල්ලටත් ඒ අය යනවා. ගොඩක් අය තමන්ගේ රටවලට ගිහින් කියන්නෙ මේ පැත්තේ සංචාරය කළාට නවතින්න හොඳ නෑ කියලා. අපේ උන්ට උන්ගේ රස්සාව කරගන්න තේරෙන්නෙ නෑ. ත්‍රීවීල්කාරයො තමයි මේ කුපාඩි වැඩේ එළිපිටම කරන්නේ. ඒ මිනිස්සු තමන්ගේ රටවලට ගිහින් කියන්නෙ බලෙන් සල්ලි කඩා ගන්නවා කියලා.”

අපට කියන්නේ මාගාල්ල වෙරළ තීරයට ඔබ්බෙන් පුංචි අවන්හලක් පවත්වාගෙන යන ප්‍රසන්න පෙනුමැති වැඩිහිටියෙකි. අප ඔහුව විමසීමු.

“ඇයි මේව වෙන කොට පොලිසිය අහක බලාගෙන ඉන්නෙ.”

“මොනවද මේ කතා කරන්නෙ මහත්තයො. ඔය අයට පේන්නෙ මේ ත්‍රීවීල්කාරයො සල්ලි කඩා ගන්න හදනවා වගේ දෙයක්. මේව එකට එකක් සම්බන්ධයි. නවතින්නේ ඉහළම තැන්වලින්. නැත්නම් පාතාලෙන්. සංචාරකයන්ට වෙන මේ වගේ කෙනහිලි ගැන මේ වෙනෙ කොට හබරාදූව, ගාල්ල, හික්කඩුව පොලිසිවලට කරන පැමිණිලි ගණන් ගන්නෙවත් නෑ. ඒවා ඉතාම සාමාන්‍යය යි. හැබැයි එක දෙයක් තියනවා. මේ තත්ත්වය හැමදාම තියෙන්නෙ නෑ. මේ මිනිස්සු මේ ගමන අතහරිනවා. අන්න එදාට මොනවා කරයිද කියලා තමයි අපි බලාගෙන ඉන්නෙ. ”

වාර්තා වන ආකාරයට ගාල්ලේ සංවිධානාත්මක බලහත්කාරකම් කරන ත්‍රීවීල් නැවතුම්වල මීටර් ටැක්සි බොහෝ ප්‍රමාණයක් දුවන්නේ හොර මීටර්වලටය. පොලිසියට පෙනෙන්ට එම ටැක්සිවල මීටර තිබුණත් විදේශිකයන් විෂයෙහි නම් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත. වරක් ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සිය රටේ සංචාරකයන්ට කියා සිටියේ සිය ගමන් බිමන් සඳහා ත්‍රීවීල් රථ භාවිතා නොකරන ලෙසය. බැරිම අවස්ථාවකදී ත්‍රීවීල් රථයක් භාවිත කරන්නේ නම් අතවරයකට ලක් නොවීම සඳහාත්, වංචාවකට අසුනොවී සිටීම සඳහාත් උපදෙස් මාලාවක් නිකුත් කළේය. අනතුරුව විනය ගරුක ත්‍රීවීල් සේවාවක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමිතිය කියා දීමට ආණ්ඩුව මැදිහත් වී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. සුද්දන් ත්‍රී වීල් එපා කියමින් බෝඩ් ගසාගෙන යන්නේ එම ව්‍යාපෘතියෙනුත් පසුවය.

එමෙන්ම කොළඹ, ගම්පහ වැනි දිස්ත්‍රික්වල ක්‍රියාත්මක වන විධිමත් ටැක්සි සේවා ගාල්ලේ සක්‍රීයව ක්‍රියාත්මක වීම වැළකී තිබේ. ඊට එළිපිටම එරෙහි වන්නේ ත්‍රීරෝද රථ රියැදුරන් වුවත් එහි පිටුපස හෝටල් හිමිකරුවෝද වෙති. අවසානයේ පෙනෙන්නේ මේ රටේ සිය මුදල් ටික වියදම් කරන්නට පැමිණෙන විදේශිකයෙකුට වැදගත් විදිහට එම මුදල වියදම් කිරීමට අවශ්‍ය සිවිල් තත්ත්වය හදා දෙන්නට මේ රටේ කටයුතු සම්පාදනය කර නැත බවය.

ඊටම ගැළපෙන ආකාරයට පිළිතුරු දෙන්නට දැන් ගාල්ලට එන විදේශිකයන්ගෙන් අයෙක් පෙලඹී සිටිති. ඔවුහු බොහෝ විට කුඩා ප්‍රමාණයේ යතුරුපැදි දවසේ කුලියට හෝටලයෙන්ම ගනිති. එය දිනක් සඳහා රුපියල් දහසකට නොඅඩු මුදලකි. අනතුරුව ඔවුන්ගේ සියලු ගමන් බිමන් එම රථයෙන් සිදු කරගන්නා අතර තවත් විදේශික කාන්තාවක හෝ පිරිමියෙකු සිය ගමන් සගයා ලෙස තෝරා ගනිති. අනතුරුව ඔවුන්ගේ සියලු ගමන් බිමන් ගොස් අවසන දෙදෙනා කුලිය බෙදා ගනිති.

ඔවුන් බොහෝ දෙනෙකුට අන්තර්ජාතික රිය පැදවීමේ බලපත්‍ර නැත. සමහරෙකුට සිය රටේ රිය පැදවීමේ බලපත්වත් නැත. තමන්ගේ රටේදී බයිසිකලයක් පැදවීමට ඊට නගන්නටවත් නොසිතන විදේශිකයෝ මේ රටට පැමිණ සියලු මාර්ග නීතිත් කඩ කරමින් මෝටර් සයිකල් පදිති.

ඒ අතර තවත් අතළොස්සක් අවුරුදු දෙක තුනකට නිවාස බදු ගනිති. ඒ පිරිස් බොහෝ විට රුසියානු සම්භවයක් සහිත අයය. ඔවුහු මේ නිවාසවල තට්ටු ඇඳන් සදා ඉතාම අඩු මුදලට සිය රටින් පැමිණෙන සංචාරකයන්ට ලබා දෙති. තව ටික දවසකින් ගාල්ලට පැමිණීමට නියමිතව ඇත්තේ විදේශවල ජීවත්වන එවැනි ත්‍රාඩයෝය. ගාල්ල ඔවුන් වෙනුවෙන් සූදානම් වෙමින් ඇත. මේ ප්‍රකාශ වන්නේ නීතියක් නැති රටක ඇති වීමට නියමිත මහා ඛේදවාචකයක පෙරනිමිතිය . ඒ සුනාමිය පැමිණ අපව අතුගා දමා යන තුරු ඔහේ බලාගෙන සිටිමු.

Comments