සිනා කතා | සිළුමිණ

සිනා කතා

උඹලා විතරක් මදෑ

“හෙට අනිද්දාට එන්නෙ සිංහල අවුරුදු කාලෙනෙ. මොකෝ බං, උඹලා කැලෑවට වෙලා? මේ දවස්වල උඹලගෙ වැඩ නිතර ඇහෙන්ඩ ඕනෙ ගම්මානෙ පැත්තෙන් නේද?” කැලේදී අහම්බෙන් ඇස ගැසුණු කෙනා දෙස බලා බකමූණා ඇසුවේ තරමක විමතියකිනි.

“දැන් ඉතින් ඔය ගම්මානේ ලයිටුත් කපන එකේ අපි ඉදලා වැඩක් තියෙනවයැ. උඹලා විතරක් හිටියට මදැ “කොහා පිළිතුරු දුන්නේ ඇනුම් පදයක ස්වරයෙනි.

 

හොඳම ව්‍යාපාරිකයෝ කවුද

“මෙදා සැරේ ගමේ අවුරුදු උත්සවයට අලුත්ම තරගයක් එකතු කරල තිබුණා නේද..? පළාතේ ලොකුම ව්‍යාපාරිකයෝ දන් දෙන දස දෙනා තෝරන්ඩ ? කවුද හැබෑට ඒ තරගෙන් දිනුවේ?” නා ඔටුන්න බස් රථයේදී මුණ ගැසුණු සරත් ගෙන් විමසීය.

“මේ දවස් වල තියෙන අසාමාන්‍ය රස්නය හින්දා පිපාසෙ උහු ලන්ඩ අමාරුයි නෙ. ඒ මදිවට ලයිට් කපනව නෙ. ඉතින් හොඳම ව්‍යාපාරිකයා වුණේ වතුර බෝතල් කරලා විකුණන සාමෙල් මුදලාලි. දෙවැනියා වුණේ හන්දියෙ ඉලෙක්ට්‍රික් බඩු කඩේ ටෝච් විකුණන ජේමිස් මුදලාලි. තුන් වැනියා වුණේ අවුරුද්දට කැවිලි ජාති හදලා විකුණන කුසුම අක්කා”. සරත් විස්තර කරමින් කිවේය.

 

අතපය මොකටද

“ඔයා කිසිම හිතක් පපුවක් නැති ගෑනියෙක් නෙ. මේ වතාවේ විභාගෙ පේල් වුණාය කියල අපේ දුවට ඔය විදියට කකුල් දෙකටයි, අත් දෙකටයි තඩි බාන්ඩ වටිනවද?” තම බිරියගේ නොමනා හැසිරිමෙන් කිපුණු කුමාරසිරි ඇගෙන් තදින් විමසුවේ කෝපයෙන් රවා බලමිනි.

“ඔයා දැක්කෙ නැද්ද මනුස්සයෙක් අත් දෙකයි, එක කකුලකුයි නැති ගෑනු ළමයෙක් ඉතුරු කකුලෙන් ලියලා විභාගෙ හොඳට පාස් වුණු කතාවක් ටීවි එකේ පෙන්නනවා. ඒ ළමයව එහෙම සමත්කමක් පෙන්නන්ට පුළුවන් නම් අපේ මේ එළදෙනට අතපය තිබිලා වැඩක් තියෙනවද?” චාන්දනී ඇසුවේ කෝපයෙන් ලෙළ දෙමිනි.

 

ඔළිඳ කෙළිය කොහොම කරන්නද

“සිංහල අලුත් අවුරුද්ද කිට්ටු හින්දා අපි ඔළිඳ කෙළියට සූදානම් වුණොත් හොඳයි නේද? ඔයා අපේ ගෙදර තියෙන ඔළිඳ ලෑල්ලයි. ඔළිඳ ඇට බෙලෙක්කෙයි හොයලා ඒවා ටිකක් ශුද්ධ බුද්ද කරලා තියෙනවද නංගී.” නුවන් තම නැඟනිය දෙස බලමින් කීවේය.

“ඒකනං මෙදා සැරේ කරන්ඩ වෙන්නෙ නෑ අයියෙ. හෙට උදේ වතුර කපනවයි කියන ආරංචියට අම්මා ඔළිඳ ලෑල්ලෙ වළවල් වලටත් වතුර පුරවනවා මං බලාගෙන.” චම්පා තම සොහොයුරා දෙස බලා කීවේ සිනාසෙමිනි.

 

ගා ගත්තෙ මොනවද?

 

“කවුරු හරි කෙනෙක් තමන්ටම ලොකු අපහාසයක් වෙන වැරැදි වැඩක් කළාම තමන්ගෙම ඇ‍ඟේ අසූචි තවරා ගත්තා වගෙ කියනව නෙ. චාමික නාට්‍ය උලෙ‍ළ අවසන් වී තම රථය වෙත යමින් සිටියදී රාජිත දෙස බලා කීවේය.

“ඒක ඇත්ත ! ඒත් අද අපේ නාට්‍ය විනිශ්චය මණ්ඩලේ සම්මාන නිර්දේශ කරල තිබුණු විදියට ඒ ගොල්ලො යක්කු වගෙ ආවේශ වෙලා මුළු ඇ‍ඟේම ගාගත්තෙ අසූචි නෙවෙයි. ග්‍රීස්නෙ.” රාජිත කීවේ සිනාසෙමිනි.

Comments