කුඩුකාරයන් 68,000කගේ නම් ගම් හෙළි වේ | සිළුමිණ

කුඩුකාරයන් 68,000කගේ නම් ගම් හෙළි වේ

හෙරොයින් මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නන් 67,654 දෙනකුගේ නම්-ගම් සහිත ලේඛනයක් සකස් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇත. ඒ ලේඛනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතටද පත් කර තිබේ. එකී ලේඛනයේ නම් සඳහන්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් පමණක් වසරකට හෙරොයින් කිලෝග්රෑම් 5,000කට වැඩි ප්‍රමාණයක් භාවිත කරන බව හෙළි වී ඇත.

ඒ සඳහා රු. කෝටි 6,000කට වැඩි මුදලක් ඔවුන් වැය කරන බව පෙනී ගොස් ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ සමීක්ෂණයකින් අනතුරුව මේ වාර්තාව සකස් කළ බවත්, ඊට අනුව හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇති වැඩිම පිරිසක් සිටින්නේ බස්නාහිර පළාතේ බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රතිශතයක් ලෙස මෙය දිවයිනේ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින්නන්ගෙන් 58.30%ක් වන අතර, එය සංඛ්‍යාත්මකව 39445 දෙනෙකි.

එකී ලේඛනයට අනුව අඩුවෙන්ම හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් ජීවත් වන්නේ නැඟෙනහිර පළාතේය. ඒ ගණන 151කි.

Comments