අපට ඕනෑ මහා මැතිවරණයක් | සිළුමිණ

අපට ඕනෑ මහා මැතිවරණයක්

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර තව මත් මතගැටුම් පවතිනවා නේද?

ඒ සම්බන්ධයෙන් තවම එකඟත්වයක් නැහැ. මුලින්ම දෙපාර්ශ්වය අතර එකඟත්වයක් ඇති කරගත යුතුයි. එසේ නැතිව ඡන්දය ඉල්ලලා වැඩක් නැහැ.

ඔබ ශ්‍රීලනිප අපේක්ෂත්වයටද, එසේත් නැති නම් පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂත්වයටද වඩාත් කැමැති?

අප ඉන්නේ වහාම ඒ ගැන එකඟත්වයක් ඇති කරගත යුතුයි කියන ස්ථාවරයේයි.

ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ ලෙස ඔබ පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගියා නේද? ඒ හමුවේ අපේක්ෂාව කුමක්ද?

ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා පත් කරන බවට රටේ ජනතාවගේ, පොදුජන පෙරමුණේ මෙන්ම එතුමාගේත් අපේක්ෂාවක් තිබෙනවා කියලා අපට පෙනී ගිය නිසා අප එතුමා මුණගැසිලා අපේ අදහස්, අපේ ස්ථාවරයන්, අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. එතුමාගේ වැඩපිළිවෙළ මොකක්ද කියලාත් අප එහිදී සාකච්ඡා කළා.

‍ ඒ ඉදිරිපත් කළ අදහස්, ස්ථාවරයන් සහ වැඩපිළිවෙළ මොනවාද?

අපේ ආර්ථික දර්ශනය, ජනාධිපතිවරණය සම්බන්ධ වැඩපිළිවෙළ, මේ රටේ ඉදිරිය සහ විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලන ස්ථාවරයන් අප මෙහිදී ලිඛිතව ඉදිරිපත් කළා. සමහර කරුණු සම්බන්ධයෙන් එකඟත්වයක් තිබුණා. සමහර කරුණු සම්බන්ධව එකඟත්වයක් තිබුණේ නැහැ. අප පැවසුවා ඒ සඳහා එකඟද-නැද්ද, එකඟ නම් ඒ කොතරම් ප්‍රමාණයකට දැයි දැනුම් දෙන්න කියලා. මේවා දැනගන්නයි අප හමු වුණේ. එමෙන්ම අප මෙහිදී ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ අත්‍යවශ්‍යතාව පිළිබඳවත් අවධාරණයෙන් සඳහන් කළා.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඇමෙරිකාවේ සිවිල් නඩු දෙකක් පවරා තිබෙනවා නේද?

එතුමාගේ පුරවැසිභාවය ගැන නෛතික ගැටලුව ඉවත් කරගැනීමට අවශ්‍යයි. ඒ හැර ඇමෙරිකාවේ පවරා ඇති සිවිල් නඩු දෙක එතරම් ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

කෙසේ වෙතත් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට මේ සිවිල් නඩු දෙක හේතුවෙන් යම් ප්‍රමාදයක් වෙයි කියලා ඇතැමුන් පවසනවා...

යම් කිසි ප්‍රමාදයක් විය හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ මින් පෙර ජනාධිපති අපේක්ෂකත්වයට යෝජනා කළේ චමල් රාජපක්ෂ මහතා නේද? දැන් ඒ අදහස වෙනස් වෙලාද?

දැනුත් අප අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහතාම තමයි. ගෝඨාභය රාපක්ෂ මහතා මුණගැසුණු වෙලාවෙදීත් අප ඒ බව සඳහන් කළා.

රටේ දේශපාලන පෙරළියක් වන්න යනවා බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මොකක්ද 'දේශපාලන පෙරළියක්' කියලා ඔබ අදහස් කරන්නේ?

අගමැති ධුරය සදහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට සූදානමක් තිබෙනවාය කියන කාරණවයි මම මතු කළේ...

ඉතින් හොඳයි නේ! ඒත් එහෙම වෙන්නේ නැහැ නේ. ඔවැනි කතා කොතෙකුත් පැතිරිලා තිබුණත් කිසිම දෙයක් සිදු වන්නේ නැහැ. ඒ වගේ වෙනසක් වත් වෙනවා නම් හොඳයි.

ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනියෙන්, පොහොට්ටුවෙන් හා එජාපයෙන් වගේම දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ දෙකෙනුන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන්න සූදානම් වන බවට ආරංචි පැතිරෙනවා...‍

දෙමළ ජාතික සන්ධානයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම නිෂ්ඵල ව්‍යායාමයක් නේ. එයින් 'ඔවුනුත් තරගයේ සිටියා' කියලා විතරයි අන්තිමට කියන්න පුළුවන් වෙන්නේ. හරියට මම 1982 ජනාධිපතිවරණයට ඉල්ලුවා වගේ... වැඩක් ඇති වැඩක් නොවෙයි!

ඒත් මේ සුළු පක්ෂවල අපේක්ෂකත්වය බහුතර බලයට බලපෑමක් කරන්නේ නැතැයි පවසන්න බැහැ නේද?

නැහැ, එහෙම වන්නේ නැහැ. කවුරු වත් 50%ක් අරගෙන නොතිබුණා නම් ප්‍රධාන තරගකරුවන් දෙදෙනාගේ ඡන්ද ඉවත් කර, ඉතිරි ඡන්ද ගණන් කර බලනවා. ඒවායේ පළමු වැනි සහ දෙවැනි තැන්වලට පැමිණි දෙදෙනාට ලැබුණු දෙවැනි මනාප තිබුණොත් ඒ දෙවැනි මනාප ගණන් කරනවා. ඒ අනුව එයින් බහුතරය ලබන පුද්ගලයා ජයග්‍රහණය කරනවා. එයයි සිදු වන්නේ.

ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙනුත් මේ වන විට ගැටලු මතු වී තිබෙනවා නේද?

ශ්‍රීලනිපය පවසනවා 2020 ජූනි 01 වැනිදා දක්වා ධුරකාලය බලපැවැත්වෙන බව.

ඒත් මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ සහ එජාපෙ විරුද්ධ බවත්, ඒ අනුව මේ ගැටලුව විසඳීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට සුදානම් වන බවත් පැවසෙනවා...

ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ වශයෙන් අප මෙයට විරුද්ධ නැහැ. අපට ඕනෑ මහා මැතිවරණයට යෑමටයි. මේ කාලවකවානුව දක්වා ජනාධිපති ධුර කාලය බලපැවැත්වුණ හොත් මහා මැතිවරණයකට යන්න පුළුවන්. අපට ඕනෑ මහා මැතිවරණයක්. ඒ නිසා අප විරුද්ධ නැහැ.

පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ඔබ නොයෙක් වර මේ රජයට චෝදනා එල්ල කරනවා නේද?

මේ රජය බලන්නේ ඡන්ද නොතියන ආණ්ඩු ක්‍රමයක් හදාගන්න. මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. ඒ නිසයි එහෙම වෙන්නේ. ඒත් ටික දවසකට විතරයි ඒ අයට ඒ දෙවල් කරන්න වෙන්නේ. බහුතරය කැමැති නම් අප පළාත් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ වැඩපිළිවෙළක් දියත් කරන්න ඉදිරියේදී කටයුතු කරනවා.

Comments