වැරැදිවලට සිම්පල් විසඳුම් හේතුවක් ද? | සිළුමිණ

වැරැදිවලට සිම්පල් විසඳුම් හේතුවක් ද?

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයන් පිටියේ මෙන් ම ඉන් පිටතද හැසිරෙන ආකාරය මඟින් රටේ කීර්ති නාමයට පවා එල්ලවන බලපෑම සුළුපටු ‍ෙනාවේ. කොතරම් නීති රීති දමා තිබුණ ද ක්‍රිකට් ක්‍රීඩකයෝ ඒ සෑම එකකින් ම රිංගා ගොස් ඇති බව පසුගිය සිද්ධීන් කිහිපයක් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. සාමාන්‍යයෙන් ක්‍රීඩා තරගාවලියක් අතරතුර අහඹු ලෙස තහනම් උත්තේජක පරික්ෂා කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරගාවලි අතරතුර දී මතට තිත තබන්නට යැයි පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අහඹු ලෙස මත්පැන් පරීක්ෂා සඳහා ක්‍රීඩකයන් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා තීරණය කර තිබේ. මෙයින් මත්පැන් හා ක්‍රීඩකයන් අතර ඇති සබැඳියාව හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැටී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයේ තරම කියාපායි. පසුගිය දිනෙක බීමතින් රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්නට දඩ මුදලක් ගෙවීමට ද සිදු වූ අතර, රියැදුරු බලපත්‍රය පවා අහිමි කරගැනීමට සිදුවිය. මේ එක සිදුවීමක් නොවේ. මීට පෙර ද මෙවැනි සිදුවීම් ඕනෑ තරම් සිදු වී ඇති අතර එළියට පැමිණියේ දිමුත්ගේ සිදුවීම පමණි. ක්‍රීඩාවේදි විනය මූලික කරුණක් වුවද මෙරට ක්‍රීඩාවේ නැති දේවල් අතර ප්‍රධාන තැනක් ගන්නේ ද මේ ගැටලුවමය.

ආසන්න ම සිදුවීම් ගැන අවධානය යොමු කරද්දි, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එස්.එස්.සී. පිටියේ පැවැති ටෙස්ට් තරගය අතරතුර නොර්වේජියානු කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලොව පුරාම මාධ්‍ය වඩා වැඩි ඉඩක් ඒ සඳහා වෙන් කළේය. මෙයින් රටට වූ අපකීර්තිය සුළුපටු නොවේ. කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් තරගයක් හෝ තරගාවලියක් අතරතුර ක්‍රීඩකයන්ට මේ තරම් පිස්සු නැටීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද ලෙහෙසියෙන් කර හැර යා නොහැකිය. ධනුෂ්ක සම්බන්ධයෙන් ගත්ත ද චෝදනා එල්ල වූ ප්‍රථම හෝ එකම වතාව ද මෙය නොවේ. පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර ක්‍රීඩා පිටියේ මෙන් ම ඉන් පිටත දී ද ක්‍රීඩකයන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා එල්ල විය. ඒවාට හසු වූවෝ වරදකරුවෝ වූහ. ජෙෆ්රි වැන්ඩර්සේ රාත්‍රි සමාජ ශාලාවකට සිදු වූ සිද්ධියකට අදාළව එකී තරගාවලිය අතරතුරේ දී නැවත මෙරටට ගෙන්වා ගැනීමට ද සිදු විය. අනතුරුව පැවැති පරීක්ෂණයෙන් වැන්ඩර්සේට දඬුවම් කිරීමට ද කටයුතු කළේය. මේ සිදුවීම් කිසිවක් හුදකලා හෝ අහඹු සිදුවීම් ලෙස වෙන් කර ගත නොහැකිය. එමෙන්ම එකී තරගාවලියේ නායක දිනේෂ් චන්දිමාල්ට ද පන්දුව පලුදු කිරීමේ චෝදනාව ඇතුළු පැය දෙකක් තරගය වර්ජනය කිරීම සම්බන්ධයෙන් ද එල්ල වූයේ කළුපැල්ලමකි. පන්දුව පලුදු කිරීම, තරගය පැය දෙකක් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ද කිසිම ලෙසකින් අනුමත කළ නොහැකි විනය කඩ කිරීමක් බව ප්‍රකාශ කළේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු වූ අසංක ගුරුසිංහට ද ටෙස්ට් තරග දෙක බැගින් හා එක්දින තරග හතර බැගින් තරග තහනමක් පැනවීමට ද අයි.සී.සී. ය කටයුතු කළේය. මෙකී දඬුවම මෑත කාලයේ අයි.සී.සී. ය කණ්ඩායමකට පැනවූ ඉහළම දඬුවම ලෙස ද සැලකෙයි.

මහේල ජයවර්ධන විසින් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දුන් ක්‍රියාවට නොනැඟුණු සැලසුමේ ද ක්‍රීඩකයන්ගේ මුල් අවධිය එනම් 15 න් පහළ පටන් ම හැසිරිම මූලික කර ගත්තා වූ දැනුවත් කිරීමේ සැලසුමක් ක්‍රියාවට නැංවිය යුතු බව සඳහන් කළේය. ශ්‍රී ලංකා වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමට ක්‍රීඩකයන් සම්බන්ධ කර ගෙන පුළුල් දැනුවත් කිරීමක් වැඩපිළිවෙළකට යා යුතු බව මහේලගේ ක්‍රියාත්මක නොවූ වැඩපිළිවෙළේ මූලික කරුණක් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර, පෞද්ගලිකත්වය අතර සම්බන්ධතාවක් ගොඩ නැ‍ඟෙන්නේ ක්‍රීඩක ගිවිසුම් හා කොන්ත්‍රාත් ගත ලියකියවිලි හරහාය. රුපියල් ලක්ෂ ගණන් සිදු කරන මාසික ගෙවීම්, ක්‍රිකට් ආයතනය හරහා ලබා ගන්නා වූ සියලු ම වරප්‍රසාද හා පහසුකම් පවා ඇතුළත් වන්නේ මේ ගිවිසුම්ගත ලියැකියවිලි තුළින්ය. මේ තුළින් ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයන් අතර ගොඩනැ‍ඟෙන චර්යා ධර්මයන්ට ඔවුන් ඉබේම යටත් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩකයන් අතර ගොඩනැ‍ඟෙන මෙකී බැඳීම හරහා ක්‍රීඩකයන්ට රටේ නීතියෙන් එහා ගිය සීමාවන්ට යටත්වීමට මේ ගිවිසුම් හරහා නිරායාසයෙන්ම සිදුවෙයි. ක්‍රීඩකයන්ගේ පෞද්ගලික නිදහසට පවා සීමාසහිත වන්නේ එබැවින්ය.

තාර්කික බුද්ධිමතුන්ගේ නිහඬතාව මුග්ධයන්ට පාරාදීසයක් වන වටපිටාවක ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව හෝ ක්‍රීඩකයන් පමණක් නොව තවත් බොහෝ දෑ බිඳ වැටී ඇති බව පැහැදිලිය. මරාගෙන මැරෙන ප්‍රශ්න කප්පරක් තිබෙන වටපිටාවක අන්තර්පාසල් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයන් ජයගත් මොහොතේ පරාජය විඳ දරාගත නොහැකි වූ රිච්මන්ඩ් ආධාරකරුවන් ශාන්ත තෝමස් කණ්ඩායමේ නායක සිතාර හපුහින්නට මෙන්ම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ද පහරදීමට පෙළඹෙන්නේ තරගයක ජය පරාජය විඳ ගැනීමට ඇති නොහැකියාව නිසාය. රටක් ලෙස ම අප මෙහි දී කනගාටුවිය යුත්තේ වෙනකක් නිසා නොව, පාසල් දරුවකුට එල්ල කළ මේ ප්‍රහාරය කිසිවකුත් අනුමත නොකරන නිසාය. මේ ප්‍රහාරය එල්ල කළ අයට ද රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. මේවා මෙතැනින් නතර නොකළහොත් හෙට මීට වඩා දෙයක් ද සිදුවිය හැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ගත්ත ද, පාසල් ක්‍රිකට් ගත්ත ද මෙවැනි හැසිරීම්වලට කිසිම සමාවක් නොදිය යුතුය. බොහෝ දෙනා ප්‍රකාශ කරන ආකාරයට මේවාට ලබා දෙන දඬුවම් මීට වඩා වැඩිවියයුතුය. අතීතයේ මෙවැනි සිදුවීම්වලට ලබා දුන්නාවූ දඬුවම් ප්‍රමාණවත් නොවීමේ ඵලවිපාක විඳින්නට සිදු වී ඇත්තේ මේ ගෙවෙන මොහොතේය. අදත් නිහඬව සිටියොත් අනාගතය මීට වඩා අඳුරු විය හැකිය.

 

Comments