යුද හමුදා කන්දකාඩු ගොවිපළෙන් පෝෂණීය ‘ස්පිරුලිනා’ බිස්කට් | Page 2 | සිළුමිණ

යුද හමුදා කන්දකාඩු ගොවිපළෙන් පෝෂණීය ‘ස්පිරුලිනා’ බිස්කට්

ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන, පොළොන්නරුව කන්දකාඩු හමුදා ගොවිපළේ නිෂ්පාදනයක් වන වස විස නසන ශක්තියෙන් යුතු පෝෂණීය ‘ස්පිරුලිනා’ බිස්කට් වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ.

ස්පිරුලිනා යනු, නීල හරිත ඇල්ගී විශේෂයක් වන අතර, එය පෘතුවියේ ප්‍රථමයෙන් පහළ වූ ශාඛ විශේෂ අතළොස්සට අයත් බව පැවසේ. 1960 දශකයේ මෙම ඇල්ගී විශේෂය නැවත හඳුනාගෙන ඇති අතර, කන්දකාඩු ගොවිපළේ විශේෂයෙන් සැකසූ හරිතාගාර තුළ මෙම ඇල්ගී විශේෂය, සුපරීක්ෂාකාරී ක්‍රමවේදයකට අනුව මහා පරිමාණයෙන් වගා කරනු ලබයි.

මේ වනවිටත්, සාමාන්‍ය ජනතාව අතර, ප්‍රචලිත වෙමින් පවතින ස්පිරුලිනා ඇල්ගී විශේෂයෙන් නිපදවන මෙම බිස්කට් සහ පවුඩර් මෙරටට ආනයනය කරනු ලබන්නේ, අපේ මුදල් පිටරටට ඇදී යන තවත් එක් ආනයනික ආහාර නිෂ්පාදනයක් ලෙසිනි. නමුත්, කන්දකාඩු ගොවිපළේ වගා කෙරෙන නිපදවන මෙම නිෂ්පාදනයෙන්, ඒ සඳහා පිට රටට ඇදී යන මුදල් ප්‍රමාණය අවම කිරීමටත්, දේශීය පරිභෝජනය වර්ධනය කිරීමටත් හැකියාව ඇති බව, ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න මහතා පවසයි.

ලොව ගගනගාමීන්ගේ ජනප්‍රිය ආහාරයක් වන මෙම බිස්කට් සහ පවුඩර් සඳහා, මෙරට දැනට වැඩිම ඉල්ලුමක් ඇත්තේ කටුනායකට පැමිණෙන ගුවන් සේවිකාවන් අතර වීම, විශේෂත්වයකි.

SLS සහතිකය සහ අදාළ නිෂ්පාදනය සඳහා පේමන්ට් බලපත්‍රය ඇත්තේ යුද හමුදා කන්දකාඩු ගොවි‍පළේ නිෂ්පාදනය වන, ස්පිරුලිනා බිස්කට් සහ පවුඩර් සඳහා පමණක් වන අතර, ශ්‍රී ලංකාව පුරා ඇති යුද හමුදා සුබසාධක අලෙවි සල්වලින් ඒවා මිලදී ගත හැකිය. එසේ ම, ‍රට පුරා ඕනෑම තැනකට ඍජුවම කන්දකාඩු ගොවිපළෙන් ඇණවුම් කොට ලබා ගත හැකි බවද බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න මහතා පවසයි.

දුර්වල රෝගීන්ට ඉතා පෝෂණීය සහ ඉක්මනින් දිරවන සැහැල්ලු ආහාරයක් වන මෙය නිෂ්පාදනය කොට ඇත්තේ, වියළා ගත් ස්පිරුලිනා ඇල්ගී කුඩු, සුවඳැල් හාල් පිටි මිශ්‍රණයකි‍.

අප ගන්නා ආහාර සහ ජලය මඟින් ශරීරගතව ඇති බැර ලෝහ ශරීරයෙන් ඉවත් කිරීමේ ශක්තිය, ස්වාභාවික බීටා කැරොටින්වලින් පොහොසත් නිසා පෙනීමේ ශක්තිය වර්ධනය කිරීම, යකඩ සහ ෆෝලික් අම්ලයෙන් පොහොසත් නිසා, රුධිරය සහ හිමෝග්ලොබින් මට්ටම වැඩි කිරීම, ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල 22 න් 18 ක් ම සැපයීම, විටමින් B බහුලවීම සහ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම, ස්පිරුලිනා ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන වාසි ලෙස හඳුනාගෙන තිබේ. පිරිසුදු ජලයේ Ph අගය 11.5 ක් ලෙස පවත්වා ගනිමින්, ඒ මත වර්ධනය කරන මෙම පෝෂණීය නීල හරිත ඇල්ගී විශේෂයේ, ප්‍රෝටීන ප්‍රතිශතය 64% ක් වන බැවින්, නිර්මාංශී පුද්ගලයන්, රෝගීන් සහ කුඩා දරුවන්ගේ පෝෂණීය අවශ්‍යතාව පහසුවෙන් සපුරාලිය හැකි බව වෛද්‍ය මතයයි.

 

ඡායාරූප-ගයාන් පුෂ්පික

Comments