බැංකු පොලී අනුපාත පහළ යන ලකුණු | සිළුමිණ

බැංකු පොලී අනුපාත පහළ යන ලකුණු

වසර 2018 දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.2 කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.

වසර 2018 ආර්ථික වර්ධනය සඳහා සේවා අංශයේ සිදු වූ සියයට 4.7 ක ප්‍රසාරණය හා කෘෂිකාර්මික අංශයේ සිදු වූ සියයට 4.8 ක වර්ධනය වැඩි වශයෙන් දායක වූ බවද අධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් 08 වැනි දා පැවැති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බවද අධිපතිවරයා කීය.

දැනට රට තුළ යහපත් ආර්ථික ක්‍රියාකාරකමක් පවතින බව හා එය ඉදිරියට අඛණ්ඩව පවත්වා ගැනීමට ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබා ගැනීම යහපත් වන බව මුදල් මණ්ඩලයේ අදහස වූ බවද අධිපතිවරයා කීය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 8 සහ 9 මට්ටමේ තබා ගනු ඇත. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සියයට 5කි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මේ තීරණ දැනුම් දෙමින් ප්‍රකාශ ‍කළේ ඉදිරියේ මැතිවරණ ගණනාවක් පැවැත්වීමට නියමිතව තිබියදී වුව රජය තිරසාර ආර්ථික ගමනක් උදෙසා වන සංවර්ධනාත්මක යෝජනා අයවැයෙන් ඉදිරිපත් කොට ඇති බවයි. දේශපාලන සීනි බෝල ලබා දීමක් සිදු නොකොට රජයේ ආදායම් වැඩි කර ගැනීමට හා මුල්‍ය ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට අය වැයෙන් ඉඩ ලබාගෙන ඇතැයි ද අධිපතිවරයා පැවසීය.

ආර්ථික වර්ධනය අපේක්ෂිත පරිදි වැඩි කර ගැනීම, නව ව්‍යවසායකයන් ගොඩ නැගීමට උදව් කිරීම, සංචාරක හා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ ආදායම් වැඩි කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය වුවකි. එය ජය ගැනීමට රජය මේ වන විට සාර්ථකව අඩිතාලම දමා ඇති බැවින් ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 4.5 කින් අතිප්‍රමාණය වී ඇත.

එමෙන්ම රටේ ආනයන වියදම් සීමා වී අපනයන ආදායම් වැඩි දියුණු වීම මත වෙළෙඳ හිඟය අඩු වී ඇත. එය ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමට බලපා ඇති ප්‍රබල හේතුවකි.

මේ අතර රටේ උද්ධමනය තනි මැද ඉලක්කමක් කරා පැමිණීම, ආර්ථික වෘද්ධියට මඟ පැදීම, නව අයෝජනවලට සුදුසු පරිදි පොලී‍ අනුපාත පෙළ ගැස්සීම සිදු වෙමින් පවතී. ඒ පිළිබඳව අධිපතිවරයා දැක්වූ අදහස් සමුදායේ සම්පිණ්ඩනයයි මේ.

අඩු මට්ටමක පවතින මූර්ත ආර්ථික වර්ධනය

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත තාවකාලික ඇස්තමේන්තු අනුව,2017 වසර සඳහා වූ සියයට 3.4 ක සංශෝධිත වර්ධනය හා සැසදීමේදී ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසර තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.2 කින් සුළු වශයෙන් වර්ධනය විය. 2018 වසරේ ආර්ථික වර්ධනය සඳහා සේවා අංශය සියයට 4.7 කින් ප්‍රසාරණය වීම මෙන්ම කෘෂිකාර්මික අංශය සියයට 4.8ක වර්ධනයක් වාර්තා කරමින් යථා තත්ත්වයට පත්වීම වැඩි වශයෙන් දායක විය. ප්‍රධාන වශයෙන්, ඉදිකිරීම් අංශයේ පහළ යෑම හේතුවෙන් 2018 වසර තුළදී කාර්මික අංශ‍යේ වර්ධනය සියයට 0.9 ක් දක්වා සැලකිය යුතු ලෙස පහළ ගියේය. පවත්නා ආර්ථික දර්ශක හා අනෙකුත් ආර්ථික ප්‍රවණතාවන් අනුව, මූර්ත ද.දේ.නි. යේ වර්ධනය ක්‍රමිකව ඉහළ යනු ඇතැයි අපේක්ෂිත නමුත්, 2019 වසර තුළ දී එය මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇත. තරඟකාරී විනිමය අනුපාතික මෙන්ම, මැදි කාලීන හිතකර උද්ධමන අපේක්ෂා හේතුවෙන් ආර්ථික වර්ධනය මැදි කාලීනව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්. ආර්ථික වර්ධනය ඉහළ නංවනු ලබන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අඛණ්ඩව පවතින පහළ ආර්ථික වර්ධනය මගින් තවදුරටත් අවධාරණය කෙරේ.

මෑත කාලීනව උද්ධමනයේ ඉහළ යෑමක් සිදු වුවද, 2019 වසර සහ ඉන් ඉදිරියට උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) හා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද) යන දර්ශක දෙකම අනුව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය, මැදි තනි අගයක මට්ටමට වඩා පහළ අගයක පැවතිණි. ඉන්ධන මිල ගණන් සහ ආහාර නොවන කාණ්ඩය තුළ සමහර අයිතමවල සිදු කරන ලද මිල ඉහළ දැමීමේ සංශෝධන හේතුවෙන් මෑත කාලීනව උද්ධමනය ඉහළ ගියේය. පුරෝකථන මෙන්ම උද්ධමන අපේක්ෂාවලට අනුව, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ 2019 වසර සහ ඉන් ඉදිරිය සඳහා උද්ධමනය සියයට 4- 6 අතර අපේක්ෂිත පරාසයේ පවතිනු ඇතැයි පෙන්නුම් කෙරේ.

2019 වසරේ මේ දක්වා කාලය තුළ විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව වර්ධනය විය

අපනයන අඛණ්ඩව වර්ධනය වීම සහ 2018 වසරේදී රජය සහ මහ බැංකුව විසින් අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනය කිරීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සඳහා ප්‍රතිචාර දක්වමින් ආනයන අඩු වීම හේතුවෙන් 2019 වසරේ පළමු මාස දෙක තුළදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පහළ ගියේය. තවද, 2019 වසරේ පළමු කාර්තුව තුළ සංචාරක පැමිණීම් ඉහළ යෑම හේතුවෙන් ඒ ආශ්‍රිත ඉපැයීම් වර්ධනය වුවද, වසරේ පළමු මාස දෙක තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් පහළ ගියේය. ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල්වීම සහ විශේෂයෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු දියුණු ආර්ථික සිය මුදල් ප්‍රතිපත්ති මුහුණුවර වෙනස් කිරීම හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙ‍ෙළඳපොළ වෙත විදේශ ආයෝජන ගලා ඒම් ඉහළ ගියේය. මෙම වර්ධනයන් සමඟ අපනයනකරුවන් සිය ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සහ උත්සව සමය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම් ඉහළ යෑම හේතුවෙන්, එ.ජ.ඩොලරය සහ අනෙකුත් ප්‍රධාන මුදල් ඒකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වූ අතර, ඒ අනුව, වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට දේශීය වෙ‍ෙළඳපොළ වෙතින් ශුද්ධ පදනම මත සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකිවිය.

මේ අතර, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව තුළින් ලද ලැබීම් හේතුවෙන් 2019 වසරේ මාර්තු මස අවසානය වන විට මාස 4.2 ක ආනයන ආවරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් වන පරිදි ඇස්තමේන්තුගත දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 7.6 ක් දක්වා ඉහළ ගියේය.

පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණයෙහි වර්ධනය 2019 වසරේ පළමු මාස දෙක තුළ දී මන්දගාමී විය

2018 වසරේ හතරවන කාර්තුවේදී පෙන්නුම් කරන ලද සැලකිය යුතු ඉහළ යෑම වෙනස් කරමින්, 2019 වසරේ මුල් මාස දෙක තුළදී පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රසාරණය මන්දගාමී විය.

පෞද්ගලික අංශය වෙත සපයන ලද ණයෙහි බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත කරන ලද ආපසු ගෙවීම් 2019 ජනවාරි මාසය තුළ පෙන්නුම් කළ අතර, එය 2019 පෙබරවාරි මාසයේදී සුළු වශයෙන් ඉහළ ගියේය. පුළුල් මුදල් සැපයුමේ (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය ද වසරේ පළමු මාස දෙක තුළදී මන්දගාමී විය. 2019 වසරේ දී පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය සියයට 13.5ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, පුළුල් මුදල් සැපයුම 2019 වසරේදී සියයට 12.0 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අපේක්ෂිත පුළුල් මුදල් සැපයුමෙහි වර්ධනය 2019 වසර සඳහා පුරෝකථනය කරන ලද නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ඉල්ලුමෙන් ජනිත වන උද්ධමන පීඩන තත්ත්වයකින් තොරව ආර්ථික ක්‍රියාකාරකම්වලට ප්‍රමාණවත් ලෙස සහාය වනු ඇත.

ඉහළ ගිය වෙ‍ෙළඳපොළ ද්‍රවශීලතා තත්ත්වය සමඟ, වෙ‍ෙළඳපොළ පොලී අනුපාතිකවල ක්‍රමානුකූල යෑමක් අපේක්ෂා කෙරේ.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2018 නොවැම්බර් මාසයේදී හා 2019 මාර්තු මාසයේදී අදියර දෙකකින් ප්‍රතිශතාංක2.50 කින් පහළ දැමීම සඳහා මෑතදී ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති තීරණයට සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ යෝග්‍ය විවට වෙ‍‍ෙළඳපොළ කටයුතුවලට ප්‍රතිචාර දක්වමින්, දේශීය මුදල් වෙ‍ෙළඳපොළ ද්‍රවශීලතා තත්ත්වය සැලකිය යුතු ලෙස වර්ධනය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බරිත සාමාන්‍ය එක්ෂණ මුදල් අනුපාතිකය 2019 වසරේ මේ දක්වා කාලය තුළ පදනම් අංක 45 කින් පහළ යමින් ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ මධ්‍යය කරා ළඟා විය.

වැඩි දියුණු වූ මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව සහ 2019 මාර්තු මාසයේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමෙන් ලද ලැබීම් මධ්‍යයේ වෙ‍ෙළඳපොළ අපේක්ෂා හිතකර වීම සමඟ 2019 වසරේ මේ දක්වා කාලය තුළ රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගියේය.

මෙම වර්ධනයන් මධ්‍යයේ වුවද, අනෙකුත් වෙ‍ෙළඳපොළ පොලී අනුපාතික 2019 වසරේ මේ දක්වා කාලය තුළ අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතුණු අතර, පදනම් පොලී අනුපාතිකවල පහළ යෑම අනෙකුත් වෙ‍ෙළඳපොළ පොලී අනුපාතික කරා වඩාත් ඵලදායි ලෙස සම්ප්‍රේෂණය වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවනු ඇත.

දේශීය ආර්ථිකයේ සහ මූල්‍ය වෙ‍ෙළඳපොළ තුළ දැනට පවතින සහ අපේක්ෂිත තත්ත්වයන් යටතේ, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑම යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

එසේම, ‍ගෝලීය මුල්‍ය වෙ‍ෙළඳපොළ තත්ත්වයන්, වෙළඳ හිඟය සහ ණය වර්ධනය පිළිබඳ දැනට පවතින ප්‍රවණතා අඛණ්ඩව පැවතිය‍හොත්, මනාව පාලනය වූ උද්ධමන හා උද්ධමන අපේක්ෂා තත්ත්වයක් තුළ, ඉදිරි කාලයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ දැමීමේ හැකියාවක් ඇති බව මුදල් මණ්ඩලයේ අදහස විය.

Comments