සිංහල කැවිලිවල අතීත පවත | Page 2 | සිළුමිණ

සිංහල කැවිලිවල අතීත පවත

සිංහල කැවිලි වර්ගවලට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි.

ඒ රසකැවිලි අතර කැවුම් බෙහෙවින්ම ප්‍රමුඛ විය. කැවුම් හා බැඳුණු පොහොසත් සාහිත්‍යයක් තිබේ. එය සියවස් ගණනාවක් අතීතයට යන්නකි.

දුටුගැමුණු මහ රජතුමා කරවූ රුවන්මැලි සෑයේ වැඩ කළ සේවකයන්ට සංග්‍රහය සඳහා අතුරු පසට කැවුම් තිබුණු බව ථූපවංසය කියයි. හෝපිටිගම සෙල්ලිපියේ සඳහන් රාජකීය වට්‌ටෝරුවෙහිද රජගෙදර කැවුම් ගැන සඳහන් වේ.

මහාවංශය ප්‍රකාරව අග්බෝ රජුගේ කුඩා පුතුගේ ගාත්‍ර සිඳලන්නට රජ අණක් ලැබිණි. හේ ඉතින් නුඹ මගේ ගාත්‍රය සිඳී නම් මා කෙසේ කැවුම් කම්දැයි විමසමින් කුමරු හඬන්නට වූයේය. වදකයා ඔහුගේ අත් සිඳදමා තිබුණේ හැඬූ කඳුළිනි. අතීත ජන සමාජයේ කුඩා දරුවන් කැවුම්වල කෙතරම් රුචි වූයේ දැයි ඉන් පෙනේ.

සමන්ත පාසාදිකා විනය අටුවාවේ රාජ සික්ඛාපදයෙහි එන අටුවා කතාවක කැවුම් පිළිබඳ කියවේ. පෙර සිතුල් පව්වේ විසු එක් භික්ෂුවක ‘අහෝ! හෙට සංඝයාට මෙපමණ වූ කැවුම් පිසත්වා!‘ යැයි ආරාමිකයන්ට ඉඟියක් පිණිස පොළොවෙහි රවුමක් ඇන්දේය. දක්ෂ ආරාමිකයෙක් එය දැක එපරිද්දෙන්ම කැවුම් පිස ගෙනැවිත් දෙවැනි දවසෙහි සංඝයා රැස්වු කල්හි සංඝ තෙරුන් වහන්සේට මෙසේ කීවේය. ‘ස්වාමීනි, මින් පෙර එක් ස්වාමීන් වහන්සේ නමක විසින් දානශාලා දොරටුව අසල කැවුම් පිණිස සංඥාවක් කරන ලදි.

දැන් මෙයින් මතු ස්වාමීන් වහන්සේලා තම තමා කැමති දේ අනුව අවශ්‍ය දේ කියත්වා! අපි ඒවා සපයන්නෙමු‘යි කීවේය. එය ඇසූ තෙරුන් වහන්සේ එතැනම නැවතුණි. එක් භික්ෂුවකුදු කැවුම් නොගත්තේය. අරාමය තුළ වුවත් භික්ෂුවකගේ ලෝල බව නිසා ලැබුණු කැප සරුප් කැවුම් වුවද නොවැළැඳූහ.

උමංදාවේ පැණෙනා මහෞෂධයන් අමරාදේවීය පිරික්සුවේ කැවුම් ඉවීමට ඇණවීමෙනි. එහිම එන කාලගෝල කථාවේ දික්‌තලාගේ මවුපියන් බැලීමට ඔවුන් දෙපළ යන්නේ කැවුම් කදක් ගෙනය. කුස ජාතකයේ කියැවෙන කුස රජුගේ මුහුණ කැවුමකට උපමා කර ඇත. කැවුම් තිබියදී මහ රහත් නමකට දන් නොදී තනිවම රහසින් කැවුම් කෑ නිසා හේ මතු ආත්මයේ කැවුමක හැඩැති මුහුණක් ගෙන ඉපදුණේය. මසුරු සිටාණෝ උඩු මහලට ගොස්‌ කාටත් හොරෙන් කැවුම් උයා කෑ පුවතක් ජාතක පොතේ පැනේ.

සද්ධර්මාලංකාරයෙහි එන ශ්‍රද්ධා සුමනාව දේවී දානයක්‌ දීමට වත්කමක්‌ නැති වුවත් කැවුම් පිදීමට උපන් ආශාව දෙවියන්ට පෙනුණි. දෙවියෝ ඇයට දිව්‍ය ලෝකයෙන් කැවුම් ගෙනැවිත් දුන්හ. දුගී පැල්පතහි සිට රාජ මාළිගාව දක්‌වා කැවිල්ලක් ලෙස කැවුම් වැදගත්ම තැනක් ගත් ආකාරය පිළිබඳ මේ ජන සාහිත්‍යය ඇරින් කළ බෞද්ධ සාහිත්‍යයෙන් පෙනේ.

පූජාවලියේ සඳහන් අනුරුද්ධ කුමරු ළමයින් සමග සෙල්ලම් කරන විට කැවුම්වලට ඔට්‌ටු අල්ලා පැරදුණේය. නිවෙසේ තිබූ කැවුම් ඉවර වී තිබුණු නිසා කුමරුගේ මව කුමරු රැවටීමට දාසියකගේ අත හිස්‌ කැවුම් පෙට්‌ටියක්‌ යැවුවේය. එහෙත් ඔහුගේ පින් බලයට ඒ හිස්‌ව තිබූ පෙට්‌ටිය කැවුමින් පිරී ගියේය.

ඉතිහාසය තුළ කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්‌නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. ද්‍රවිඩ ආභාසය මෙන්ම පෘතුගීසි, ලන්දේසි සංස්කෘතික සම්පර්කය මෙයට හේතු වී තිබිණි. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට පුරුදු වූ කැවිලි වර්ග මුලින්ම හමු වන්නේ ද්‍රවිඩ ආභාසය දැඩි ලෙස දැනුණු පොලොන්නරු යුගයේදී බව සැලකේ. කෙසේ වෙතත් නුවර යුගය වනවිට පැවති සිංහලයන්ගේ කැවිලිවලින් ඉතා මිහිරි ආහාරය කැවුම් යැයි රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කළේය.

@ නොක්ස් කී කතාව

සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ රොබට්‌ නොක්‌ස්‌ විසින් තම ලංකා ගමනය පිළිබඳ ‘එදා හෙළ දිව‘ ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත්තේය.

“ඔවුන්ගේ රස කැවිලි විවිධය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල්පිටි අනා ගුළි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිළියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති.

“ඕලන්දකාරයන් ලංකාවට පළමුකොට පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග්‍රහයක්‌ කරනු කැමැති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන් හට නියම කළේය. එම කැවුම් කා පුදුමයට පත් වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක්‌ මිනිස්‌ අතකින් නම් සෑදිය නොහැකි යෑයි සිතා මේවා ගස්‌වලින් කඩාගන්නා දෙයක්‌ද? යි ඇසුවේලු.”

අපේ සිංහල කැවිලි අතර තිබූ අග්ගලා ගැනද රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි. “ අග්ගලා නමින් තවත් අලුමුසුවක්‌ වෙයි. බැදි හාල්පිටි, පැණියෙන් අනා ගම්මිරිස්‌, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මේ ගුළි සාදාගනු ලැබේ. මේ ගුළි ගුළි කිරීමෙන් පසු තද වෙයි. අග්ගලා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වෙනස්‌ නොවී ප්‍රයෝජනයට ගත හැකි ආහාරයකි.”

මේ කැවිලි වර්ගය දඹදිව බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එදා ජනීජනයා ගමන් බිමන් ගියේ පා ගමනිනි. දින ගණනාවක්‌ පා ගමනින් යා යුතු නිසා අතරමඟදී ආහාර සොයාගැනීමද අපහසුය.

මේ නිසා අග්ගලා සාදාගෙන යෑමේ පුරුද්දක්‌ ඇති විය. අග්ගලා දුප්පත් පොහොසත් කොයි කවුරුත් ආහාරයට ගත් කැවිලි වර්ගයකි. එදා තිබූ කැවිලි වර්ග අතුරින් රොබට්‌ නොක්‌ස්‌ගේ සිත් ගත් තවත් කැවිලි වර්ගයකි ‘යක්‌ පැටිය‘. අද නම් මේ කෑම වර්ගය ඉතා දුර්ලභය. මෙය නුවර යුගයේ ඉතා ජනප්‍රියව පැවතියේය.

“හාල්පිටි පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල්පිටි පැණි මුසු කොට අනා ගුළි කොට කොළයක ලා වණ්‌ඩුවේ තම්බාගනියි. ඉතා මොළොක්‌ වූ මෙය බුදින විට හකුරු සමග සුදු පාන් කන බවක්‌ හැඟෙන්නේය.” ‘යක්‌පැටි‘ ගැන රොබට්‌ නොක්‌ස්‌ එසේ සඳහන් කොට තිබිණි.

ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින කුඩා දරුවා පවා දෙවියන්ගේ සිත් ගන්නට සැරසෙන්නේ “අතිරස අග්ගලා යක්‌පැටි‌ පුදමී” යනුවෙන් සඳහන් කිරීමෙනි.

ගණදෙවි හෑල්ලේද යක්‌පැටි ගැන සඳහන් වේ. ගණ දෙවියන්ට පිදූ කැවිලි හා පලතුරු වට්‌ටෝරු කවියෙන් මෙසේ දක්‌වා ඇත.

 

“අග්ගලා කොමලීනා

තල කැරලි විළ ඳිනා

මල් කැවුම් රොටියෙනා

වෙල්ල වැසිමුත් තනා

පුලුබී බෝජන තනා

ලාලු යක්‌ පැටි‌යෙනා

කිරි උණ්‌ඩ පූ තනා

අක්‌සුණු ද ඉසිමිනා

එදා දෙවියන්ට පිදූ කැවිලිවර්ග සියල්ලම මෙහි දක්‌නට ඇත. අග්ගල තල කැරලි, විළඳ මල්කැවුම්, රොටි, වෙල්ල වැහුම්, පුලුබි, බෝජන, ලාලු, යක්‌පැටි‌, කිරි උණ්‌ඩ, ඒ කැවිලි වර්ගයන්ය.

කැවිලිවර්ග අතුරින් අතිරසද ඉතා මිරිහි කෑමක්‌ බව සිංහලයන් අතර ඉතා ප්‍රසිද්ධය. “අතිරස තිත්ත රසයි - පැමිණි දුක්‌ පැණි රසයි” යනුවෙන් කියා ඇත්තේද ඒ නිසාය.

අලුත් අවුරුද්ද ලැබීමට පෙර සෑම ගෘහණියක්‌ම වාගේ කැවුම් අතිරස ආදි කැවිලිවර්ග කලින්ම සකස්‌ කොට තබති.

පුරාණයේ පැවති කැවුම් වර්ග 18ක් ගැන සඳහන් වේ. වලස්‌මුල්ල ප්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක්‌ද ඇත්තේය. ඒවා හඳුන්වන්නේ “මුකුදු”යනුවෙනි.

ඒ පුරාණ සංස්කෘතිය සංකේතවත් කරන කැවුම් අදත් අවුරුදු මේසය විචිත්‍ර කරයි.

අදහස්