සිංහල අවුරුද්දේ රටටම රබන් හඬ නංවන කූරගල මිනිස්සු | Page 2 | සිළුමිණ

සිංහල අවුරුද්දේ රටටම රබන් හඬ නංවන කූරගල මිනිස්සු

බක්මහ එළැඹෙන විට සිහියට නැ‍ෙඟන්නේ බාල වියයි. ඒ සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන ය. එකක් නම් රතට රතේ මල් පිපෙන එරබදු වැටියයි. ‍ෙම් කියන්නට යන එරබදු වැටිය තිබුණේ අපේ නිවසට මදක් එහායින් ඇති දෙවැටේ ය. එකල සැන්දෑවන විට මිනිසුන් දෙවැටෙන් යාමට බියය. ඒ ‍දවාලටත් මඳ අඳුරක් ඉසිලූ දෙවැටේ යම් යම් අය ඇතැයි ගෙතී තිබූ කතා නිසා ය. අනෙක නම් මිදුල ඉදිරිපස තිබූ ජෑම් ගසට පැමිණෙන කොවුලන් ය. මේ කොවුලන් අතර සුදු තිත් තිත් වැටුණු (පුල්ලි) කොහාලා ද සිටියේ ය. උන් හඬ නගන විට උන් අනුකරණය කරන්නට වීමු.

“ඔය සතා රවටන්න එපා.”

එවිට අම්මා අපට කෑගසන්නීය.

“අන්න බේබි අක්කා රබාන රත් කරනවා.”

බක්මහ එළැඹෙන විට කුමන රාජකාරියක් තිබුණ ද බේබි නැන්දා ඇතුළු ගැමි කාන්තාවෝ රබාන වයන්නාහ. “බේබි අක්කා” දකුණෙන් පැමිණි කාන්තාවකි. සිංහල පමණක් නොව දෙමළ හා බර්ගර් ජාතිකයන් ද එක්ව වාසය කළ එබිමේ බක්මහ පිළිගත්තේ ඒ ඇසුරෙනි. මා මේ කියන්නේ 1980 ගණන්වල අගනුවරට ඉතා ආසන්න කළුබෝවිල ප්‍රදේශය ගැන ය.

නමුදු එදා ඒ ප්‍රදේශය එසේ තිබුණා යැයි කිසිවෙකුවත් අද විශ්වාස නොකරනු ඇත. හේතුව ‍නම් අද වනවිට මේ ප්‍රදේශය මුළුමනින් ම නාගරිකරණය වී ඇති බැවිනි.

බේබි අක්කා ‘‍රබාන වයන්නේ ද උසට උස කොස් ගසේ අත්තක ඔංචිල්ලාවක් බැඳෙන්නේ ද ගමේ ළමා වැඩිහිටි දෙපිරිසම සඳහාය.

බාලයන් වූ අපි පමණක් නොව වැඩිහිටියෝ ද කාන්තාවන් රබාන වයන අයුරු ආසාවෙන් බලා සිටිති. පොල් කොළ ආදිය දමා රත් කරන රබාන පදම් කිරීමෙන් පසු තරගයට මෙන් රබන් වයති. එය අප‍ූරු දසුනකි.

‍උඩින් උඩින් වර පෙත්තප්පු

බිමින් බිමින් වර පෙත්තප්පු

උඩින් උඩින් වර

බිමින් බිමින් වර

කැවුම් කන්න වර පෙත්තප්පු

‘කොහොමද රබාන හදන්නේ

රබන් වාදනය දෙස බලා සිටින විට මා අම්මාගෙන් ඇසුවා මතකය‍.

“හරක් හමක් පදම් කරලා තමයි රබාන හදන්නේ” අම්මාගේ උත්තරය මට මදිය.

“කොහොමද රබන් හදන්නේ” ඒ ප්‍රශ්නයට සහ සුද්දෙන් පිළිතුරු ලැබුණේ ලංකාවේ දැනට රබන් හදන එකම ගම්මානය වන කූරගල ගම්මානයට පිය නැඟූ දිනය.

“වෙන ගම්වල රබන් හදන්නේ නැද්ද?”

ඔබට ප්‍රශ්නයක් නැගෙනු ඇත.

ලංකාවේ තැනින් තැන අතරින් පතර රබන් සාදනු දැකිය හැකි වුව ද පවුල් ගණනාවක් එකට එක්ව රබන් සාදන ගම්මානයක් තිබෙන්නේ ගම්පොළ කූරගල ගම්මානයයි.

ගෙලිඔය සිට ගම්පොළ පාරේ මද දුරක් ගොස් වැලිගල්ලටත් එතැනින් තලවතුර පාරේ උඩඅළුදෙනියටත් එතැනින් පල්කුඹුර පාරේ ඉදිරියට ම ගිය විට කූරගල සම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මානය හමුවේ. රබන් පමණක් නොව දේශීය සංගීත භාණ්ඩ රැසක් නිපදවන මේ ගම්මානයේ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ හස්ත කර්මාන්ත ශිල්පීහු වෙසෙති. පවුල් හැත්තෑවක් පමණ කූරගල ගමේ ජීවත් වූවද මෙම සාම්ප්‍රදායික කර්මාන්තයේ යෙදෙන්නේ පවුල් විස්සක් විසි පහක් පමණි.

අපට මඟ පෙන්වන්නට ගිය ශාන්ත වික්‍රමාරච්චි හා තිලකසිරි විජයානන්ද යුවළ මුලින් ම අප කැඳවාගෙන ගියේ දැනට ගමේ ප්‍රධානියා ලෙස සැලකෙන ජයපාලගේ නිවෙසට ය. ඒ වනවිටත් එහි සිටියෝ සංගීත භාණ්ඩ රැසක් ලොරියකට පටවමින් සිටියහ.

අපි දෙවැනි පරම්පරාවේ අය. දැන් තුන්වැනි හා හතරවැනි පරම්පරාවත් ඉන්නවා. ඒත් ඉස්සර මගේ තාත්තාගේ අම්මාගේ කාලේ මේ ගම කොන් කරලා වගේ තිබුණේ. මොකක් හරි සංගීත භාණ්ඩයක් ගන්න ආවොත් මිසක් ගමට කිසි කෙනෙක් එන්නේ නැහැ. මගෙ තාත්තා කේ. සුද්දනා. උන්දැගෙන් තමයි මම ‍රබන් ආදී භාණ්ඩ හදන්න ඉගෙන ගත්තේ. අවුරුදු අටේ ඉඳලා මම මේ භාණ්ඩ හදනවා. මම මුලින් ම හැදුවේ ළමා බෙරයක්. එතැන් පටන් මම මේ කර්මාන්තය ඉගෙන ගත්තා. ඇත්තම කිව්වොත් මට වැරදුණේ නෑ. මං ඉන්පස්සේ සංගීත භාණ්ඩ හැදුවා. මටත් කේ. ප්‍රේමරත්නටත් චක්‍රවර්ති, සම්මානය, ජනාධිපති සම්මානය ලැබිලා තියෙනවා.

ජයපාල අපට ඔහු ලැබූ සම්මාන ගෙනැත් පෙන්වමින් කතාබහ කරන්නේ ය.

වසර ගණනක් තිස්සේ සාම්ප්‍රදායික කර්මාන්තයේ නියැළෙන මොවුන්ට තමන් වෙනුවෙන් හඬක් නැගීමට තරම් ශක්තියක් නැතැයි ඔවුන් හා කරන කතා බහේදී වැටහේ. මන්දයත් මොවුන් වෙනුවෙන් හඬක් නගන්නට උත්සාහ දරන්නේ වෙනත් අය බැවිනි.

“අපිට පාසල්වලින් ඇණවුම් ලැබෙනවා. භාණ්ඩවලට හොඳ ඉල්ලුමකුත් තිබෙනවා. ඒත් කර්මාන්තය කරගෙන යන්න බැරි හේතු ගොඩක් තියෙනවා‍. මේ භාණ්ඩ හදන්න දැව ප්‍රවාහනය කිරීම අපට ලොකු ප්‍රශ්නයක්. මේවාට බලපත්‍ර ඕන. ඒත් බලපත්‍ර ගන්න ගියාම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. සමහර දැව ලොරි රාජසන්තක වෙලත් තියෙනවා‍. ඒ වගේ ම තමයි බෙරවල අවශ්‍ය එළුහම් හරක් හම් අපි ගෙන්න ගන්නවා.

මගේ තාත්තලාගේ කාලෙ ගෙවල්වලම තමයි මේ හම් පදම් කරගත්තේ. නමුත් දැන් පදම් කරපු හම් තමයි අපි මිලට ගන්නේ‍. ඉස්සර වගේ නෙමෙයි අලුත් පරම්පරාව මේ කර්මාන්තයේ රැඳෙන්නේ නෑ. දැන් කොස්වලින් හදන බෙරයක් රුපියල් 7500 ක් වෙනවා. මට මතකයි ඉස්සර, ගමට කෙනෙක් අපිව සොයාගෙන ඇවිත් බෙරයන්, රබානක් හදාගන්නවා. නමුත් දැන් අතරමැදියෝ හරහා තමයි අපිට ඇණවුම් ලැබෙන්නේ. අපි කොයිතරම් මහන්සි වුණත් මේකේ වාසිය ගන්නේ අතරමැදියෝ. ජයපාල පවසන්නේ තම සාම්ප්‍රදායික කර්මාන්තයට අද අත්වී ඇති ඉරණමය.

සමාජය කොතරම් දියුණු යැයි කීවද ඔවුන්ට තාමත් හඬක් නැත. ගමේ ඇති නැති පවුල්වල දරුවන් ගමෙන් පිට ඉස්කෝලවල ඉගෙනුමට යන විට කිසිවක් කර කියා ගැනීමට බැරි පවුල්වල දරුවෝ ගමේ පාසල තුළ ඉගෙනුම ලබති. අප යනවිට දරුවෝ 12 දෙනෙක් පාසලේ ඉගෙනුම ලබමින් සිටිය හ. ඒ කූරගල ගැමුණු ප්‍රාථමික විද්‍යාලයයි.‍ පාසලටම ඇත්තේ එක් ගොඩනැගිල්ලක් පමණි. එක ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. වසර එකො‍ළහක් තිස්සේ පාස‍ෙල් ගුරුවරියක ලෙස සේවය කරන ඒ‍.ඒ.එල්.සී. රත්නායක මහත්මිය දරුවන්ගේ හෙට දවස ගැන කතා කරන්නේ බොහෝ කනගාටුවෙනි.

ගමට තියෙන්නේ මේ පාසල විතරයි. මේ වනවිට පාසලට දරුවෝ 13 ක් පමණ එනවා. මේ අයට හොඳින් ඉගෙන ගන්න පුළුවන්. ඒත් මොකක්දෝ අඩුවක් තියෙනවා. දෙමාපියෝ දරුවෝ ගැන මීට වඩා උනන්දු වෙන්න ඕනා. මේ පාසල් ගුරුවරු එන්න කැමැති නැහැ. ළඟදී පත්වීම ලැබුණ ගුරුවරියත් මඟට ඇවිත් හැරිලා ගිහින් තිබුණා. ඒ ඇවිත් තිබුණේ ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරුවරියක්.”

අභාවයට යමින් තිබූ පාසල යළිත් ගොඩනංවමින් විදුලිය හා ජලය ලබාගැනීමට කටයුතු කළේ පෙර සිටි විදුහල්පතිවරයාය.

“මට දැනෙන දේ තමයි සමහරු කැමැති නෑ මේ ගමේ දරුවෝ හොඳින් අධ්‍යාපනය ලබනවාට. මොකද දරුවෝ හොඳට ඉගෙන ගත්තොත් ඔවුන් යම් දවසක ගමින් පි‍ටවෙනවා.‍ ඒත් දරුවෝ හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඔවුන් ගමේ රැ‍ෙඳනවා. දැනටත් මේ දරුවෝ රුපියල් ස‍ීයට දෙස‍ීයට සුළු සුළු වැඩ කරනවා. මේ දරුවන්ගේ අනාගතය ගොඩනැඟ‍ීමයි ගුරුවරු හැටියට අපේ වගකීම විය යුත්තේ.”

දෙවසරක් පාසලේ දියුණුව වෙනුවෙන් කැපවී සේවය කළ මලවිසූරිය මහතා පවසන්නේ ය. පාසලේ වර්තමාන විදුහල්පති ලෙස කටයුතු කරන්නේ ශාන්ත ලාල් මහතා ය.

ගැටබෙරය, දවුල, තම්මැට්ටම, පහතරට බෙරය, උඩැක්කිය, ඩොල්කිය, බංකු රබාන, අත්රබාන, බුංමැඩිය. උඩැක්කිය, තබ්ලාව, නාඩගම් බෙර, මෘදංගය ආදී බොහෝ සංගීත භාණ්ඩ මේ ගමේ නිපදවේ. එය සියුම් කලාවකි. සුසර කරමින් හඬක් නැගෙන ලෙසින් සංගීත භාණ්ඩ නිර්මාණය කළ යුතු ය‍. කිතුල්, ඇහැල, පොල්, කොස්, ගංසූරිය, වාය ආදී ගස් මෙම සංගීත භාණ්ඩ නිර්මාණ සඳහා භාවිත කරනු ලැබේ.

“බෙර දවුල් හදන්න පට්ටලේ තිබුණම ශබ්ද නැගෙන්න භාණ්ඩය හදන එක සියුම් වැඩක්. ඒක කරන්න ඕන අතේ හුරුවට. බෙරයක දකුණු පැත්තට ගහන්නේ එළුහම. වම් පැත්තට ගහන්නේ හරක් හම. අපි නම් කැමැතියි මේ කර්මාන්තය දිගටම කරගෙන යන්න. මේක තමයි අපේ අනන්‍යතාව.” ලංකා පවසන්නේ බෙරයක් සාදන අතරේ ය.

තුන්සිය හැටපස් දවසේම කර්මාන්තය සමඟ ගැටෙන ඔවුන්ට යම් විනෝදයක් ගෙන එන්නේ සිංහල අවුරුද්දයි. සංගීත භාණ්ඩ සාදා විකුණන ඔවුන් ගෙයි අරන් තබා ඇති රබාන හඬ නංවන්නේ සිංහල අවුරුදු සමයට.

සුනන්දා හා අනුලාවතී අක්කා නගාලා දෙදෙනා එක්ව රබන් වයන්ට වූවාය.

දැන් රබාන රත් කරන්නේ නැද්ද?

ඔවුන් වයන්ට සැරසෙන විට අපි ඇසුවෙමු. දැන් පදම් කළ හරක් හ‍ෙමන් තමයි රබන් හදන්නේ ඒ නිසා ඉස්සර වගේ රබාන රත් කරන්න ඕන නෑ.

සුනන්දා රබානට අතින් තට්ටුවක් දමමින් පවසන්නීය.

මහා සම්මත නම් වූ මනු රජුගේ කාලයේ රබානේ උපත සිදුව ඇති බව පැරැන්නන්ගේ මතයයි. ඉස්සර සිට රබාන තිබූ ගෙදර හැඳින්වූයේ රබන් ගෙදර නමිනි. කාලය වෙනස් වීමත් සමඟ දැන් ඈත පිටිසර ගමක හැරෙන්නට රබානක් තියෙන ගෙයක් හෝ දැකිය නොහැක.

කෙසේ වෙතත් රබාන පමණක් නොව තවත් සංගීත භාණ්ඩ නිර්මාණය කරන කූරගල ගමේ ඇත්තෝ සිංහල අවුරුදු දාට සියලු වැඩ රාජකාරිවලින් ඈත්වී පොඩ්ඩන් සමඟ අවුරුදු සමරති.

“අපි අවුරුදු කුමාරයා වෙනුවෙන් කිරිබත් ආදී කැවිලි ඇතුල්පොතකට කෙහෙල් කොළයක් දාලා වෙනම එළියෙන් තියනවා. අවුරුද්දට දවසකට දෙකකට කලින් ඉඳන් රබන් ගහනවා. අවුරුදු දවසෙන් රබන් ගහනවා. අපි මුංගුලි, වැලි තලප, අළුවා කොකිස් කැවුම් ආදිය හදනවා. ගමේ හැමෝම එකතු වෙලා පුංචි අවුරුදු උත්සවයක් තියනවා.”

රබන් ගමේ ප්‍රධානියා ලෙස සැලකෙන ජයපාල පවසන්නේ සතුටිනි

 

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්