සිංහල අලුත් අවුරුද්දේ ජ්‍යොතිෂ පදනම | සිළුමිණ

සිංහල අලුත් අවුරුද්දේ ජ්‍යොතිෂ පදනම

ආර්යයන් ලංකාවට සංක්‍රමණය වී අවුරුදු දෙදහස් හයසීයක් පමණ වෙයි. ඔවුන් ඉන්දියාවේ මධ්‍ය - උතුරු - වයඹ - දකුණු ප්‍රදේශවල සිට කණ්ඩායම් වශයෙන් නැව් නැඟී ලංකාවට පැමිණි අතර ජාතක පොතේ වලාහස්ස ජාතකය - මහා වංශයේ විජය - කුවේණි පුවත ඒ පිළිබඳ ජනප්‍රවාද මිශ්‍රව කියයි. ආර්යයන් ලංකාවට ඒම පිළිබඳ වකවානු මීට වඩා පැරැණි විය හැකි බව පුරාවිද්‍යාත්මක සාධක අනුව පෙනේ.

දඹදිව සිට ආ ආර්යයන් වෛදික යුගයේ අය බැවින් ජ්‍යොතිෂය පිළිබඳ දැනුම හසළ විය. විජය ඇවෑමෙන් කෙටි කලක් පාලනය කළ උපතිස්ස බමුණෙකි. පණ්ඩුකාභය කුමරුට ශිල්ප ඉගැන්ව‍ූයේ පණ්ඩුල බමුණාය. ඉන්දියාවේ සිට ආ ජ්‍යොතිෂ්‍ය කටයුතු මතිමතාන්තර ඉගැන්වීම් ලංකාවේ ස්වාධීනව වැඩිණි. ඉන්දියාවේ පැවැති උත්සව - ආගමික ඇදහිලි - ලංකාවේ පාරම්පරිකව පැවැති ආගමික අදහස් හා මිශ්‍ර වී ජ්‍යොතිෂය පදනම් කරගත් සරල චාම් ගොවි ජන ජීවිතයක් ලංකාවේ ක්‍රමයෙන් බිහි විය.

ඉන්දියාවේ පැවැති නැකැත් කෙළිය ගැන ජාතක කතාවල එයි. වී අස්වැන්න කපාගත් පසු සරල ගොවි ජීවිතයට විරාමයක් ලැබිණි. ස්වභාවධර්මය අනුව ජීවත් වූ නිසා අව්ව - වැස්ස බොහෝ විට බලාපොරොත්තු වකවානුවේ ලැබිණි. ගංගා අද්දරවල ජනාවාස නිසා වී ගොවිතැනට ගංගා ජලය, වැව් වතුර විය. ගව පාලනයෙන් පස්ගෝරස විය. පණ්ඩුකාභය රජු කල නැකැත් කෙළියක් මහාවංශය විස්තර කරයි. අස්වැන්න නෙළා ගත් පසු ඊළඟ ගොවිතැන් වාරය තෙක් මාස එක හමාර - දෙකක විවේකයක් ලැබෙයි. ඒ කාලය අස්වැන්න ලබාදුන් දේවත්වයෙන් පිදූ ස්වභාව ධර්මයට ස්තූති කිරීම් වස් ඇතැම් විට කාමෝත්සවයන් ස්වරූපය ගත් ඉර - හඳ - ගින්දර - ජලය පිදීමේ පරිසර උලෙ‍ළක් ලෙස නැකැත් කෙළිය විය.

නැකැත් කෙළියට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හවුල් විය. සශ්‍රීකත්වය පදනම් කරගත් ස්වභාවධර්මයේ වස්තූන් එහිදී දේවත්වයෙන් පිදුම් ලැබීය. ඒ කළ ගුණ සැලකීමකි. පරිසරය පූජනීය ලෙස පිදීමකි. ජ්‍යොතිෂය මුළු ජීවිතය වෙළාගත් නැකැත් උලෙළක් පැවැත්විණි. නැකැත් කෙළිය සමඟ දියකෙළිය, දඩයම් කෙළිය, විවිධ කාමෝත්සව - අභිචාර පුද ප‍ූජා විය. බුදු දහම පැමිණි පසු ක්‍රමයෙන් කාමෝත්සව - අභිචාර ප‍ූජා යටපත් වන්නට විය.

අවුරුදු උලෙළ කලින් කලට සූර්ය සංක්‍රාන්තිය අනුව පැවැති දින වකවානු වෙනස් විය. රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයෙන් ද ඒ බව පෙනෙයි. රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයෙන් ද ඒ බව පෙනෙයි. අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ලැබෙන සශ්‍රීකත්වය - සතුට - විවේකය - විරාමය - සතුටින් සැමරීම මෙහි, පළමු අරමුණයි. අස්වැන්න - සශ්‍රීකත්වය ලබා දුන් පරිසරය, වස්තූන් දේවත්වයෙන් පිදීම දෙවැනි අරමුණයි. ඊළඟ උදා වන නව වර්ෂය වඩාත් ‍ශුභදායක වීමට ජ්‍යොතිෂය අනුව වැඩකටයුතුවලට මුල පිරීම තුන් වැනි අරමුණයි. එයට ජ්‍යොතිෂය අනුව වැඩ පමණින් නොව ආයුර්වේද අංග ද එකතු කර ඇත.

මුලින් ම දඹදිව තිබී ආර්යයන් සමඟ ලංකාවට අවුත් ස්වදේශික ගෝත්‍රවල තිබූ චාරිත්‍ර ද එක් වී නිර්මාණය වූ නැකැත් කෙළිය අවුරුදු උලෙළෙහි මුලයි. අස්වැන්නට පසු සතුට වෙනුවෙන් ප්‍රීති උත්සව - නෑයන් හමුවීමට යෑම - මුළු පවුල ම එකට එකමුතු වීම - වැඩිහිටි ගුරු දෙගුරුන් පිදීම - කැවිලි පෙවිලි සැකසීම - කෑම බීම හුවමාරු කරගැනීම - විවිධ ක්‍රීඩාවල යෙදීම - නඩ ලෙස වන්දනාවට යෑ ම - සොකරි - සඳ කිඳුරු - අං ඇදීම වැනි සම්ප්‍රදායික ක්‍රීඩා කිරීම පසු කල එකතු විය‍.

ස්වභාවධර්මය දේවත්වයෙන් පිදීම - අස්වැන්න ලබාදුන් පරිසරයට දේවත්වයෙන් පිදීම, උතුම් කළගුණ සැලකීමකි. අවුරුදු උලෙළෙහි අංග අදත් ඒ සංකේතාමත්ව පෙන්නුම් කරයි. පරණ අවුරුද්ද හා නව අවුරුද්දට සඳ බැලීම, එදා සඳ දේවත්වයෙන් පිදීමකි. අස්වැන්න ලබාදීමට මුල් වූ හිරු දේවත්වයෙන් පිදුවේ ය. පහන් දැල්වීම, ළිප ගිනි නැකැතට දැල්වීම හිරු උපහාරයකි.‍ ජලය දේවත්වයෙන් පිදීම එදා විය. ළිඳ සමඟ ගනුදෙනු කරයි. නැකැතට ඉසතෙල් ගා, ස්නානය කරයි.

ජ්‍යොතිෂය හා ආයුර්වේදය පදනම් කරගෙන ශුභ වේලා කලින් සැකසීම, සැකසූ දින හා වේලාව රටේ බෙදාහැරීම, අවුරුදු උදාව, නොනගතය, ළිප ගිනි මෙළවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, නැකැතට ගමන් ආරම්භය සිදු වෙයි. කිරි ඉතිරවීම, කිරිබත් පිසීම, ඉසතෙල් ගෑම, ආයුර්වේද බලපෑම පෙන්වයි. මහනුවර යුගයේදී සෙංකඩගල නාථ දේවාලයේ සිට ඉසතෙල් බෙදා හැරීම සිදු විය. නාථ දෙවි රෝග සුව කිරීමේ බලයක් ඇතැයි විශ්වාසයක් විය.

මේ අනුව අවුරුදු උලෙළ පැරැණි ඉන්දියාවේ ආර්යයන් සමඟ ලංකාව‍ට අවුත් දේශීය පදිංචිකරුවන්ගේ චාරිත්‍ර සමඟ මිශ්‍ර වී අස්වැන්න නෙළාගත් පසු ස්වභාව ධර්මය හා දේවත්වයෙන් පිදූ ස්වභාව ධර්මයට උපහාර පිණිස ජ්‍යොතිෂය හා ආයුර්වේදය සමඟ එකතු වී ඇරැඹුණු උලෙළකි. විවිධ බලපෑම්වලට වෙනස් වෙමින් අදත් එම උත්සවය පවතී.

අදහස්