විදුලියේ අර්බුදය විසඳන හැටි | Page 2 | සිළුමිණ

විදුලියේ අර්බුදය විසඳන හැටි

  • අදියර තුනක් යටතේ විසඳුම්
  • අතිරේක විදුලි බලාගාර තුනකින් මෙගා වොට් 100ක්
  • අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය වැදගත්
  • 2030 වනවිට 50‍%ක් විදුලිය පුනර්ජනනීය බලශක්තියෙන්

විදුලිය අර්බුදය‍ හමුවේ පීඩාවට පත් වී සිටින ජනතාව එයින් මුදාගැනීමට කඩිනම් විසඳුම් ලබාදීමට රජය පියවරගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අනුව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, පසුගිය දහවනදායින් පසුව රටේ කිසිදු තැනක කිසිදු අයුරකින් විදුලිය කප්පාදු නොකරන බවයි.

විදුලිය අර්බුදය විසඳීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා දැයි සොයා බලන්නට අපි කටයුතු කළේ කාගේත් අවධානය ඒ පිළිබඳ යොමුව පවතින නිසයි.

මේ සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසීමක දී අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගත්තත් එය ජනතාවට බරක් නොවන ලෙස සිදු කිරීමට කටයුතු කරන බවයි.

“මේ වනවිට අදියර තුනක් යටතේ විසඳුම් ලබාගැනිමට අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙසයි. දැනට සිදු කෙරෙන විදුලිය කප්පාදුව නැවැත්වීමට නම් මෙගාවොට් 500ක 600ක පමණ විදුලිය ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කළ යුතුයි. අමතර විදුලිය මිලදී ගැනිම යටතේ එම ප්‍රමාණය මිල දී ගැනීමට නියමිතයි. ඒ අනුව දිගු කාලීනව ජාතික පද්ධතියට මෙගාවොට් තුන්දහසක් තුන්දහස් පන්සීයක විදුලිය ධාරිතාවයක් එක් කර ගැනීමටත් මධ්‍ය කාලීන විසඳුම් ලෙස අලුත් වැඩියා කළයුතු විදුලිබලාගාර නිසි ලෙස ක්‍රියාත්මක කරවීමටත් පියවර ගෙන තිබෙනවා“

“ කෙටිකාලීන විසඳුම් අතර පවත්නා විදුලිය හිඟයට පිළියම් ලෙස මෙගාවොට් 51ක ධාරිතාවයක් සපුගස්කන්ද ඒසියා පවර් පුද්ගලික බලාගාරයෙනුත් මෙගා වොට් 20ක් මාතර ඒ.එස් බලාගාරයෙනුත් ලබාගන්නට කටයුතු කර තිබෙනවා.

ඊළඟට මෙගා වොට් 100ක් අතිරේක විදුලි බලාගාර තුනකින් ලබාගන්නට සැලැසුම් කර අවසන්. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පල්ලේකැලේ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් සහ ගාල්ල ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් ඒකකයක් රුපියල් 30.63ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් රාජධානියේ Aggreco International Project Ltd වෙතත්, මහියංගණය ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 10ක විදුලි ධාරිතාවක් ඒකකයක් රුපියල් 30.58ක මුදලකට සහ පොලොන්නරුව ග්‍රිඩ් උප‍පොළ සඳහා මෙගා වොට් 8ක විදුලි ධාරිතාවක් ඒකකයක් රුපියල් 30.63ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Altaaqa Alternative Solution Global FZE වෙතත්, හම්බන්තොට ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් ඒකකයක් එකක් රුපියල් 28.43ක මුදලකට හා හොරණ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් ඒකකයක් රුපියල් 28.70ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව හොංකොංහි V Power Holdings Ltd වෙතත් මාස හයක කාලයක් සඳහා පරිනැමීමට නියමිත යි.

ඒ වගේම ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. රටේ පෞද්ගලික හා රාජ්‍ය ආයතන සතුව තිබෙන ජෙනරේටර් මඟින් තම විදුලිය අවශ්‍යතා ඒ ආයතනවලට සපුරා ගන්න කියා අගමැතිතුමා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ඒකකයට රු.36ක මිලක් අපි ගෙවනවා. ඒ වගේම ජනතාවට අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කිරිම ගැන දැනුම්වත් බවක් අපි ලබාදෙනවා. මේ ඔස්සේ තමයි කෙටිකාලීනව මේ අර්බුදයට රජය විසඳුම් සොයා තිබෙන්නේ.

ඒ වගේම දිගුකාලීන ජනන සැලසුමට අනුව බලාගාර ඉදි කරන්න මේ වන විටත් අපි කටයුතු කර තියෙන්නේ. ඒ සඳහා තාක්ෂණික පරීක්ෂා හා පරිසර ආරක්ෂණ උපායමාර්ග අනුගමනය කරන්න අවශ්‍යයි. එයට යම් කාලයක් ගතවෙනවා. මේ වන විටත් මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කර අවසන්. එහි ඉදිකිරීම් කටයුතු 2020 වර්ෂයේදී අවසන් වෙනවා. ඒ වගේම පුනරීන් සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවලත් මෙගාවොට් 100ක සූර්ය බලාගාර ඉදි කරනවා.”

පසුගිය දා කැනඩා රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදි කිරීමට ගිවිසුම් අස්සන් කර තිබේ. ඒ ඉදිරියේ දී ඇති වීමට තිබූ විදුලිය අර්බුදයේ අඳුරු සෙවණැල්ලෙන් පීඩාවට පත්වන්නට සිටි ජනතාවට යම් ආකාරයක විදුලිය පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ලබා දෙමිනි. කැනඩා රජය නියෝජනය කරමින් කැනඩා කෝපරේෂන් සමාගමේ ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා Yvonne Chin මහත්මියත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතාත් අදාළ ගිවිසුමට අස්සන් තැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ය. එහි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේ මේ වසරේ නොවැම්බර් වන විට එම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්නට බලාපොරොත්තු වන බවත් ඒ අනුව නොවැම්බර් සිට ජාතික විදුලිබල පද්ධතියට අලුතෙන් මෙගාවොට් 100ක් එක් කිරීමට හැකියාව ඇති බවත්ය.

“මීට වසර 30කට පෙර තමයි කැනඩා රජයේ ආධාර මත මාදුරුඔය බලාගාරය ඉදි කළේ. ජනාධිපතිතුමාගේ ඉල්ලිමක් මත මාදුරුඔය පාවෙන සූර්ය බලාගාරයක් ඉදි කිරීමට පියවරගෙන තිබෙනවා. ලංකා විදුලියබල මණ්ඩලය සමඟ සාකච්ජා කර එම පාවෙන විදුලි බලාගාරය ඉදි කිරීමේ හැකියාව අපිට ලැබී තිබෙනවා“

මහවැලි ආර්ථික කලාපයන්හි පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා යෝජනා කැදවීම යටතේ ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩලය සංදේශය සලකා බලමින් 2017 පෙබරවාරි විසිඅට දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් එම පාවෙන සූර්ය බලාගාරය ඉදිකිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. මේ වන තෙක් ශ්‍රී ලංකාවේ එවැනි සූර්ය බලාගාර ඉදි වී නැති අතර මේ වන තෙක් විදුලිය ගබඩා කිරිමේ තාක්ෂණය (Battry Storage) යොදාගෙන ක්‍රියා කරන සූර්ය විදුලි බලාගාර ඉදි කිරීමක්ද සිදු වී නැත. කැනඩා රජයට අයත් Canadian Commercial Corporation සහ Canadian Solar සමාගම කර ඇති යෝජනාවට අනුව බැටරි තාක්ෂණයට අනුව විදුලිය ගබඩා කර රාත්‍රී කාලයේ උපරිම විදුලිය ඉල්ලුමක් ඇති කාලසීමාවේ දී ගබඩා කර ඇති විදුලිය යොදාගත හැකි බැවින් දැනට රාත්‍රී කාලයේ දී සහ සවස් කාලයේ දී අධික ඉල්ලුමක් ඇති අවස්ථාවල විදුලිය ලබාගැනීම සඳහා මිල අධික ඩීසල් ජනන යන්ත්‍ර යොදාගැනීමෙන් ලංවිමට ඇති වන මූල්‍යමය පාඩුව වළකාගත හැකි වන බව පැවැසේ. අදාළ ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර පන්සීයකට ආසන්න ඉඩ ප්‍රමාණයක් යොදාගැනීමට නියමිතය.

එම ප්‍රමාණය ජලාශයේ සම්පූර්ණ වපසරියෙන් සියයට 4කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඒ අනුව ප්‍රදේශ කිහිපයක ඉදි කෙරෙන පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘති මඟින් 2030 වසර වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවෙන් 50‍%ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට නියමිත අතර, ප්‍රථම මෙගා වොට් 10ක ධාරිතාවයක් නොවැම්බර් මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමටත් 2020 සැප්තැම්බර් අවසන් වන විට මෙගා වොට් 100ක සම්පූර්ණ ධාරිතාව ඉදි කර අවසන් කිරීමටත් යෝජිතය.

රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වී විදුලි අවශ්‍යතාව සියයට 5කින් පමණ ඉහළ යෑම නිසා සෑම වර්ෂයකම රටේ විදුලි පරිභෝජනය මෙගාවොට් 150 – 200 වැඩි වේ. ඉදිරි විසි වසර ඇතුළත ශ්‍රී ලංකාවේ විදුලි‍ ඉල්ලුම සියයට 7 සිට 10 දක්වා ප්‍රමාණයෙන් ඉහළ යනු ඇති බවට බලශක්ති විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. එම නිසා විකල්ප බලශක්තිය කෙරෙහි යොමු වන්නේ නම් එය විදුලිය අර්බුදයේ හෙට දිනයට වඩාත් යෝග්‍ය විසඳුමක් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

Comments