මාතලේ පහළ වුණ ස්වේද­ගොන් චෛත්‍යය | Page 2 | සිළුමිණ

මාතලේ පහළ වුණ ස්වේද­ගොන් චෛත්‍යය

තමන්ගේ උපන් දිනය සැමට සතුටු විය හැකි, ආදර්ශවත් ලෙසින් සමරන්නට හැකි නම් එය මහාත්ම වූ භාග්‍යයකි. එවන් සැමරුමක් අපි පසුගිය දා දුටුවෙමු. ඒ මාතලේ දීය. ඒ ජන්මෝත්සව සැමරුම කළෝ ලෝක බෞද්ධ සංඝ සභාවේ මහා ලේකම් ධුරය දරන ශ්‍රී ලාංකික හිමිනමක් වූ මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණෝය. උන් වහන්සේ වැඩ වාසය කරන්නේ මියන්මාරයේය. තම උපන් දින සැමරුම වෙනුවෙන් ලක්වාසීන්ට මියන්මාරයේ සුප්‍රසිද්ධ ස්වේදගෝන් චෛත්‍යයේ අනුරුවක් තනා දෙන්නට උන් වහන්සේට අවශ්‍ය විය.

මියන්මාර බෞද්ධයින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව සලකනු ලබන්නේ එරට යැන්ගුන් නගරයේ පිහිටි ස්වේදගොන් මහා ථූපයයි. ඒ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත් කේශ ධාතුන් වහන්සේ නිධන් කර ස්වේදගෝන් ථූපය කළ බවට පවතින විශ්වාසය නිසාය. බුරුම ජාතිකයින් එයට දක්වනු ලබන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට දක්වනු ලබන සැලකිල්ලකි.

උන් වහන්සේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙළේ වසර කිහිපයකට පෙර සිටය. ලක්වාසීන්ට ස්වේදගෝන් චෛත්‍යයේ අනුරුවක් තනා දෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන්නැයි උන් වහන්සේ මියැන්මාරයේ යොන්ගොව් හි අවුන්ෂාබු ටාව්යා විහාරයේ මහා සද්ධම්ම ජෝතික ධජ පන්ඩවොන්ත සියදෝ හිමියන්ගෙන් ඉල්ලීමක් කළහ. මියන්මාරය ශ්‍රී ලංකාවටත් වඩා ආර්ථික අතින් පහළ මට්ටමක සිටින රටක් වුවද මේ කාර්යය සඳහා දායකත්වය දැක්වීමට ඒ හිමියෝ කැමැති වූහ.

මාතලේ උකුවෙල බලකඩුව පන්සල්තැන්න ප්‍රදේශයේ අනුරුධ අරණේ එහි ඉදි කිරීම් ආරම්භ වූයේ ඒ අනුවය. මියන්මාර කලා ශිල්පීන් 6 දෙනකු පැමිණ ස්වේදගෝන් චෛත්‍යයේ අනුරුව සෑදීම ආරම්භ කළහ. දාගැබ ෂඩස්‍රාකාරය. පේසා වළලු 6කින් හා පරිවාර චෛත්‍යය 6කින් යුක්තය.

බුරුමයේ අතීතයේ සිට පවත්වාගෙන එන විශේෂ ආරක්ෂකයෝ බුරුම මුරායුධ ගෙන චෛත්‍යය වටේම මුර කරමින් සිටිති. චෛත්‍යය ඉදිරිපිටින් ඇති කුටියේ සැකසූ මලසුන් ගෙවල්ද චෛත්‍යයේ මෙන් අලංකාර කැටයමින් යුක්තය. ඒවායේ වහල ඉහළට යන්නට සිහින් වන ආකාරයේ කැටයම්වලින් යුක්තය.

කැටයම් සංකීර්ණ බවක් පෙන්නුම් කළද පැයක් දෙකක් වුව එදෙස බලා සිටින්නට හැකිය. ඒ සංකීර්ණ කැටයම් එකින් එක එවිට අවබෝධ කරගත හැකිය. අපට නුහුරු මේ චෛත්‍යය සම්ප්‍රදාය අපට හුරු බව හඟවන්නේ ඊට ඉහළින් බෝධීන් වහන්සේත් ඊට පහළින් පිළිම රැසක් ඉදි කර ඇති නිසාය. ස්වේදගෝන් චෛත්‍යයේ අනුරුව මියන්මාරයේ අනෙක් චෛත්‍යය මෙන් රන් පාටින් අලේප කර ඇත.

බුරුම - ලංකා මවුපිය ගුණ සෑය (බුරුම ලංකා අන්ෂබු සෑය) නමින් නම් කළ මේ ථූපය අනුරුද්ධ නා හිමියන්ගේ 55 වන ජන්ම දිනය යෙදුණු පසුගිය 14 වැනිදා ජනතාවගේ වන්දනාමානයට පත් කරන ලදි. ඒ සඳහා විදෙස් රටවලින් පමණක් සිය ගණනක් භික්ෂූන් වහන්සේ සහ නියෝජිතයෝ පැමිණ සිටියහ. මහා විවෘත කිරීමේ උත්සවයට සියලු නිකායික අනුනාහිමිවරුන් වැඩම කර සිටියහ.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාතලේ ශ්‍රී ධම්මකුසල නාහිමි මෙන්ම මැලේසියාවේ ප්‍රධාන සංඝනායක බූටාවත්තේ ශ්‍රී සරණංකර හිමියෝද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුනායක යහලගමුවේ ධම්මිස්සර නාහිමියෝද මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

එසේම ලෝක එක්සත් බෞද්ධ සංඝ සභාවේ උපසභාපති හා ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ඕස්ට්‍රේලියා සභාපති ඔල්ඩර් ගුරු වජිර ලොන් සෙන් හිමියෝද, ලෝක බෞද්ධ පෙරමුණේ සභාපති පෝර්න්චාල් පාලවධම්මෝ හිමියෝද ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සභාපතිනි ෂින් කුවාන් තායිවාන් මෙහෙණියෝද මේ අවස්ථාවට සහභාගි වූහ.

එමෙන්ම බුරුමය, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව, බංග්ලා දේශය, ජපානය, තායිලන්තය, තායිවානය ඇතුළු රටවල් රැසක නියෝජිතයෝ පැමිණ සිටියහ. බුරුමයේ ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක, උතුරුමැද මහ ඇමැති සරත් ඒකනායක මහතාද මේ උත්සවයේ විශේෂ ආරාධිතයන් වුවත් ඔවුහු එහි වැඩ කටයුතු සියල්ල සොයමින් කටයුතු කළහ.

චෛත්‍යය නිරාවරණය කරන ලද්දේ බුරුම සම්ප්‍රදායානුකූලව චෛත්‍යයට පුෂ්පෝපහාර මෙන්ම පලතුරු පූජාවන්ද සිදු කරමිනි. ලෝක බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් ධුරය දරමින් මුගුණුවෙල අනුරුද්ධ හිමියන් සිදු කළ මෙහෙය අපමණය. අපට බුරුම සම්ප්‍රදායයේ චෛත්‍යයක්, විශේෂයෙන්ම ස්වේදගෝන් චෛත්‍යයේ අනුරුවක් අපට උරුම වූයේ උන් වහන්සේගේ අප්‍රතිහගත ධෛර්යය නිසාමය. ඒ උදෙසා උන් වහන්සේ කිසිදු ප්‍රචාරයන් බලාපොරොත්තු වූයේ නැත.

 

අදහස්