කුඩ්ඩන්ට හැමදාම අවුරුදු ද? | සිළුමිණ

කුඩ්ඩන්ට හැමදාම අවුරුදු ද?

  • ලොකුම ජාවාරම කරන්නෙ ප්‍රභූ වෙස් ගත් පුද්ගලයෝ
  • ඔවුන් ගෙන්වන කුඩු ප්‍රමාණය මධුෂ්ලා ගෙන්වන ප්‍රමාණයටත් වඩා වැඩියි
  • ලංකාවේ කුඩු ගණන් වැඩි හින්දා අසල රටවල ජවාරම්කාරයොත් ලංකාවට ඇවිත් කුඩු විකුණනවා
  • වැඩි කුඩු ප්‍රමාණයක් ගෙනෙන්නෙ ප්‍රතිඅපනයනයට
  • රට වටේ මුහුද නිසා ධීවර යාත්‍රාවලින් රට ඇතුළට කුඩු එ්ම නවත්වන්න බෑ

පසුගිය වර්ෂය මෙතෙක් මෙරටින් වැඩිම හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගත් වර්ෂයයි. ඒ කිලෝග්‍රෑම් 736ක ප්‍රමාණයකි. එහෙත් මේ වර්ෂයේ ගතවූ මාස තුනකට ආසන්න කාලයේදී පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 840ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය වැටලීමෙහිලා දිවා රෑ නොබලා කටයුතු කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රමුඛ සියලු ආරක්ෂක අංශ සමත් විය.

මෑත කාලයේ කෙතරම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනුණ ද රට තුළ මත්කුඩුවල අඩුවක් නම් නැති බවකි. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකා දත්තවලට අනුව මත්කුඩු උරන මෙරට සිටින ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයට ඕනෑ තරම් මත්කුඩුද රට තුළ තිබෙන බවකි. සාමාන්‍යයෙන් මත්කුඩු තොග පිටින් අත්අඩංගුවට පත් වෙද්දී රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් වී මත්ද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගොස් මත්කුඩු පානය කරන්නන්ද නන්නත්තාර විය යුතුය. එහෙත් රටේ තවමත් එවන් තත්ත්වයක් නැති බව මත්ද්‍රව්‍ය වැටලීම්හි නිරතව සිටින නිලධාරින්ගේ මතයයි.

"කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. රට වටේටම තියෙන මුහුදේ සැරිසරන දහස් ගණනක් වන ධීවර යාත්‍රාවලින් ඕනෑ තරම් මත්ද්‍රව්‍ය රට තුළට එනවා. හරියටම ඔත්තු ලැබෙන වැටලීම්වලින් තමයි පහුගිය කා‍ලයේම ජාවාරම්කරුවන් කොටු කරගත්තේ. හෝඩුවාවක් නැතිව පැය විසිහතරේම රට වටේ ආරක්ෂාව තර කරමින් වැටලීම් කිරීම ප්‍රායෝගිකව අපහසුයි. ඒ හිඩැසෙන් තමයි ජාවාරම්කාරයෝ තවමත් යහතින් ජාවාරම කරමින් සිටින්නෙ" යැයි වැටලීම්හි නිරත පොලිස් නිලධාරියෙක් කීවේය.

පසුගිය දිනවල කිලෝ ගණනින් ගෙනෙන ලද හෙරොයින් තොග බොහෝමයක් මෙරට පාවිච්චියට නොව ප්‍රතිඅපනයනයට ගෙනෙන ලද මත්ද්‍රව්‍ය බවට සැක කරයි. ඒ අතරේ අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් මාකඳුරේ මධුෂ්ගේ බවට කීවත්, මධුෂ් යනු මෙරටට මත්ද්‍රව්‍ය ගෙනෙන චරිත අතර තවත් එක් අයෙක් පමණි. රටපුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීමට දෙතුන් සියයක පිරිසක් මධුෂ් සතුව සිටියත් මධුෂ්ට, ඔහුටම කියා වෙන්වූ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කලාපයක් වෙන් වී තිබී නැත.

කංජිපාන ඉම්රාන් යනු කොළඹ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම යහමින් කළ අයෙකි. ඔහු පසුගිය දිනෙක කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කර තිබුණේ තමා සිය ගෝලයන් යොදවමින් මෙරට තුළ මසකට හෙරොයින් කිලෝග්‍රෑම් අටක් විකිණු බවයි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබලයන් ලෙස සිද්දික්, සියාම් බාතික්, මෑතකදී හඳුනාගත් රහීම් නමැත්තා, කිඹුලාඇළ ගුණා, දෙවුන්දර චමිල්, මාලිගාවත්තෙ කුඩු ලාල්, කොස්ගොඩ සුජී, වෙලේ සුදා, කිරුළපන මොරිල්, කොස්ගොඩ සුජි, වැනි මෙකී-නොකී බොහෝ දෙනෙක් සිටිති. එසේම නමින් ප්‍රචලිත ජාවාරම්කාරයන්ට අමතරව ප්‍රභූ වෙස්ගෙන ආගමික ස්ථානවල ගැවසෙමින් සමාජයට 'හොඳ' නම පෙන්නාගෙන සිටින පිරිසක්ද මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත.

එහෙත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට තවමත් නොහැකිව ඇත්තෙ එම පිරිස් මත්ද්‍රව්‍ය සමඟ ගනුදෙනු කරන්නෙ ‘ඉත්තන්, යොදා ගනිමිනි. එසේම ඔවුන්ව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ආයෝජනය කරන්නෙද විදේශවල බවට සැලවේ.

"ඒ පුද්ගලයන් ඔය නම් කියැවෙන ජාවාරම්කාරයන් හා සසඳද්දි ඔවුන්ටත් වඩා මහා පරිමාණ ජාවාරම්කාරයෝ. හඳුනාගෙන හිටියත් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් එනකල් සිටිය යුතුයි." ඒ මත්ද්‍රව්‍ය වැටලීම්හි නිරත බුද්ධි නිලධාරියෙකු කී කතාවයි.

පසුගිය සමයේ ඇතැම් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමටද පොලිස් නිලධාරින්ට හෝඩුවාවන් ලැබී තිබුණේ තවත් එවැනිම ජාවාරම්කාරයන්ගෙන් බවට සැලවේ. පොලිසිය පවසන්නෙ කවුරුන් ජාවාරම සිදු කළද අවස්ථාව ලැබුණු සැණින් අත්අඩංගුවට ගැනීම සිදු කරන බවය. මීට අමතරව පසුගිය දිනවලදී මෙරටින් විදේශීය ජාවාරම්කරුවන් රැසක්ද අත්අඩංගුවට පත් වූයේ මත්ද්‍රව්‍ය තොග සමඟිනි. ඉන් පිළිබිඹු වන්නේ විදේශිය ජාතිකයන් අතරද මත්ද්‍රව්‍ය ජාවාරමට මෙරට හොඳ තෝතැන්නක් බවට පත් වී ඇති බවයි.

ඒ අනුව අනාවරණය වන්නේ මෙරට තුළ අවට රටවල් හා සසඳන කල මත්ද්‍රව්‍යවලට ඉහළ මිලක් ඇති බවයි. පසුගියදා අත්අඩංගුවට පත් බංග්ලාදේශ ජාතිකයන් අනාවරණය කර තිබුණේ ලංකාවේ මිල ගණන් ඉහළ හෙයින් මත්ද්‍රව්‍ය ජාවාරමට මෙරටට පැමිණි බවයි.

පාකිස්තානයේ, ඉන්දියාවේ, බංග්ලාදේශය වැනි රටවල ලක්ෂ පහ, හය වැනි මුදලකට අලෙවි වන හෙරොයින් කිලෝවක් මෙරටදී තොග ලෙස විකුණනු ලබන්නෙ රුපියල් ලක්ෂ තිස්පහ, හතළිහ වැනි මිලකටය. එහෙත් බංග්ලාදේශ ජාතිකයන් විකුණා තිබුණේ කිලෝව ලක්ෂ 25කට වැනි මිලකටයි. එසේ මත්ද්‍රව්‍ය අඩු මිලකට විකිණීම නිසා ඔවුන්ගේ ජාවාරම කොටු කර දී තිබුණේද මෙරට ජාවාරම්කරුවන් බුද්ධි නිලධාරින්ට ඔත්තු දීමෙනි.

කෙසේ හෝ පැරසිටමෝල් වැනි දෑ කළවම් කොට හෙරොයින් කිලෝව, කිලෝ එකහමාරකට පමණ වැඩි කොට මිලිග්‍රෑම් පනහ, විසිපහ ලෙස පැකට් කොට හෙරොයින් කිලෝවක් විකුණන්නෙ රුපියල් එක්කෝටි තිස්ලක්ෂයකට, හතළිස් ලක්ෂයකට වැනි මුදලකට බවට සැල වේ. කොළඹ සහ අවට පෙදෙස්වල මිලිග්‍රෑම් පනහේ පමණ පැකැට්ටුවක 'බජාර්' එකේ මිල රුපියල් දහසක් වේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන්, ජාවාරම්කරුවන් කෙතරම් ආදායමක් උපයන්නෙ ද යන්න පැහැදිලි වේ.

කන්නයකට ටොන් හත්දහසක් පමණ නිපදවමින් ලොව වැඩිම හෙරොයින් නිෂ්පාදිත රට ලෙස සැලැකෙන්නෙ ඇෆ්ගනිස්ථානයයි. ඇෆ්ගනිස්ථානයේ සිට ජාවාරම්කරුවන් හෙරොයින් ලොව පුරා බෙදාහරින මාර්ග තුනක් ඇති බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන යූඑන්ඕඩීසීය හඳුනාගෙන තිබේ. උතුරු මාර්ගය, බෝල්කන් මාර්ගය සහ දකුණු මාර්ගය ලෙස හැඳින්වෙන එම මාර්ග තුනෙන් උතුරු මාර්ගය සහ බෝල්කන් මාර්ගය ගොඩබිමින් සහ ගුවනින් වේ. අප රට පිහිටා තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සිට හෙරොයින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් බෙදාහැරෙන දකුණු මාර්ගයෙහිය.

ඇෆ්ගනිස්ථානයේ සිට පාකිස්ථානයට ගෙනෙන මත්ද්‍රව්‍ය එතැන් සිට විශාල නැව් මාර්ගයෙන් මුහුද මැදට ගෙනැවිත් පසුව කුඩා බෝට්ටු, ට්‍රෝලර් මඟින් රට තුළට ගෙනෙන බවට හඳුනාගෙන ඇත. එසේ මුහුද මැදදී මත්ද්‍රව්‍ය ජාවාරමේ ගනුදෙනුව සිදු වන විටදී මෙරට ජාවාරම්කරුවන්ගේ කිහිපදෙනෙකු පාකිස්ථානයට යා යුතු වේ. ඒ නිසි පරිදි මුදල් ගෙවා ජාවාරම සිදු වන තෙක් එසේ පාකිස්තානයට යන පුද්ගලයෝ පාකිස්තාන ජාවාරම්කරුවන් විසින් ප්‍රාණ ඇපයට තබාගනු ලබති. යම් හෙයකින් ගනුදෙනුව නිසි පරිදි සිදු නොවුවහොත් ප්‍රාණ ඇපයේ තබාගන්නා පුද්ගලයන්ට අත්වන්නෙ මරණය බව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඇතුළාන්ත කතාවලින් හෙළි වේ.

එසේම මෙරටට ගුවන් මඟින් සහ කන්ටේනර්වල බහාලමින්ද මත්ද්‍රව්‍ය රැගෙන එන බවට වාර්තා වේ. මෑත කාලයේ අප රට තුළ මත්ද්‍රව්‍ය තොග පිටින් හසු වූවත් අප අවට රටවල් හා සසඳන කල මෙරට තුළ මත්ද්‍රව්‍ය භාවිතය අඩු තත්ත්වයක පවතින බව පෙනේ. සාමාන්‍යයෙන් දැනට හඳුනාගෙන ඇති ආකාරයට මෙරටේ දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිටින්නේ පනස්දහසකට අඩු ප්‍රමාණයකි. එහෙත් පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල මත්ද්‍රව්‍ය පාවිච්චි කොට ඇතැම් පෙදෙස්වල සිය ගණන් දෙනා වැටි සිටිනු දක්නට හැකි බවට යූඑන්ඕඩීසීය අනාවරණය කරයි. එහෙත් මෙරට තිබෙන දැඩි නීතිරීති හා ආරක්ෂක අංශවල දැඩි සෝදිසිය නිසා මත්ද්‍රව්‍යවල මිල ගණන් ඉහළය. එම නිසා ජාවාරම්කරුවන්ද මෙරටට ඇදි එන්නෙ වැඩි ආදායමක් ලබා ගැනීමට ය.

Comments