මගේ පෙම්වතා කව­දා­වත් කලාවේ කෙනෙක් වෙන්නේ නැහැ : ගීත්මා බණ්ඩාර | සිළුමිණ

මගේ පෙම්වතා කව­දා­වත් කලාවේ කෙනෙක් වෙන්නේ නැහැ : ගීත්මා බණ්ඩාර

 මොන වෘත්තිය කළත් කලාව

අත්හරින්නෙ නෑ

සංගීතේට මුළු කාලයම වැයකළා

මෙදා පාර අවුරුදු ජයයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය අදයි. ලක්වාසී සියලු දෙනාම සතුටෙන්, ප්‍රීතියෙන් ගෙවන දිනයක් ලෙසත් අද දවස හඳුන්වාදිය හැකියි. ඉතින් මේ ලස්සන දවස තවත් ලස්සන කළ හැකි රංගන ශිල්පිනියක් මෙවර ‘රසඳුන‘ තුන්වැනි පිටුව හැඩ කරන්නට එක්කර ගන්නට සිතුවා. ඇය පසුගිය වසරේ හිරු අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානය ලබා කලාවට පා තැබූ රංගන ශිල්පිනියක්. නිහතමානී ලෙස කලාවේ දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් සිටින ඇය ගීත්මා බණ්ඩාර

සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔබටත්, රසඳුන පාඨක ලක්වාසී සියලු දෙනාටත් සාමය, සතුට , සැනසුම පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

මෙවර අවුරුදු ජයයිද?

මේ පාර අවුරුද්ද ජයයි.

විශේෂ හේතුවක් නිසාද ?

හේතුව සංගීතේ ටෙලි නාට්‍යය. පාරේ ගියත් ගොඩක් අය ළඟට ඇවිත් ඔයා නේද අසෙනි කියල අහනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ සතුටත් සමඟ තමයි මෙවර අවුරුදු ගෙවන්නේ.

'සංගීතේ' ඔබේ පළමු ටෙලි නාට්‍යයද ..

නැහැ. ඊට පෙර 'අහස් මාලිගා' ටෙලි නාට්‍යයේ තරු කියන චරිතය රඟපෑවා. ඉන් පසු 'නීල පබළු' ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඔය අතර කාලයේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා.

'සංගීතේ' ටෙලිනාට්‍යයට අමතරව මොනවද කරන්නෙ..

වෙන නිර්මාණ කිසිවක් භාරගත්තෙ නැහැ. 'සංගීතේ' ට තමයි මූලිකත්වය දීලා මුළු කාලයම වැය කරන්නේ.

ගීත්මා කලාවට එන්නේ අවුරුදු කුමරියක ලෙසින්..

ඔව්. පසුගිය වසරේ හිරු නාළිකාව පැවැත්වු අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානය ජයග්‍රහණය කළේ මමයි. ඉන් පසුව තමයි කලාවට එන්න අවස්ථාව ලැබුණේ.

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?

2016 සිට රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටියා. හිරු අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය ලබන්නෙ 2018 වසරෙදි. එම ජයග්‍රහණය රංගනයට පිවිසෙන්න බෙහෙවින් බලපෑවා. රංගනයට ඇවිත් තවම අවුරුද්දක් වුණාට මේ කාලය තුළ ගොඩක් දෙනෙක් හඳුනා ගත්තා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

රඟපෑවට ගීත්මගේ බලාපොරොත්තුව වෙන වෘත්තියක්..

ඔව්. නීතිඥවරියක වෙන්නයි බලාපොරොත්තුව.

ඒ කියන්නෙ ගීත්මගෙ රංගනය දකින්න ලැබෙන්නෙ තව ටික කාලයයි..

නැහැ. නීතිඥවරියක් වුනත් කවදාවත් කලාවෙන් ඈත්වෙන්නෙ නැහැ. කලාව කියන්නෙ හරිම සුන්දර තැනක්. ගෙවුණු වසරේදි එය හොඳින් වැටහුණා. ඉතින් මොන වෘත්තියක නියැළුණත් කලාවෙන් ඈත්වෙන්න අදහසක් නැහැ.

කුඩා කාලයේ සිටමද රංගන ශිල්පිනියක වෙන්න හීන මැව්වේ..

අපෝ නැහැ. මම සා.පෙළ ලියල උ. පෙළ හදාරන්න හොරණ ශ්‍රීපාලි විදුහලට ඇතුළත් වුණා. උ. පෙළට කළේ ගණිත විෂයයන්. පාසලේදි කළෙත් චිත්‍ර විෂය. කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවුණේ නැහැ. මගේ පුංචි අම්මා තමයි හිරු අවුරුදු කුමරිය තරගයට අයැදුම්පතක් යොමු කළේ. ඒකටත් මම ගියේ අලුත් අත්දැකීමක් ලබා ගැනීමට තිබෙන ආසාවට සහ පුංචිගෙ බලකිරීම නිසයි.

අදත් අලුතෙන් අවුරුදු කුමරියන් තේරෙන දවසක්. මොනවද ඔවුන්ට කියන්න තියෙන්නේ..

තමන්ගේ ජයග්‍රහණයේ සතුට නිහතමානීව පිළිගන්න. කලාවට පිවිසෙනවා නම් කලාව කියන්නේ සුන්දර තැනක්, නිහතමානී වන්න, හොඳ නිර්මාණවලට දායකවෙන්න කියලා.

පෙම්වතාවත් මතක් කරමුද ?

මතක් කරන්න තවම පෙම්වතෙක් නැහැ.

ඔහු කලාවේ කෙනෙක් වුණොත්..

කවදාවත් නෑ. මගේ පෙම්වතා කවදාවත් කලාවේ කෙනෙක් වෙන්නෙ නැහැ. මම කැමති නැහැ දෙන්නම එකම වගේ කාර්යබහුල වෙනවට.

අතදුන් පිරිස සිහිපත් කරමු..

මගේ අම්මා, තාත්තා, මල්ලී. ඒ වගේම පුංචි කාලෙ සිට මම හැදුණෙ පුංචියි, බාප්පයි ළඟ. එයාල තමයි මට ළඟින් සිටිමින් ගුරුහරුකම් දෙන්නේ.

සංගීතේ ටෙලිනාට්‍යය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ සඳහා මට අවස්ථාව ලබාදුන් සංගීතේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, දෙරණ සභාපතිතුමා, චාමිකා, චරිත්, ප්‍රභාත් චතුරංග, සමන් එදිරිමුණි වැනි කලාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය ආදරයෙන් සිහිපත් කරනවා.

අනාගත බලාපොරොත්තු..

අනාගතයේ දක්ෂතම රංගන ශිල්පිනිය වෙන්න තමයි බලාපොරොත්තුව. 

 
 

Comments