අලුත් අවුරුද්දේ අර්ථය තේරුම් ගනිමු | සිළුමිණ

අලුත් අවුරුද්දේ අර්ථය තේරුම් ගනිමු

අලුත් අවුරුද්ද නමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළෙඳපොළ යන්ත්‍රණයේ පරිභෝජනවාදි මතවාදයට ගැතිව ඇති කලෙක එහි ගැඹුරු හරය තේරුම් ගැනීම පිණිස අපගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අලුත් අවුරුදු පණිවිඩයෙන් කියා සිටී. ඒ පණිවිඩයේ මෙසේද දැක්වේ:

මිහිතලය මත ජීවයේ පැවැත්ම පිණිස හිරු–සඳු නමැති සාධක අතිශය තීරණාත්මක වූ හෙයින් දුරාතීතයේ සිටම මිනිස්සු මේ ග්‍රහවස්තු යුගලයට බැතියෙන් වන්දනාමාන කළහ. සොබාදහම දේවත්වයෙන් සැලකීම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රජුන්ගේද පිළිවෙත විය. මේ අනුව වාර්ෂිකව හිරු–සඳු වන්දනා කිරීමට මෙරට ජනතාව අවුරුදු සමයෙහි පෙලඹුණහ. වාර්ෂිකව බක් මාසයේ හිරුගේ මුදුන්වීම උත්සවශ්‍රීයෙන් සමරන සිංහල හා දෙමළ ජනතාව, නව වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයද ඉටු කරති.

වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමඟ එළැඹෙන අලුත් අවුරුද්ද යනු මිනිසා, පරිසරය හා සොබාදහම වන්දනය කි‍රීමේ උලෙළකි. අස්වනු නෙළා ගෙට ගැනීමෙන් අනතුරුව බුදුන්ට, දෙවියන්ට පූජා කොට, ඉන් පසු පරිභෝජනයට ගන්නා මෙසමය සැබැවින්ම සන්තුෂ්ටියේත්, සාමූහිකත්වයේත්, අන්‍යොන්‍ය සම්බන්ධතා වර්ධනයේත් සමය ලෙසද, ජනතාව ස්වකීය ජාතික අනන්‍යතාව ප්‍රකාශ කරන අවස්ථාවකි.

ස්වභාව ධර්මයේම දරුවන් වන අපි එය අපට බැහැරින් ඇති යමක් ලෙස සලකා ඊට අවහිර කෙළෙමු. දැන් අප එළැඹ සිටිනුයේ සොබාදහම සමඟ ඒකාත්මික වීමේ අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන මොහොතක් වෙතය. මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විඳිමින්, ජාතික අපේක්ෂා සම්පූර්ණ කරගැනීමට අපි මේ අලුත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතු ව පෙළගැසෙමු.

අලුත් අවුරුදු ප්‍රීතිය අත්විඳින මෙරට ආදරණීය ජනතාවට මෙන්ම, එතෙර වෙසෙන සියලු ශ්‍රී ලාංකික ජනතාවට සෞභාග්‍යයෙන් යුත්, සාමකාමි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමු.

Comments