මාලිංග වෙනුවට ආ අල්ෂාරි වාර්තාවකින්ම 20-20 අරඹයි | සිළුමිණ

මාලිංග වෙනුවට ආ අල්ෂාරි වාර්තාවකින්ම 20-20 අරඹයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය පැවැත්වුයේ අප්‍රේල් 06 වැනි දාය. මේ තරගය පැවැත්වුයේ හයිදරාභාද් නුවර රජිව් ගාන්ධි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීය. එහිදී තරග කළේ සත්කාරක සන්රයිසර්ස් හයිදරාභාද් සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම්ය.

මුලින්ම පන්දුවට පහර දෙමින් මුම්බායි ඉන්ඩියන්ස් නියමිත ඕවර 20 දී කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 136ක් පමණකි. මේ නිසාම සන්රයිසර්ස්ට පහසු ජයක් හිමි වනු ඇතැයි බොහෝ දෙනා සිතූහ.

ක්‍රිකට් වඩාත් ප්‍රචලිත අවිනිශ්චිත ක්‍රීඩාවක් ලෙසටයි. මෙහිදීත් එය තහවුරු වූයේය. ඒ සන්රයිසර්ස්ට ඕවර් 17 පන්දු 4කදී සියලු දෙනාම දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 96 ක් පමණක් වීම හේතුවෙනි. ඒ අනුව තරගයෙන් මුම්බායි කණ්ඩායමට ලකුණු 40 ක පහසු ජයකි.

එම ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා වුයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩක 22 හැවිරිදි අල්ෂාරි ජෝශප්ය. හෙතෙම දකුණතින් මද වේග පන්දු යවමින් ලකුණු 12කට කඩුලු 6ක්ම දවා ගැනීමට සමත් වූයේය. ඔහ‍ුගේ සම්පූර්ණ පන්දු යැවීම ඕවර 3 පන්දු 4 - නොයිඳුල් ඕවර 01- ලකුණු 12ට කඩුලු 6කි. එය වාර්තාගත දස්කමකි. එනම් අයි.පී.එල්. ඉතිහාසයේ තරගයක හොඳම පන්දු යැවීම එය වීම නිසාය. මේ දස්කම අතිවිශිෂ්ට වීමට තවත් හේතුවක් බලපෑවේය. එනම් අල්ෂාරිගේ ප්‍රථම අයි.පී.එල්. තරගයත් මෙය වීම නිසාය. එමෙන්ම අල්ෂාරි තවමත් අන්තර්ජාතික 20-20 තරගයකට ක්‍රීඩා කර නැති වීමත් විශේෂත්වයකි.

“මෙය මට විශ්වාස කළ නොහැකි අත්දැකීමක්. එමෙන්ම සිහින ආරම්භයක්. ඇත්තම කියනවානම් මම පෞද්ගලික දක්ෂතා ඉතා වැදගත් සිද්ධි ලෙස සලකන්නේ නැහැ. මම ඒවා බලාගෙන ක්‍රීඩා කරන්නෙත් නැහැ. මම ක්‍රීඩා කරන්නේ කණ්ඩායම වෙනුවෙනුයි. මට ඕනෑ මේ තරගාවලිය ජය ගැනීමටයි. මගේ ඉලක්කය මගේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ හොඳම දක්ෂතා දැක්වීමටයි.” තරගයෙන් අනතුරුව අල්ෂාරි එසේ පැවසීය.

මුම්බායි ඉන්ඩියන්ස් නායක රෝහිට් ෂර්මා (උපත 1987 අප්‍රේල් 30) අල්ෂාරිගේ දස්කම මෙසේ අගය කළේය. “එය ඉතා විශිෂ්ටයි. මෙසේ පැමිණ ඒ වගේ ක්‍රීඩා කිරීම තුළින් ඔහුගේ හැකියාව පෙන්වුවා.”

 

අල්ෂාරිට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එක් වීමට අවස්ථාව ලැබුණේ නවසීලන්තයේ ඇඩම් මිල්න් නිසාවෙනි. දකුණතින් වේග පන්දු යවන මිල්න් (උපත 1992 අප්‍රේල් 13) මෙවර තරගාවලිය ඇරඹීමට පෙර ආබාධයකට ලක් වුවේය. ඒ අනුව ඔහුගේ අවස්ථාව අල්ෂාරිට ලැබුණි.

කෙසේ වෙතත් සන්රයිසර්ස්ට එරෙහිව ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග නිසාය. දකුණතින් වේග පන්දු යවන මාලිංග (උපත 1983 අගෝස්තු 28) මෙරටට පැමිණියේය. ඒ මෙරටේ පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමටයි. අවසානයේ දී තමන්ට ලැබුණු අවස්ථාවෙන් අල්ෂාරි උපරිම ප්‍රයෝජන ගැනීමට සමත් වුයේය.

අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ මීට පෙර තරගයකදී හොඳම පන්දු යැවීම සිදු කර තිබුණේ පාකිස්තානයේ සොහෙයිල් තන්විර් විසිනි. වමතින් මද වේග පන්දු යවමින් ඔහු ලකුණු 14ට කඩුලු 6ක් දවාගෙන තිබුණි. තන්විර් (උපත 1984 දෙසැම්බර් 12) එම දස්කම කළේ 2008 තරගාවලියේදීය. ඔහු ක්‍රීඩා කළේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නි‍යෝජනය කරමිනි. එහිදී ප්‍රතිවාදීන් වුයේ චෙන්නායි සුපර් කිංග්ස්ය.

අල්ෂාරි ඉහත වාර්තාව බිඳ දැමූ තරග‍යේදී දවා ගත් පිතිකරුවන් අතර ඔස්ට්‍රේලි‍යාවේ ඩේවිඩ් වෝනර්, ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් සහ ඉන්දියාවේ විජේ ශන්කර්, දීපාක් හුඩා, භුව්නෙෂ්වර් කුමාර් මෙන්ම සිද්ධාර්ත් කෞල් ද වුහ.

අල්ෂාරි ෂාහෙයිම් ජෝශප් 1996 වසරේ නොවැම්බර් 20 උපත ලැබුවේ ඇන්ටිගුවා දුපතේදීය. ඔහු දකුණත් පිතිකරුවෙකි. මේ වන විට ලීවර්ඩ් දුපත්, ශාන්ත කිට්ස් සහ නේවිස් පේට්රියොට්ස් කණ්ඩායම් ද නියෝජනය කර තිබේ. ඔහු 2016 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ශුරයෝ වූ යොවුන් කොදෙව් කණ්ඩායමෙත් සාමාජිකයෙකි.

ඔහුත් සමඟ එම කණ්ඩායමට ක්‍රීඩා කළ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් වත්මන් කොදෙව් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරති. ඒ යොවුන් ලෝක ශූර කණ්ඩායමේ නායක ෂිම්රන් හෙට්මායර් සහ කීමෝ පෝල්ය. ඔවුන් දෙදෙනාම මෙවර අයි. පී.එල්. තරගාවලියටත් ක්‍රීඩා කරති. ඒ හෙට්මායර් (උපත 1996 දෙසැම්බර් 26) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පෝල් (උපත 1998 පෙබරවාරි 21) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් වලටයි.

අල්ෂාරි අන්තර්ජාතිකව කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේත් 2016 වසරේ සිටයි. දැනට ඔහුට ටෙස්ට් තරග 09, ලකුණු 84, කඩුලු 25, උඩපන්දු 06කි, එක්දින ජාත්‍යන්තර තරග 16, ලකුණු 104, කඩුලු 24, උඩපන්දු 05කි.

අල්ෂාරි ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ සිය පියා වන ඇල්වා නිසාය. ඔහු කුඩා කාලයේදී පියාට පන්දු යැවීය. ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා දිවියට මව වූ ෂැරොන්ගෙන් ද විශාල සහායක් ලැබුණාය.

එහෙත් මේ වන විට ඇය ජීවතුන් අතර නැත. මේ වසරේ ජනවාරි 31 - පෙබරවාරි 04 අතර සංචාරක එංගලන්ත කණ්ඩායම සහ කොදෙව් දූපත් අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්විණි. එහිදී තෙවන දිනය ඇරඹීමට පෙර අල්ෂාරිගේ මව මිය ගියාය. ඒ දිගු කාලයක් අසනීපව සිටිමිනි.

එහිදී අල්ෂාරි මේ තරගයට ක්‍රීඩා කරමින් සිටියේය. එම නිසාම ඔහු තරගයෙන් ඉවත් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුහ. එහෙත් ඔහු එසේ කළේ නැත. හෙතෙම තරගයේ ඉතිරි දිනවලටත් ක්‍රීඩා කළේය. ඔහුගේ මේ ක්‍රියාව බොහෝ දෙනා අගය කළහ. එම තරගයෙන් කොදෙව්වෝ ජය ගත්හ. කොදෙව් නායක ජේසන් හෝල්ඩර් (උපත 1991 නොවැම්බර් 05) මේ ජයග්‍රහණය ෂැරොන් ජෝශප් වෙනුවෙන් පුද කරන බව පැවසීය.

Comments