මම රෙඩි | සිළුමිණ

මම රෙඩි

මම බලන්නේ කොහොමද ඉක්මනට සනීප වෙන්නේ කියලයි. ක්‍රිකට් ලෝක කුසලානයට මම යනවද නැද්ද කියන එක මට හරියට ම කියන්න බෑ. මට කියන්න පුළුවන් එකම දේ මගේ අසනීප සුව කරගෙන ක්‍රීඩා කරන්න පුළුවන් තත්වයට එන එකයි. මම යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ තේරීම් කමිටුවයි. මොනවා වුණත් අවසාන තීරණය තියෙන්නේ ක්‍රිකට් තේරීම් කමිටුව අතෙයි.

පසුගිය දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ ඉතිහාසගත ඉනිමක් ක්‍රීඩා කරමින් මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු පවා ඉහළ නැංවූ කුසල් එක්දින තරගාවලිය අතරතුර ආබාධයකට ලක්ව තරගාවලියෙන් ම ඉවත්වීමට සිදු වූවා පමණක් නොව, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බලාපොරොත්තු ද වැට උඩ තැබුවේය.

හැම දේම හොඳාකාරව සිද්ධ වෙනවා. මම හිතනවා මට අවස්ථාවක් ලැබෙයි කියලා. මම හිතුවාටත් වඩා මගේ ආබාධ සුව අතට හැරිලා තියෙන්නේ. ඉදිරියේදි දිවීමේ කටයුතුවල යෙදෙනවා. තව දින 2 - 3 කින් පන්දුවට පහර දෙන්න පුළුවන් කියා විශ්වාසය තියෙනවා.

කුසල් තරග ෆේල් වු‍ණත් ටීම් එකේ ඉන්න ඕනෑ. එක තරගයක් හරි තනියෙන් දිනවන්න පුළුවන් මට්ටමක කුසල් ඉන්නවා.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ඉනිම සිහිපත් කරමින් අරවින්ද ද සිල්වා කුසල් පිළිබඳ එසේ අදහස් ප්‍රකාශ කර තිබුණි.

මට පුළුවන් උපරිම දේ කණ්ඩායම වෙනුවෙන් කරනවා. තේරීම් කමිටුව කිව්වොත් ලෝක කුසලානයට යන්න කියලා මම ඒකට ලෑස්තියි.

පසුගිය වසර කිහිපයේ ම කුසල් විශිෂ්ට ඉනිම් කිහිපයක් ම ක්‍රීඩා කරමින් ඉදිරියට පැමිණි නමුත් අවාසනාවන්ත ලෙස ආබාධවලට ලක්වීම නිසා එකී බොහෝ තරගාවලියන්හිදී අතරමගදි ඉවත් වීමට සිදුවිය. ඒ නිරන්තරයෙන් ම හට ගන්නා ආබාධ තත්ත්වයන් හේතුවෙන්ය.

ඇත්තට ම මටත් හිතා ගන්න බෑ. පහුගිය අවුරුදු කිහිපය ගත්තොත් තරග කිහිපයක් ක්‍රීඩා කරනවා, ඊට පස්සේ තරගාවලිය අවසන් කර ගන්න බැරුව කකුල් දෙකේ ම ආබාධ ඇති වෙනවා. පුහුණුකරුවන් එක්ක ‍‍ගොඩක් වැඩ කරනවා. හැබැයි ඉතින් තරගයක් අතරතුර කොයි වෙලාවේ ආබාධයකට ලක් වෙනවාද කියන්න බෑ. මොකද මම තරගයකදි අතපය ගැන හිත හිතා ක්‍රීඩා කරන්නේ නෑ. අනික මට එහෙම ක්‍රීඩා කරන්නත් අමාරුයි. මොනවා වුණත් මගේ සෞඛ්‍ය වාර්තා අරගෙන බැලුවොත් හොඳම මට්ටමේ තියෙන වෙලාවලදී තමයි ආබාධවලට ලක්වෙලා තියෙන්නේ.

අදහස්