ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකාව බලාපොරොත්තු අතර | සිළුමිණ

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ශ්‍රී ලංකාව බලාපොරොත්තු අතර

විසිතුන් වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 21 සිට 24 දක්වා කටාර් රාජ්‍යයේදි පැවැත්වෙයි. ඒ සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය 15 දෙනකුගෙන් සමන්විතය. මේ තරගාවලිය සඳහා ක්‍රීඩකයන් අට දෙනකු සහ ක්‍රීඩිකාවන් හත් දෙනකු ඇතුළත් වෙති. වත්මන් මීටර් 400 ඉසව්වේ බලාපොරොත්තුව වන අරුණ දර්ශන පාදයේ වළලුකර ප්‍රදේශයේ හට ගෙන තිබෙන ආබාධයක් නිසා තරගාවලියට එක් නොවීම ශ්‍රී ලංකාව පැත්තෙන් බලන කල බලවත් පාඩුවකි. පසුගිය වසරේ නිමා වූ යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 ඉසව්ව තත්පර 45.79කින් නිම කරමින් රන් පදක්කම දිනා ගත් අරුණ මීටර් 400x4 සහාය දිවීමේ කණ්ඩායමේ ද වැඩි බරක් දැරිය හැකි ක්‍රීඩකයෙකි.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පරිසාදන මට්ටමක් නියම කර තිබූ අතර එය ඉක්මවා යාමට කිසිවෙකුට නොහැකිවූ අතර, එකී පරිසාදන මට්ටමට ළඟා වූ සහ ආසන්නයට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් මේ සංචිතය තෝරා ගෙන තිබේ.

මෙකී තරගාවලිය සඳහා පැවති දෙවැනි තෝරා ගැනීමේ තරගාවලියේදි නිමාලි ලියනආරච්චි මීටර් 800 ඉසව්ව සඳහා වාර්තා කරන ලද කාලය විනාඩි 2 : 02: 65 කි. මෙකී කාලය 2017 දී මෙකී තරගාවලියේ රන් පදක්කම වෙනුවෙන් නිමාලි වාර්තා කරන ලද කාලයට වඩා (විනාඩි 2 : 05: 33) විශිෂ්ට දස්කමකි.

අවසන් වරට 2017 දී ඉන්දියාවේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ රිදී පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් විය. නිමාලි ලියනආරච්චි මීටර් 800 ඉසව්ව විනාඩි 02 : 05: 23 කින් තරගය නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, සෙසු රිදී පදක්කම් හතර පිරිමි මීටර් 4x400 සහාය දිවීමේ ඉසව්වෙන්ද, රුමේෂිකා කුමාරි මීටර් 100 ඉසව්වෙන් ද, ගයන්තිකා අබේරත්න මීටර් 800 ඉසව්වෙන් සහ දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනා ගැනීමට සමත් වූහ.

මෙතෙ‍ක් පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව රන් පදක්කම් 19 ක්, රිදී 14ක් සහ ලෝකඩ 19ක් වශයෙන් සමස්ත පදක්කම් 52ක් දිනා ගෙන තිබේ. මෙම ශූරතාවලියේ චීනය රන් පදක්කම් 308ක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානයේ පසුවන අතර, ජපානය රන් පදක්කම් 151ක් දිනා ගෙන දෙවැනි ස්ථානයේ පසුවෙයි. දකුණු ආසියානු කලාපයේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගෙන ඇත්තේ ඉන්දියාවයි. ප්‍රමාණය 85 කි. රන් පදක්කම් සියයට වඩා ලබා ගෙන ඇත්තේ චීනය සහ ජපානය පමණි. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව සතු වාර්තා සංඛ්‍යාව ත්‍රිත්වයකි. සුගත් තිලකරත්න 1998 දී මීටර් 400 ඉසව්ව තත්පර 44.61ක කාලයක් වාර්තා කරමින්, දමයන්ති දර්ශා 2000 දී මීටර් 200 ඉසව්ව 22.84කින් සහ මීටර් 400 තත්පර 51.05ක කාලයක් වාර්තා කරමින් ද මෙකී වාර්තා ත්‍රිත්වයට හිමිකම් කියති.

 

Comments