රුක්මන් නමැති මල් වෙඩිල්ල සම­හරු වර්ණනා කළා පම­ණයි | සිළුමිණ

රුක්මන් නමැති මල් වෙඩිල්ල සම­හරු වර්ණනා කළා පම­ණයි

මේ දිනවල දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වන සුරංග සතරසිංහ ශිල්පියාගේ ‘නාටක මාරයි නවය හමාරයි‘ ප්‍රහසන නිර්මාණයේ හාස්‍ය උත්පාදන රංගනයෙන් දායක වන රුක්මන් තිලකරත්න රංගන ශිල්පියා බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වී ඇත.

ඔහු මෙරට සකලවිධ කලා අංශයන්ට ප්‍රවීණ, ජනප්‍රිය මට්ටමේ ශිල්පීන් රැසක් බිහිකළ තිඹිරිගෙය වන ජාතික තරුණ සේවා සභාවේ සෙවණේ වැඩුණු කලාකරුවෙකි. 1997 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය සංචිතයට එක්වුණු රුක්මන් හොඳම අංග රචනා ශිල්පියා ලෙසත් හොඳම නළුවා ලෙස අඛණ්ඩව වසර 8ක් යෞවන සම්මාන දිනාගන්නට තරම් දක්ෂයකු විය. අපේ රංගන ක්ෂේත්‍රයට හාස්‍යෝත්පාදක නළු නිළියන් විරළ යුගයක සිය රංගනයෙන් ප්‍රේක්ෂකයන් පිනවන්නට තරම් වාසනා ගුණයක් හිමි රුක්මන් සමඟ රසඳුන කළ කෙටි කතා බහයි මේ.

මුලින්ම ඔබ කලාවට එන්නේ කොහොමද කියා කියමු.

මම අධ්‍යාපනය ලැබුවේ කෑගල්ල වරකාපොළ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන්. පාසල් කාලයේ සිටම මගේ සිතේ රංගනය පිළිබඳව කැමැත්තක් තිබුණා. ඒ සිහිනය සැබෑ කරගත්තේ 1997 වසරේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය සංචිතයට සම්බන්ධවීමෙන්. ඉන්පසු ජාතික තරුණ සේවා සභාවෙන් සහ ටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලෙන් වැඩිදුරටත් හැදෑරීම් කළා.

ඔබ මේ වනවිට සම්මාන ගණනාවක් දිනාගන්නට සමත්ව සිටින රංගන ශිල්පියෙක්

ඔව්, මම 2009 වසරේ හොඳම නළුවා ලෙස යෞවන සම්මානය දිනා ගැනීම තමයි මම මෙතෙක් ලැබු ලොකුම සම්මානය. ඒ වගේම 2006 වසරේ සිට 2012 වසර දක්වා අඛණ්ඩව වසර 8ක් හොඳම අංග රචනයට අදාල සම්මානය හිමි කරගෙන තිබෙනවා. ඊට අමතරව 2006, 2007 සහ 2010 වර්ෂවල හොඳම අංග රචනය වෙනුවෙන් රාජ්‍ය සම්මාන හිමිකරගන්නට මට හැකිවුණා.

ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ ගැන සඳහන් කළොත්

කොළඹ අහස, කොළඹ අපි ආවා, දියමත ලියමි, බෝංචි ගෙදර ඇතුළු ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා. සඳලු තලෙන් එහා යන චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපා තිබෙනවා.

නාටක මාරයි ටෙලි නාට්‍යය තුළින් ඔබ අතිශයින් ජනප්‍රියයි.

රුක්මන් තිලකරත්න නමැති මල් වෙඩිල්ල සමහරු අතේ තියාගෙන වර්ණනා කළා පමණයි. රුක්මන් නමැති මල් වෙඩිල්ල පත්තු කරලා හැමෝටම එහි ලස්සන අලංකාර බව දකින්න සැලැස්සුවේ සුරංග සතරසිංහ අයියා. ඒ නිසා මගේ හැකියාව පෙන්වන්නට රටට ලෝකයට මාව හඳුන්වා දෙමින් ජනප්‍රියත්වයට පත්වීමට ‘නාටක මාරයි නවය හමාරයි‘ නාට්‍යයට මාව සම්බන්ධ කර ගැනීම ගැන ඔහුට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.

ඔබේ රංගන ජීවිතයේ මේතාක් දුර එන්නට උදව් කළ අය කව්ද?

මගේ පළමු නාට්‍ය ගුරුතුමා වන සෝමරත්න රිදියපාන, ආචාර්ය මංගල සේනානායක, නාලක තලගල, ශෂික හේරත්, ඩබ්ලිව්. රවීන්ද්‍ර, ගයා රම්‍ය අල්විස්, සුරංග ලක්මාල්, වසන්ත මුහන්දිරම්, හෂිත රාජපක්ෂ, හේමන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු උදව් කළ සියලුම දෙනාටත්, විශේෂයෙන් ප්‍රේක්ෂක ජනතාවටත් මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මේ දිනවල රංගනයෙන් දායක වන නාටක මාරයි නාට්‍ය යේ රංගන කටයුතු සාර්ථකව කරගෙන යන අතර ලැබෙන හැම නිර්මාණයකටම උපරිම සාධාරණත්වය ඉටුකරන්න උත්සාහ කරනවා. ඒ වගේම මම දැනට අවුරුදු 10ක පමණ කාලයක සිට මධ්‍යම, බස්නාහිර, සබරගමුව වැනි පළාත් වල අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා පාසල්වල නාට්‍ය හා රංගකලාව හදාරන දරු දැරියන්ට වැඩමුළු පවත්වාගෙන යනවා. ඒ කටයුතු සාර්ථකව කරගෙන යාම බලාපොරොත්තුවයි. 

Comments