තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

ජනක් සිව් නළු ගී සමඟ රට පුරා

ජනක් ප්‍රේමලාල් කියන්නේ අපේ රටේ සිටින රංගන ශිල්පින් අතරින් ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු අලුත් වැඩක් පටන් ගත්තා කියන ආරංචිය ගැන ඇත්ත නැත්ත දැන ගන්න අපි ඔහුව සොයා ගෙන ගියා. ඔන්න ඔහු අලුත් වේදිකා නාට්‍ය ගීත ප්‍රසංගයක් අරගෙන රට පුරා යන්න සුදානමින් ඉන්නවලු. පසුගිය මාසයේ එහි මංගල දර්ශනය පවත්වා තිබුණා.

‘සිව් නළු ගී’ යනුවෙන් නම් කර ඇති මෙය ගීත ජවනිකාවක් ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද අබුද්දස්ස කෝළම, රාජ කපුරු, සක්වල කැළඹිලා, රජ ගහේ නාඩගම, යන නාට්‍යන් හි ඇතුළත් සියලු ගීත මෙම ගීත ජවනිකාව තුළ ඇතුළත් වෙනවා. මේ වන විට ‘සිව් නළු ගී’ බොහෝ ප්‍රේක්ෂකයින් ගේ ප්‍රසංසාවට ලක් වී තිබෙනවා. ලබන ජුනි මාසයේ සිට ඔහු රට පුරා මෙය රැගෙන යන්න සුදානමින් ඉන්නවා.

ඔහු වැඩිදුරටත් පවසමින් කියා සිටියේ

‘‘ඉදිරි මාස දෙක උත්සව මාස නිසා ඒ කාලය තුළ මිනිස්සු බොහොම කාර්යබහුලයි. ඒ හේතුව නිසාම තමයි ජුනි මාසයේදී අපි මෙය රට පුරා අරගෙන යන්න තීරණය කළේ. ඒ අනුව පළමු ප්‍රදර්ශනය ජුනි 6 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී පවත්වන්නට නියමිතයි. ඒ සඳහා මම ඔබ සැමට ආරාධනා කරනවා.‘‘


නෙහාරාගෙන් සුබ ආරංචියක්

පසුගිය අවුරුදු කිහිපය පුරා විදෙස් රටක් ජීවත් වුණු නෙහාරා නැවතත් ලංකාවට පැමිණි පුවත අප කවුරුත් දන්නවා. දිගු කලක් නිර්මාණ වලින් ඈත්ව සිටියත් බොහෝ ප්‍රේක්ෂකින් ගේ ආදරය තවමත් අඩුවක් නැතිව නෙහාරා ට ලැබෙනවා. නෙහාරාට ආදරය කරන රසඳුන පාඨක ඇගේ ප්‍රේක්ෂකයින්ට අපූරු සුබ ආරංචියක් කියන්නයි අපි දැන් සුදානම් වෙන්නේ. ඒ ගැන නෙහාරා ගේ වචන වලින්ම අපි දැන් බලමු.

‘‘අවුරුදු අටකට පස්සේ ඔන්න මම Facebook, Instagram වල ඉන්නවා. මීට කලින් මම හිටියේ නැති නිසා මගේ රසිකයන්ට මගේ තොරතුරු දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් ඒ ගැන හිතලා තමයි මම Facebook ,Instagram එන්න හිතුවේ. දැන් මගේ ආදරණීය රසිකයන්ට follow කරන්න පුළුවන් iamnehara කියලා. ඒ වගේම මට ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබිලා තිබෙනවා. තවමත් මේ වායේ රූගත කිරීම් ආරම්භ කරලා නැහැ.‘‘

කොහොම වුණත් නැවතත් අපිට නෙහාරාව ටෙලි නාට්‍ය ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව ලැබේවි.


නිල්මිණි අලුත් අවුරුද්දේ අපේ ආලින්දයට

තව දින කිහිපයකින් උදාවන අලුත් අවුරුද්දට අපි කවුරුත් සතුටින් කාබී විවේකීව ගත කරන්න තමයි සූදානමින් ඉන්නේ. අපේ රූපවාහිනී නාළිකා මෙවර අවුරුදු වෙනුවෙන් අවුරුදු ටෙලි නාට්‍ය විකාශය කරන්න සූදානමින් සිටිනවා. අපේ සම්මානනීය රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් අලුත් අවුරුදු ටෙලි නාට්‍ය ගණනාවකින්ම ප්‍රේක්ෂකයින් අතරට එන්න සුදානමින් සිටිනවා. ඇය මේ දිනවල එහි රූ ගත කිරීම් සඳහා එක්වී ඉන්නවා කියලා අපිට දැන ගන්න ලැබුණා. අවුරුද්දට පුංචි තිරයෙන් අපේ නිවෙසට එන ඇය රංගනය තරමක් සීමා කරන්න තීරණය කරලා. අපි ඇයගෙන් ඒ ගැනත්

අලුත් අවුරුද්දට සුදානම ගැනත් අපි අහලා බැලුවා.

‘අලුත් අවුරුද්දට බොහෝ දුරට ගෙදර ඉන්න ඉඩ තියෙනවා. තාම නම් එච්චර ලොකුවට සුදානමක් නැහැ. ඉදිරියේදී රංගන කටයුතු පැත්තෙන් ටිකක් සීමා වෙන්න හිතුවා. දුව A/ L වලට සුදානම් වන නිසා එයා වෙනුවෙන් මේ දිනවල කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ නිසා දුවගේ විභාගය අවසන් වන තුරු මම රංගනයෙන් ටිකක් ඈත් වේවි. ‘‘


රෝහණ අවුරුද්දට ගමේ යයි

ප්‍රවීණ ගායකයකු වන රෝහණ බෝගොඩ මහතා බොහෝ කාලයකට පසුවයි ‘රසඳුන’ සමඟ එකතු වන්නේ. මේ දිනවල ඔහුගේ අලුත් වැඩ කටයුතු මොනවද කියලා සොයා බලන්න අපි ඔහුට කතා කළ මොහොතේ ඔහු අපි සමඟ මේ විදියට අලුත් තොරතුරු ගැන කිව්වා. ‘‘ලබන සතියේ ඉඳන් රියැලිටි වැඩසටහන්හි විනිශ්චය කටයුතු සඳහා සහභාගී වෙන්න සුදානමින් ඉන්නවා. ඊට අමතරව මේ දිනවල අලුත් ගායක ගායිකාවෝ කිහිප දෙනකුටම ගීත නිර්මාණ කටයුතු සිදු කෙරුවා.‘‘

මේ පාර අලුත් අවුරුද්දට ගමේ යනවද කියලා අහපු ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි.

‘‘හැම සැරේ වගේම මේ පාරත් සිංහල අලුත් අවුරුද්දට ගමේ යනවා. මගේ ගම මාතර නේ. ඉතින් අයියලා අක්කලා සහ ගමේ අය සමඟ ගමේ අවුරුද්ද සමරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අලුත් අවුරුද්දෙන් පස්සේ ප්‍රංශයේ අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගි වෙන්න ආරාධනාවක් ලැබිලා තිබෙනවා.‘‘

අදහස්