තමන්ට ආවේ­ණික රටා­ව­කට සංගී­තය සප­යන දොම්පෙ ධනුද්‍රා | සිළුමිණ

තමන්ට ආවේ­ණික රටා­ව­කට සංගී­තය සප­යන දොම්පෙ ධනුද්‍රා

මෙරට සංගීත කණ්ඩායම් රටට හඳුන්වාදීමට 'රසඳුන' ගත් ව්‍යායාමයේ තවත් ප්‍රතිඵලයක් විදියට තමයි දොම්පේ 'ධනුද්‍රා' සංගීත කණ්ඩායම මෙවර BAND OF THE WEEK සමඟ එකතු වෙන්නේ. කුඩා කාලයේ සිට සංගීතය ජීවිතය කරගත් තරුණයන් පිරිසක් එක්ව ගොඩනගාගත් මේ සංගීත කණ්ඩායමේ තවත් සුවිශේෂ කාරණයක් තමයි තරුණියක් හා කුඩා දරුවකු ඔවුන් සමඟ එක්ව සිටීම. එම නිසාම අප මෙවර තීරණය කළා මෙහි නියමුවා විදියට කටයුතු කරන යෝෂිත ජයතුංග සමඟ කතාබහ කරන්න.

දොම්පේ නගරය කේන්ද්‍රකරගෙන සංගීත කණ්ඩායම ආරම්භ කළත් යෝෂිත ඉපදෙන්නේ රත්නපුර බළන්ගොඩ ප්‍රදේශයේ. හරිත වර්ණයෙන් පරිපූර්ණ, ඇළ දොළෙන් පිරී ඉතිරී ගිය බළන්ගොඩ තිබෙන්නේ කලාකරුවෙක් නිර්මාණය කරන්න පුළුවන් අපූරු පරිසරයක්. ඒ නිසා වෙන්න ඇති යෝෂිත වැලිපතයාය මහා විද්‍යාලයෙන් අකුරු කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා සංගීතයට ඇලුම් කරන්නේ.

'බළන්ගොඩ කියන්නේ ලස්සන, නිස්කලංක ප්‍රදේශයක්. අපි පාසල් ගියේ ඇළ දොළවල් පසුකරලා ඒ සුන්දරත්වය විඳිමින්. ඒ පරිසරයෙන් ගත්ත දේත් සහජයෙන් ලැබුණු හැකියාවත් නිසා වෙන්න ඇති මම ගායනය පැත්තට යොමු වුණේ.'

විවිධ ආර්ථික අපහසුතා රැසක් තිබුණත් ඔහු සංගීත හැකියාව ඊට බාධාවක් කරගත්තේ නැහැ.

'ඇත්තටම අපිට කුඩා කාලයේ ආර්ථික අපහසුතා තිබුණා. කොයි තරම් හැකියාවක් තිබුණත් ඒ දේයින් ඉහළට යන්න තරම් වත් පොහොසත්කම් අපේ පවුලේ තිබුණේ නැහැ.' සමහරු ඉහළට යනවිට, දියුණුවන විට අතීතය අමත කරද්දී යෝෂිත පුදුමාකාර ආඩම්බරකමකින් තමයි අතීතය මතක් කළේ. ඔහු හිතන්නේ මේ තරම් දුර එන්න පුළුවන් වුණේ අතීතතයේ විඳපු දුක් ගැහැට නිසා කියලා.

'මෙතැනින් එහාට යන්න නම් මුදල් තිබෙන්න ඕනි. ඒ නිසා මම තීරණය කළා රැකියාවක් හොයාගෙන කොළඹට එන්න. ඒ ආපු ගමන ඇවිත් නැවතුණේ දොම්පේ. බෝඩිමක නැවතිලා තමයි රැකියාවට ගියේ.'

කුමන දුෂ්කරතා තිබුණද යෝෂිත තමන්ගේ ගායන හැකියාව නැති කරගත්තේ නැහැ. ඒ වගේම නිවේදන හැකියාවත් ඔහුට සහජයෙන් ලැබිලා තිබුණා. තමන්ට ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ඔහු ගායනය තව තවත් දියුණු කරගත්තා. ඒ සංගීත කණ්ඩායම් ආරම්භ කරන්න ඕනි කියන හීනෙත් හිතේ තියාගෙන.

'කාලය රැකියාවත් එක්ක ගත වුණත් පුංචි විවේකයක් ලැබුණ ගමන් මම සංගීත කණ්ඩායමක් පටන් ගන්න තීරණය කළා. ඒ අනුව 2010 වසරේ ‘ගම්පහ සන්ෆයර්‘ නමින් මගේ පළමු සංගීත කණ්ඩායම පටන් ගත්තා. එය ටික කාලයක් කරගෙන යද්දි නතර කරන්න වුණා. ඉන් පස්සේ තමයි ‘දොම්පේ ධනුද්‍රා‘ නමින් අලුත් සංගීත කණ්ඩායම පටන් ගත්තේ. විවිධ හැකියාවන් තියෙන ගායන හා වාදන ශිල්පීන් බොහෝ ගණනක් පරීක්ෂණයන්ට ලක් කරල තමයි ධනුද්‍රා සංගීත කණ්ඩායම හැඩ කරන සමාජිකයන් තෝරාගෙන තිබෙන්නේ.'

'එෆ්.එම්. මලීෂ තිලක්ෂාන් කියන්නේ කී බෝඩ් වාදන ශිල්පියා. තවමත් උසස් පෙළ අධ්‍යාපනය හදාරන ඔහු පාසල් කාලයේ ඉඳලා තමයි සංගීතය හදාරල තිබෙන්නේ.

විවිධ සංගීත තරගවලින් ජයග්‍රහණ පවා ලබාගෙන තිබෙනවා. එෆ්. එච්. හිරාන් අකලංක වයඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන ශිෂයෙක්. ඔහුට විවිධ භාෂාවලින් ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙන නිසා ගායන ශිල්පියෙක් ලෙස සංගීත කණ්ඩායමේ වැඩ කරනවා. ආර්. එච්. තරූෂ හේෂාන් උසස් පෙළ අධ්‍යාපනය හදාරන අතර ලීඩ් ගිටාර් ශිල්පියා ලෙස කටයුතු කරනවා. ඩබ්ලිව්. රුමෙත් දෙව්නක කියන්නෙත් පාසල් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක්.

ඔහු බේස් ගිටාර් ශිල්පියා විදියටයි වැඩ කරන්නේ. කේ. බී. එම්. කසුන් චරක. ඔහුත් පාසල් අධ්‍යාපනය හදාරන ගමන් තමයි සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියකු ලෙස වැඩ කරන්නේ. මෙහි ඉන්න කාන්තා චරිතය තමයි අශේකා රාජපක්ෂ.

ඇය පෙර පාසල් අවධියේ සිටම සංගීතයත් එක්ක සම්බන්ධ වෙලා හැකියාව දියුණු කරගත් ශිල්පිනියක්. සංගීත කණ්ඩායම තුළ ජින්ජර් වයිට් ලෙස හඳුන්වන ඇය සිය ගායන හැකියාවෙන් කණ්ඩායම වර්ණවත් කරනවා. එච්.ඩී. මලිත් උෂාන් මෙහි ඩ්‍රම්ස් වාදන ශිල්පියා. ඔහු ඉපදිලා තිබෙන්නේ රත්තනපුරේ.

එන්.කේ. සසික මිහිරාද් ප්‍රියශාන්ත සියනෑ ජාතික පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ඔහුත් ගායන ශිල්පියකු ලෙස වැඩ කරනවා. දිනූජ සඳරුවන් සංගීත කණ්ඩායමේ ඔක්ටපෑඩ් ශිල්පියා ලෙසයි කටයුතු කරන්නේ.'

මේ වගේ තරුණ තරුණියක් එකතු කරගෙන මේ වන විට ලංකාව පුරා සංගීත සන්දර්ශනවලට සහභාගි වී ඇති ධනුද්‍රා කා අරත් ජනප්‍රිය වී සිටින්නේ ඔවුන්ට ආවේනික රටාවකට සංගීත සපයන කණ්ඩායමක් විදියටයි.

'අපි කිසිම කණ්ඩායමක් අනුකරණය කරලා වැඩ කරන්නේ නැහැ. ඒත් සනිධප කණ්ඩායම අධ්‍යයනය කරලා අපේම දෙයක් රසිකයන්ට ලබා දෙන්නයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ' යෝෂිත අවසන් වරට පැවසුවා. 

 

Comments