හුනු වටයේ කතාවෙන් බ්‍රෙෂ්ට් ට කිසිදු හානියක් වී නැහැ | සිළුමිණ

හුනු වටයේ කතාවෙන් බ්‍රෙෂ්ට් ට කිසිදු හානියක් වී නැහැ

  • ලෝකයේ වෙනත් කිසිම රටක මේ තරම් සාර්ථක හුුනුවටයක් නිෂ්පාදනය වී නැහැ
  • හෙන්රි ජයසේන හෝ මෙරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ දුර්මත පිළිබඳ වග කිව යුතු නැහැ
  • බ්‍රෙෂ්ට් මෙරට ඉතා ජනප්‍රිය විදේශීය නාට්‍යකරුවා වූයේ හුනුවටය නිසායි

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කොකේසියානු හුනුවටය පදනම් කොට ගෙන හෙන්රි ජයසේන විසින් (1966) නිපදවන ලද හුනුවටයේ කතාව සිංහල නාට්‍ය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරන බව මෙරට නාට්‍ය කලාව හඳුනන රසවතුනට අමුතුවෙන් කිව යුත්තක් නොවේ. පසු ගිය දිනෙක එනම් 2019 මාර්තු මස 24 සිළුමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකයේ පළ වූ සම්මුඛ සාකච්ඡාවක මාතෘකාව වූයේ ‘හුණුවටයේ කතාවෙන් බ්‍රෙෂ්ට්ට හානියක් වුණා’ යන්නයි. මේ ප්‍රකාශය සිදු කොට තිබුණේ මෙරට ප්‍රකට නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ධර්මජිත් පුනර්ජීව ය. සම්මුඛ සාකච්ඡාව මෙහෙයවනු ලැබ තිබුණේ රසික කොටුදුරගේ විසිනි.

මේ සාකච්ඡාව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය හා නාට්‍ය සිද්ධාන්ත පිළිබඳ දුර්මතයන්ට තවත් දුර්මතයක් එක් කරන බැවින් වහාම ප්‍රතිචාරයක් දැක්වීම අත්‍යවශ්‍ය වේ.

ආරම්භයේ දී ම බ්‍රෙෂ්ට් විසින්ම මෙවැනි ම අවස්ථාවක දී කරන ලදැයි පැවසෙන ප්‍රකාශයක් උපුටා දැක්වීම යෝග්‍ය යැයි සිතමි.

අන්ද්‍රෙ ම්‍යුලර් හා ග්‍රේඩ් සෙමර් දෙදෙනා විසින් ලියනු ලැබ 1977 දී රෙක්ලාම් ප්‍රකාශකයන් විසින් පළ කරන ලද ‘ගෙශිෂ්ටන් ෆොම් හෙර්න් බී’ නමැති බ්‍රෙෂ්ට් පිළිබඳ කතා එකතුවේ 44 වන පිටුවේ සිද්ධාන්ත හා ව්‍යවහාරය නම් කෙටි ලිපිය මෙසේය; “කොකේසියානු දරු සොරකම පිළිබඳ ව ලියන ලද නාට්‍යය ෆ‍්‍රන්ක්ෆුට් අම් මයින් නගරයේ ප්‍රථම වරට නිෂ්පාදනය ඇරඹිණි. නාට්‍ය අධ්‍යක්ෂ යැරී බුක්විට්ස් ප්‍රධාන චරිතය රඟපෑම සඳහා බ්‍රෙෂ්ට් මහතාගෙන් කත්‍රීන් රයිෂල් නමැති නිළිය ණයට ඉල්ලා ගත්තේ ය. පුහුණුවීම්වල දී ඇය මේ චරිතය බ්‍රෙෂ්ට් විසින් නම් මෙසේ නිරූපණය කරන ලද්දේ යැයි කියමින් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පිළිපැදීම ප්‍රතික්ෂේප කළා ය. දින අටක අසාර්ථක ව්‍යායාමයකින් පසු අධ්‍යක්ෂවරයා බ්‍රෙෂ්ට්ගෙන් උපකාර ඉල්ලා සිටියේ ය.

අගනුවර සිට පැමිණි බ්‍රෙෂ්ට් නිහඬ ව පුහුණුවීම් දෙස බලා සිටියේ ය. පැයකට පමණ පසු නැඟී සිටි බ්‍රෙෂ්ට් ඉතා ශාන්ත ස්වරයකින් මෙසේ කීවේය. ‘ දැන්වත් නාට්‍ය රඟපාන්න පටන් ගත්තෙ නැත්තම් මම දෙනව උඹේ පස්ස පැත්තට පාරක්.’ කලබලයට පත් නිළිය දුරස්ථකරණ අර්ථය පිළිබඳව විමසුවා ය. බ්‍රෙෂ්ට් මෙසේ පිළිතුරු දුන්නේ ය: ‘අපි නිෂ්පාදනය කරන්නේ නාට්‍යයක් මිසක් දුරස්ථකරණ අර්ථයක් නොවෙයි.’ එක්තරා ආකාරයක හාස්‍යජනක ලෙස දක්වා ඇති මේ පුවතින් බ්‍රෙෂ්ට් දුරස්ථකරණ අර්ථය නාට්‍යයට වඩා වැදගත් කොට නොසැලකූ බැව් පෙනේ.

බ්‍රෙෂ්ට් සිය ආගන්තුකකරණ (සාමාන්‍යයෙන් දුරස්ථකරණ යනුවෙන් හැඳින්වෙන) න්‍යායෙන් කිසි ලෙසකිනුත් කලාවේ භවෝද්දීපන හැකියාව ප්‍රතික්ෂේප නොකළේය. එපමණක් නොව හෙතෙම මේ හැකියාව තම සමහර නාට්‍ය සඳහා ද යොදා ගත්තේ ය. බ්‍රෙෂ්ට් ම සඳහන් කරන පරිදි සිය ‘ගැලිලියෝ ගැලිලි’, ‘කරාර් මැතිනියගේ තුවක්කු’ වැනි නාට්‍යවල දී ඔහු අනන්‍යකරණයෙන් භාව උද්දීපනය කිරිමේ හැකියාව යොදා ගත්තේය. ‘කරාර් මැතිනියගේ තුවක්කු’ නාට්‍යයේ දී ඔහුගේ අරමුණ වූයේ මිනිසුන් සමූහාණ්ඩු විරෝධී යුද්ධය සඳහා පෙලඹවීම ය. ඒ සඳහා අනන්‍යකරණය මඟින් භාවොද්දීපනය වඩා යෝග්‍යයි ඔහු විශ්වාස කළේය. දැන් අපි සිංහල හුනුවටයේ කතාව පිළිබඳව ධර්මජිත් පුනර්ජීව කරන ප්‍රකාශය දෙසට හැරෙමු.

ඔහුගේ අදහස අනුව; “මගේ හැදෑරීම අනුව හෙන්රි ජයසේන තමයි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ට සැලකිය යුතු හානියක් කරපු කෙනා. උදාහරණයකට ‘හුනුවටයේ කතාව’ නාට්‍ය ගමු; මෙය සම්පූර්ණයෙන් ම කේන්ද්‍රීය චරිත නැත්නම් පුද්ගල චරිත හුවා දක්වන ඒවා ජනප්‍රිය ධාරාවට එකතු කරන නාට්‍යයක්. නමුත් බ්‍රෙෂ්ට් ගේ අදහස වුණේ කේන්ද්‍රීය චරිත ජනප්‍රිය, අනුවේදනය දනවන ස්වාත්මීකරණයට ලඝු නොකර රඟදැක්වීමයි. කිසිම ප්‍රේක්ෂකයකුට ගෲෂත් එක්ක හරි අසඩක් එක්ක හරි බැඳෙන්න බැහැ.

නමුත් අපේ ෙප්‍ර්ක්ෂකයා අවුරුදු පනහකට වඩා වැඩිකාලයක් අනුවේදනයට පත්වෙමින් ජීවත් වෙන්නේ දාරක ෙප්‍ර්මය වෙනුවෙන් අරගල කරන ගෘෂා සමඟයි. වඩාත් ම අනතුරුදායක දේ තමයි පාසල් විෂය මාලාව සමඟත් මේ වැරැද්ද දිගින් දිගට ම කරගෙන යෑම.” පුනර්ජීවගේ අදහස අනුව හුණුවටයේ කතාව සිංහලෙන් නිෂ්පාදනය කිරීමෙන් හෙන්රි ජයසේන විසින් කරනු ලැබ ඇත්තේ වැරදි වැඩකි. ඔහුගේ මතය අනුව හුනුවටයේ කතාවේ සිංහල පරිවර්තනය පාසල් පොතත් සේ නිර්දේශ කරනු ලැබීම ඊටත් වඩා අපරාධයකි.

මගේ අදහස අනුව නම් සිංහල හුනුවටය ඉතා සාර්ථක නිෂ්පාදනයකි. ලෝකයේ වෙනත් කිසිම රටක මෙබඳු සාර්ථක හුනුවටයක් නිෂ්පාදනය වී නැත. එසේම මෙය පාසල් නිර්දිෂ්ට ග්‍රන්ථයක් බවට පත් කිරීම නිසා මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බ්‍රෙෂ්ට් පිළිබඳව දැන ගත්හ. ඒ අතරම බ්‍රෙෂ්ට් පිළිබඳ දුර්මත ද මෙරට පැතිරී ඇති බව ද සැබෑ ය. හෙන්රි ජයසේන හෝ මෙරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව වග කිව යුතු නැත.

බ්‍රෙෂ්ට්ගේ කෘති මෙන්ම සිද්ධාන්ත ද ඉංග්‍රීසි ඇතුළු භාෂාවන්ට පරිවර්තනයේ දී නොයෙක් වැරදි සිදු වී ඇත. උදාහරණයක් ලෙස බ්‍රෙෂ්ට්ගේ ‘ෆර්ෆ්‍රෙම්ඩුං’ හෙවත් ආගන්තුකකරණ සංකල්පය සමහර ලේඛකයන් විසින් ඉංග්‍රීසියට නඟා ඇත්තේ ‘ඒලියනේෂන්’ යනුවෙනි. ඒලියනේෂන් යන ඉංග්‍රීසි වචනයට මලලසේකර ශබ්දකෝෂය දෙන අර්ථය ‘අන් සතු කිරීම’ හෝ ‘අන් සතු වීම’ යන්නයි.

ජර්මන් වචනයට ඉතා ආසන්න ඉංග්‍රීසි වචනය ‘එසට්‍රේන්ජ්මන්ට්’ යන්නයි. ඒ සඳහා මා භාවිත කරණ සිංහල පරිවර්තනය ආගන්තුකකරණයයි. පුනර්ජීව මහතා මේ වචනය ‘අසහසම්බන්ධ’ යනුවෙන් යෙදුව ද එය ද නිවැරදි යැයි කිව නොහැකි ය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වෙනස් වන ආර්ථික, සමාජ හා දේශපාලන යථාර්ථය අනුව නිරන්තර ව සිය අදහස් වෙනස් කොට ගැනීමට නිර්භය විය.

කලක් නාට්‍යයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සමාජයට කිසිවක් කියාදීම යැයි සිතූ ඔහු අවසානයේ නාට්‍යයේ මුඛ්‍ය අරමුණ නරඹන්නාට ආස්වාදය ලබා දීම බවත් එසේ වුව ද කිසියම් අදහසක් ආස්වාදජනක ලෙස කියා දීමට නාට්‍යයට හැකියාවක් ඇති බවත් පිළිගත්තේ ය. පුනර්ජීව විසින්ම සිංහලට නඟා ඇති බ්‍රෙෂ්ට්ගේ ”නාට්‍ය කලාවට කෙටි මෙවලමක්” කෘතියේ මේ අදහස් පැහැදිලි ව ඉදිරිපත් කොට ඇත. මේ ලිපියේ මුලින් ම සඳහන් කරන ලද බ්‍රෙෂ්ට් විසින් රයිෂල් නම් නිළියට කී දේ ධර්මජිත් පුනර්ජීවට ද කීම යොග්‍ය යැයි සිතමි. හෙන්රි ජයසේන බ්‍රෙෂ්ට්ගේ කොකේසියානු හුනුවටයේ එරික් බෙන්ට්ලිගේ ඉංග්‍රීසි පරිවර්තනය සිංහලට නැඟුවේ ය. එහි දී ඔහු සිංහල ප්‍රේක්ෂකයාට අනවශ්‍යයි සිතූ පූර්ව රංගය ඉවත් කළේය. මේ නාට්‍යය ලංකාවේ ඉතා ජනප්‍රිය විය.

පරිවර්තනය පාසල් නිරිදිෂ්ට ග්‍රන්ථයක් බවට ද පත් විය. හෙන්රි හැරුණු විට තවත් නාට්‍යකරුවෝ බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සිංහලෙන් නිපදවූහ. සමහර නාට්‍ය එතරම් ජනප්‍රිය නොවීය. කෙසේ වුව ද බ්‍රෙෂ්ට් මෙරට ඉතාම ජනප්‍රිය වූ විදේශීය නාට්‍යකරුවා නැත්නම් ඉතාම ජනප්‍රිය විදේශීය නාට්‍යකරුවන් කිහිප දෙනා අතරෙන් අයකු බවට පත් විය.

සිංහල හුනුවටය මේ තරම් මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ සිත් ගැනීමට හේතු කීපයක් විය. ඒ වන විට සරච්චන්ද්‍ර විසින් මෙරටට ආඛ්‍යාන රංග ක්‍රමය හඳුන්වා දී තිබීම ඉන් ප්‍රධාන හේතුව විය. එසේම මේ කතාවට බොහෝ සෙයින් සමාන කතාවක් මෙරට ෙප්‍ර්ක්ෂකයා උම්මග්ග ජාතකයේ දරු ප්‍රශ්නයෙන් දැන සිටියේය. එහි දී මහෞෂධ වැදූ මවට දරුවා ලබා දෙයි. හුනුවටයේ කතාවේ අසඩක් දරුවාට නියම වශයෙන් ආදරය කරන හැදූ මවට දරුවා ලබා දෙයි. දැන හෝ නොදැන මේ වෙනස ද මෙරට ජනයා අතර මෙම නාට්‍යය ජනප්‍රිය වීමට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.

ප්‍රධාන වශයෙන්ම බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයේ අර්ථය මෙන්ම නාට්‍යය ගොඩනඟා ඇති ආකාරය ද එහි ජනප්‍රියත්වයට හේතු වූ බව නිසැකය. කෙසේ වුව ද බ්‍රෙෂ්ට් ඉතා සාර්ථක ලෙස මෙරටට හඳුන්වා දෙනු ලැබීම මෙන්ම නාට්‍ය අවසානයේ එන,මුදු ගුණය ඇති අය දරුවන් දිනිය යුතු වේය! ගොවි දන මනා වූ දිනිය යුතු සේ ම ගම් බිම්! යනුවෙන් ඉතා සිත් ගන්නා ලෙස නාට්‍යයේ අර්ථය කැටි කොට දැක්වීමට හෙන්රි ජයසේන සමත් වීම ද මේ නාට්‍ය මෙරට මහජනයා අතර ජනප්‍රිය වීමට හේතු විය.

පසුකාලීනව මෙරට නාට්‍ය කලාව කෙරෙහි පමණක් නොව සිනමාව, සාහිත්‍යය හා අනෙක් කලාවන් කෙරෙහි ද බ්‍රෙෂ්ට්ගේ ආභාසය ඉතා හිතකර එකක් විය. එබැවින් අවසාන වශයෙන් කිව යුත්තේ 1966 දී හෙන්රි ජයසේන විසින් නිෂ්පාදනය කරන ලද හුනුවටයේ කතාව බ්‍රෙෂ්ට් මෙරට ජනප්‍රිය වීමට හේතු වුවා පමණක් නොව ධනේශ්වර ක්‍රමයක් තුළ පවතින මෙරට කලාවේ ප්‍රගතියට ද ඉමහත් සේවයක් සිදු කළ බවය.

අදහස්