විජයබා කොල්ලය හා සුවඳ සිහින | සිළුමිණ

විජයබා කොල්ලය හා සුවඳ සිහින

සිත ආලෝලනය කළ ආකර්ෂණීය නවකතාවක් කියවූ එක්තරා යුගයකදී අපට සිතුණේ ‘මේ අපූරු කතාව තිරයෙන් නරඹන්නට ඇත්නම්’ යි කියා ය. එකල අප සිහින මැවූයේ කියවූ පොත සිනමාවට නැගෙන තුරු ය. එහෙත් ඒ අතීතයේදී ය. පසුකලෙකදී නම් හොඳ පොතක් කියවූ විට අපට දැනුණේ බියකි. ඒ, එය සිනමාවට නැගී වැනසී යනු ඇද්ද යන සැකසාංකාව නිසා ය. අපූරු නවකතා සිනමාවට, ටෙලි නාට්‍යයට නැගීමේදී ඒවා මුහුණ පෑ ඛේදජනක ඉරණම පිළිබඳ ස්මරණ පෝලිමක් අපගේ මතකයේ තැන්පත්ව තිබේ.

පොතක් සිනමාවට නැඟීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පොතකින් චිත්‍රපටයක් වියමන් කරන්නකු සිනමා ව්‍යාකරණය මනාව ප්‍රගුණ කළ, අත්දැකීම් බහුල තැනැත්තකු විය යුතු ම ය. පොතේ කතුවරයා තිරනාටකය ලියන්නට ඉදිරිපත් වන බොහෝ අවස්ථාවලදී ද ගැටලු පැන නගියි. ඒ පොතේ එන හැම සිදුවීමක්ම (සෑම වැකියක්ම) ඔහුට වැදගත් වන නිසා ය. විශිෂ්ට සිනමාකරුවකු නවකතාවක් ගෙඩිපිටින් රූගත කරන්නේ නැත. පොත රූපරාමු පෙළකට ගළපද්දී ඔහු හෝ ඇය අතින් එය නිසි පරිදි ව්‍යවච්ඡේදනය වෙයි.

දැනට නිෂ්පාදනය වෙමින් පවතින ඩබ්ල්යු.ඒ. සිල්වා සූරීන්ගේ ‘විජයබා කොල්ලය’ නම් වූ අපූරු නවකතාව, අප තුළ දහසක් බලාපොරොත්තු දල්වා ඇත්තේ මේ අනුව බව කිව යුතු ය. ඒ බලාපොරොත්තු නුසුන් වන බවට බලාපොරොත්තුවක් ද අප තුළ තිබේ. අපගේ ඒ පූර්ව නිගමන මෙසේ අනුපිළිවෙළින් ගොනුකර දැක්වීමට පුළුවන.

මහත් වූ සතුටක් අප තුළ ජනිත කළ ප්‍රමුඛ කරුණ වන්නේ ‘විජයබා කොල්ලය’ තිරනාටකය ලියා ඇත්තේ තිස්ස අබේසේකරයන් බව දැනගන්නට ලැබීමයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන සුනිල් ආරියරත්නයන් ද සිනමා ව්‍යාකරණය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති ඓතිහාසික වෘත්තාන්ත සිනමාවට නැඟීමේ ලා සැලකිය යුතු පරිචයක් ප්‍රකට කර සිටින විද්වතෙකි. මේ සියල්ලට ද වැඩියෙන් ඒ පිළිබඳ විශ්වාසයක් අප තුළ ජනිත කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සිදුකරනු ලැබූ යට සඳහන් හද විදාරණයයි.

‘මම කොච්චර චිත්‍රපට කරලා තිබුණත් ‘විජයබා කොල්ලය’ අතිවිශේෂයි. මම 1963 දී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය කරන විට පන්ති කාමරයේදී ඉගෙන ගත්තේ ‘විජයබා කොල්ලය’ යි. මට අදහගන්න බෑ ඒ පන්ති කාමරයේදී මා හැදෑරු ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයක් කරන්න මට ම ලැබීම ගැන. ඒක කාටවත් ලැබෙන්නේ නැති වරප්‍රසාදයක් හා භාග්‍යයක් හැටියට තමයි මං සලකන්නේ. මං ඒ පන්ති කාමරයේදී ඩබ්ල්යු.ඒ. සිල්වාගේ පිස්සෙක් බවට පත් වුණා.

(ලංකාදීප - 15.03.2019)

මේ කතාව අපට හැඟුණේ-දැනුණේ අපගේම කතාවක් ලෙස ය. ඒ, ‘විජයබා කොල්ලය’ නවකතාවට මෙන් ම ඩබ්ල්යු.ඒ. සිල්වා නම් වූ අතිශූර නවකතාකරුවාටත් අප ද වසඟ ව සිටි නිසා ය. කෙසේ වුව ද සුනිල් ආරියරත්නයන්ගේ සිනමා අත්දැකීම්, පරිචය පසෙකින් තැබුවත් ‘විජයබා කොල්ලය’ අප බලාපොරොත්තු වන මට්ටමේ එකක් විය හැකි යැයි සිතන්නට අනුබල දෙන්නේ ඔහුගේ මේ අවධාරණයයි.

චිත්‍රපටයක සාර්ථකත්වයට බොහෝ විට හේතුවන්නේ නිර්මාණකරුවාගේ හෘදය සාක්ෂිය, අවංක භාවය හා කැපවීම ය. සිනමාවට නැගුණු බොහෝ නවකතා අසාර්ථක වෙද්දී ‘හඳපාන’ වැනි ජනප්‍රිය චිත්‍රපටයක් (එහි ගීත ද ඇතුඵව) තවමත් අප තුළ චමත්කාරයක් ජනිත කර ඇත්තේ ද හර්බට් එම්. සෙනෙවිරත්න නම් වූ සහෘදයාගේ සහෘද දැක්ම නිසාම විය හැකි ය.

‘හඳපාන‘ නවකතාව ටෙලි නාට්‍යයකට නැගෙන බවට රාවයක් පැතිර යද්දී අප තුළ කිසියම් බියක්, ව්‍යාකූලත්වයක් හටගැනුණේ චිත්‍රපටය පිළිබඳ ස්මරණයට ඉන් පලුද්දක් සිදු වනු ඇද්ද යන සැකසාංකාව නිසා ය. ‘හඳපාන’ මහා සිනමා නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි නොවෙතත් චිත්‍රපටය මෙන් ම සිසිර සේනාරත්නයන්ගේ සංගීතය ද අපේ හදවත් තුළ කිඳා බැස ඇති බව නම් නිර්ලෝභීව පැවසිය යුතු ය.

සිනමාවට නැඟුණු මේ රටේ නිර්මාණකරුවන්ගේ නවකතා ගණනාවක් පිළිබඳව පැහැදිලි මතකයක් අපට තිබේ. මේ බොහොමයක් ඉතා කුඩා කාලයේදී අපට නරඹන්නට ලැබුණේ චිත්‍රපට නැරඹීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ද තිබූ නිසා ය. මේ අනුව ඩබ්ල්යු.ඒ. සිල්වා සූරීන්ගේ නවකතා ඇසුරින් සිනමාවට නැඟුණු සිරියලතා, දෙයියන්ගේ රටේ, හඳපාන, දෛවයෝගය, හිඟන කොල්ලා ආදී චිත්‍රපට සියල්ල පාහේ නැරඹීමේ අවස්ථාව අපට හිමිවී තිබේ. ඒ සියල්ලට ම වඩා සුවිශේෂී වූ සිල්වා සූරින්ගේ අද්විතීය නවකතාව ලෙස අප විශ්වාස කරන්නේ විජයබා කොල්ලයයි.

දශක දෙකක් වැනි කාලපරාසයක් තුළ ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ නවකතා සැලකිය යුතු සංඛ්‍යාවක් තිරයට නැඟුණේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඔහු ‘නවකතා චක්‍රවර්ති’ වූ නිසාම විය හැකි ය. වරක් ‘ගම්පෙරළිය’ චිත්‍රපටය පිළිබඳ ව කතාකරමින් සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙවැනි කතාවක් කියා තිබේ.

තමාගේ නවකතාවක් චිත්‍රපටයකට නැඟීම පිළිබඳ ව ඔහු (මාර්ටින් වික්‍රමසිංහ) තුළ තිබුණේ බලවත් උද්‍යෝගයක්. ඔහුගේ සමකාලීනයකු හා රොමාන්තික නවකතා රචකයකු වූ ඩබ්.ඒ. සිල්වාගේ හැම නවකතාවක් ම ඒ වන විට චිත්‍රපටයට නැඟී තිබුණා.

මාර්ටින් වික්‍රමසිංහ සිංහල සාහිත්‍යයේ විප්ලවයක් ඇති කළ විශිෂ්ට නවකතාරචකයකු වුණත් ඔහුගේ කෘතියක් පාදක කරගෙන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ඒ වන විට කිසිවකු ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ.

මේ තත්ත්වයට හේතු වූයේ ඩබ්ල්යු.ඒ. සිල්වාගේ නවකතාවල ගැබ් වූ කතාරසයම බවට සැක නැත. කෙසේ වුව ද මේ මහා නවකතාකරුවන් දෙදෙනා පිළිබඳවත් පාඨක රුචිකත්වය පිළිබඳවත් ඉතා සියුම් සැඟවුණ අරුතක් මේ අවධාරණය තුළ ගැබ්ව ඇතැයි අපට සිතෙයි. මේ නවකතාකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේදී දෙදෙනා සැසදීමට කිසිසේත් උත්සාහ කළ යුතු නොවන බව ද ඉන් මනාව විශද වෙයි.

අපට මතක තිබෙන ආකාරයට පොතට සාධාරණයක් ඉටු කළ චිත්‍රපට නරඹන්නට අප භාග්‍යවන්ත වී ඇත්තේ කලාතුරකිනි. ඒ චිත්‍රපට අතළොස්ස අතරේ ද පෙරමුණ ගෙන ඇත්තේ ගම්පෙරළිය, ගඟඅද්දර, හඳපාන වැනි වූ කිහිපයකි. ඒවා පොත කියවීමේදී අප ලද ආස්වාදය නුසුන් කළ සිනමා නිර්මාණ වූයේ යැයි අපට සිතෙයි. ‘ගඟඅද්දර’ යනු පොත ද ඉක්මවා යමින් ප්‍රේක්ෂකයා ආනන්දයට පත් කළ අතිශයින් සොඳුරු සිනමා සිත්තමකි.

මේ හාස්කම කළ අනෙක් චිත්‍රපටය වන්නේ ජී.බී. සේනානායකන්ගේ කෙටිකතාවක් ඇසුරින් ලෙස්ටර් ජේම්ස් පීරීස් සූරින් අධ්‍යක්ෂණය කළ නිධානයයි. ‘ගොළු හදවත‘ ද සාර්ථක සිනමා නිර්මාණයක් වූ මුත් පොත කියවද්දී අප මවාගත් චරිත චිත්‍රපටයේදී කිසියම් වෙනසකට බඳුන් වූ බවක් ද හැඟෙයි. එහෙත් එය කිසිසේත්ම නිශේධනීය වෙනසක් නම් නොවේ.

‘ගොළු හදවත’ අපට ආනන්දනීය අත්දැකීමක් වූ මුත් ‘බඹා කෙටූ හැටි’ චිත්‍රපටය අපේ බලාපොරොත්තුවලට අනුප්‍රාණයක් සැපයුවේ නැත. ‘විරාගය’ ද සාර්ථක චිත්‍රපටයක් වූ මුත් එය ද අපගේ බලාපොරොත්තුවලට පූර්ණ වශයෙන්ම ගැළපුණේ ද යන්න ප්‍රශ්නයකි. (ප්‍රශ්නය ඇත්තේ සිනමාපටයේ ද අපගේ බලාපොරොත්තුවල ද යන්න වෙනම ම විසඳා ගත යුතුව තිබේ.) කෙසේ වුව ද ඩබ්ල්යු.ඒ. සිල්වාගේ නවකතා අතරින් සිනමාවට නැගීමේදී වඩාත් අභියෝගාත්මක වන්නේ ‘විජයබා කොල්ලය’ යැයි අපි සිතමු.

‘විජයබා කොල්ලය’ නවකතාව ඇරඹෙන්නේ වසර 500කට පෙර පැවැති කොළඹ නගරය සිත්තම් කෙරෙන විස්තරයකිනි. කොළඹ සෙනෙවි මැඳුරක අංගනයේ ‘නීලමනී’ නම් වූ (අතිශයින් රූමත්) සෙනෙවි දියණියක සක්මනේ යෙදී සිටියි. හදිසියේම මහ වැස්සක් ඇදහැළෙයි. සුන්බුන් ගොඩගැසූ මඩුවකට ඇය රිංගාගන්නේ වැස්සෙන් බේරීම සඳහා ය. හදිසියේම ඇය සාහසිකයකුගේ ග්‍රහණයට හසුවෙයි. ඉතා අමාරුවෙන් ඔහුගෙන් අත්මිදෙන ඇයට පෙනීයන්නේ ආගන්තුකයා ශක්තිමත් තරුණයකු වන බව ය.

‘තෝ කවරෙක් දැ යි?’ නීලමණී ප්‍රශ්න කළා ය.

‘මම භයින් පලා යන්නෙක්මි. රාජ පුරුෂයෝ මා ලුහු බැඳ ගත්හ. වසන් වෙන්නට තැනක් නැති නිසා මෙහි මෙ සේ පැමිණියෙමි. අද රැය මට මෙ තැන පසු වන්නට අවකාශ දෙව. මා ගැන කිසිවකුට නො කියව. මෙන්න ඊට තෑග්ග.’ කියා ඔහු මුදල් පසුම්බියක් ද ඇය අතට දුන්නේ ය.

කුමරි, එය ප්‍රතික්ෂේප කළා ය. ඒ ප්‍රතික්ෂේප කෙළේ, ඔහුට පිහිට නොවන අදහසකින් නොවන බව ද ඇඟෙව්වා ය.

(විජයබා කොල්ලය - 18 පිටුව)

‘විජයබා කොල්ලය‘ කියවීමේදී ලැබෙන වින්දනය, ඒ ආස්වාදය නූතනමානීව, තාර්කිකව, විචාරාත්මකව පැහැදිලි කිරීම පහසු නැත. එය යථාර්ථවාදී ද අධියථාර්ථවාදී ද ෆැන්ටසි කතාවක් ද ආදී කිසිවක් පාඨක වින්දනයේලා ගෝචර හෝ වැදගත් හෝ නොවේ. මෙහිදී තනිකරම අප සිත යොදවා ඇත්තේ එහි වින්දනීය පරිකල්පනීය අවකාශය පිළිබඳව පමණි. නීලමණී චරිතය ඔස්සේ සමස්ත ස්ත්‍රිය ගැන ඩබ්ල්යු.ඒ. සිල්වා මෙවැනි කතාවක් ද කියයි.

ස්ත්‍රීහු සාමාන්‍යයෙන් දුබලයන් අප්‍රිය කරති. එහෙත් අසරණ බවට පත් වීරයන් ඉතා ප්‍රිය කරමින් ඔවුනට ශක්ති පරිද්දෙන් පිහිට වීම විනෝදයක් කොට ගනිති. මේ අසරණ තරුණයාට තමා හැර, දැන් අන් කිසි පිහිටක් නැත යන හැඟීම නිසා කොතෙක් පාඩු වෙතත්, ඔහුගේ ජීවිතාරක්ෂාව සලසා දෙන්නට ඈ නිශ්චය කර ගත්තා ය.

(විජයබා කොල්ලය - 23 පිටුව)

පුරුෂාර්ථ පිළිබඳ තද පාට සායමින් ඇඳුණු චිත්‍රයක් අප තුළ සිත්තම් කළ නවකතා දෙකක් ගැන ද මෙහිදී සඳහන් කළ යුතුව තිබේ. ඒ එකක් නම් වික්ටර් හියුගෝ ගේ ‘ලේ මිසරාබ්ලේ’ හෙවත් (අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල විසින් සිංහල බසට නගන ලද) ‘මනුතාපය’ යි. අනෙක නම් ඩබ්.ඒ. සිල්වාගේ විජයබා කොල්ලයයි.

මේ පොත පුරාම සුවඳක් මෙන් විසිරී ඇත්තේ නීලමනීගේ යෝජිත ස්වාමි පුරුෂයා වූ අසංගගේ උදාරත්වයයි. වරක් ද ලසර්දා නම් වූ ප්‍රතිකාල් සෙනෙවියා යටතේ සිරකරුවකු බවට පත්ව සිටින අසංග මුදාගැනීම සඳහා සිරගෙයි දොරගු`ඵ විවර කරන්නේ හම්දුම්මා නම් වූ මුස්ලිම් ජාතික රූමත් කාන්තාවකි. හමිදුම්මා යනු ද ලසර්දා විසින් පැහැරගනු ලැබ ඔහුගේ අනියම් බිරිඳක ලෙස ජීවත්වන ස්ත්‍රියයි. ඇය අසංග මුදාහරින්නේ යහන්ගතව සුවනින්දක සැතපෙන ද ලසර්දා, ඔහු ලවා ඝාතනය කරවීමේ අරමුණ ඇතිවයි.

‘මට කරන අනෙක් උදව්ව නම්, ඔය නින්දෙන් ම ඔහු මරා දමන එක ය.’ යි ඈ කීවාය.

අසංගයනට, ද ලසර්දාගේ නිද්‍රොපගත දේහය සැහැසිකමට සිත යොමු කර වන දර්ශනයක් නො වී ය. ඔහු, ඒ හෙයින් පසු බා සිටියේ ය.

හමිදුම්මා යළිත් ඔහු පොළඹවමින්, ‘මොහු අහිංසක මනුෂ්‍යයන් හට අන්තරායකි. රටට සාපයකි. සදාචාරයට පිළිලකි. මොහු නසනු - නසුනු මොහු නසනු-නසනු! රටේ සාමදානය ඇති කරන පිණිස මොහු නසනු!’ කීවා ය.

‘සොහොයුරි, ඒ එසේ නම් මේ කූඩාරමෙන් පිට වෙනු. මා එන තෙක් පිටත රැඳෙනු. මේ ළඳ බොළඳ කාන්තාවක විසින් නැරඹිය යුතු ක්‍රියාවක් නොවේ ය’ යි ඔහු කීයේ ය.

(විජයබා කොල්ලය - 287 පිටුව)

අසංගයනට අවනතව පිටතට ඇදී යන හමිදුම්මාට ඉනික්බිතිව ශ්‍රවණය වන්නේ බඩුභාණ්ඩ සීසීකඩව යන ශබ්ද සමූහයකි. අනතුරුව ඇය දකින්නේ දැඩි සටනකින් පසු ලසර්දා මරා දමා ලේ ගලන තුවාල ද සහිතව තමා අබියස නැගී සිටින අසංගයන්ගේ රුවයි.

අසංග වත්තම් කර ගත යුතු විය. ඔහුගේ තත්ත්වය අතිශයින් ම දුඃඛිත බව, හම්දුම්මාට පෙනිණි. ‘අහෝ! ඒ ඇඳේ ඔහු එතැන. මරා නොදමා, ඔබ මේ කළ මෝඩකම කුමක් ද යි?’ ඈ අපවාද නඟමින් ප්‍රශ්න කළාය.

අසංගයෝ ඊට පිළිතුරු නුදුන්හ. හම්දුම්මාට මෙතැන, තමා තේරුම් ගත නොහැකි බව ඔහු දන්නේ ය. හම්දුම්මාට පමණක් නොව, තව මත් බොහෝ දෙනකුට, මේ වැනි තැන් තේරුම් ගත නො හැකි යි. ගත සිත දෙකින් දුබල තැනැත්තේ, උදාර චිත්ත සන්තානයක පහළ වන උදාර ප්‍රතිපත්ති නො දනී. ඒ හෙයින් ඔහු ඊට මෝඩකම යයි කියයි.

(විජයබා කොල්ලය - 291 පිටුව)

මෙකල නම් හෘදය සාක්ෂියක් ඇති මිනිසුන් බොහෝවිට හැඳින්වෙන්නේ ‘මෝඩයා’ යි කියා ය. එහෙයින් මේ අවංක බව, මේ පුරුෂාර්ථ එකල ජීවත්වූ දරුවනට එන්නත් කළ උදාරත්වය පිළිබඳ හැඟීම මෙකල දරුවනට ඒ අයුරින්ම කාවැද්දිය හැකි දැයි අපට සිතාගත හැකි නැත. (මෙකල පාසල් දරුවන් සඳහා නිර්දේශිත ග්‍රන්ථ ඔස්සේ එවැනි ප්‍රයත්නයක් දැරෙන්නේ ද යන්න වෙනම ම සාකච්ඡා කළ යුත්තකි.)

හමිදුම්මා සෙවණක් සොය ගිය නොබෝ වේලාවකින් අසංගයෝ කලුරිය කරති. අවසාන මොහොතේ අසංගයන්ගේ හිස උකුළේ හොවා සිටින්නේ පෘතුගීසි ජාතික කතෝලික පියතුමෙකි. කුටිඤ්ඤෝ පියතුමා නම් වූ එතුමා අපට සිහිගන්වන්නේ මනුතාපයේ බිස්කූන් වහන්සේ ය. කවර ජාතියක්, කවර ආගමක් නියෝජනය කළ ද මිනිසාගේ ක්රූරත්වයේ මෙන් ම යහගුණයේ ද වෙනසක් සිදු නොවන බව ද ලසර්දා හා කුටිඤ්ඤෝ පියතුමා ද ඔප්පු කරති.

අසංගයන් මරණාසන්නව පසුවෙද්දී කුටිඤ්ඤෝ පියතුමා පවසන මේ වදන් තවත් පැත්තකින් අපට සිහිගන්වන්නේ භගවද් ගීතාවේ එන කිසියම් අවධාරණයකි.

‘දරුව, ඔබ විසින් කැරුණේ, ඉතා හොඳ පින්කමකි. ඒ හෙයින් ඔබගේ විශ්වාසයේ හැටියට ඔබට සුගතියක් ලැබිය යුතු ය.’

‘විජයබා කොල්ලය’ යනු ෂෙරිඩන්ගේ ‘පිසාරෝ’ හි අනුවර්තනයකි යි ඇතැම්හු කියති. ෂෙරිඩන් එය ඉංග්‍රීසි බසට නගා ඇත්තේ කොට්සෙබු නම් වූ ජර්මන් ආචාර්යවරයාගේ නාටකයක අනුවාදනයක් ලෙසිනි යි සිල්වා සූරිහු පවසති.

කෙසේ වෙතත් දෙදෙනකු තුළ හෝ කිහිප දෙනකු තුළ එක ම අදහසක්, සංකල්පයක් හටගැනීමට ඇති අවකාශය පිළිබඳව ද මෙහිදී සැලකිල්ල යොමු කළ යුතුව තිබේ.

තවත් පැත්තකින් බලන විට නිර්මාණ උත්තේජනය සැපයෙන්නේ ද තවත් නිර්මාණයකිනි. මා කුඩා කාලයේදී නැරඹූ ‘මනුතාපය’ නම් වූ චිත්‍රපටයේ (මෙය සිංහලෙන් හඬ කැවූ ඉන්සානියාත් නම් වූ හින්දි චිත්‍රපටයකි.) ‘විජයබා කොල්ලයේ’ සේයාවක් රැඳී තිබූ බව මට මතක ය. එහි ද මෙවැනිම වූ තුන්කොන් ප්‍රේමයක් වූ අතර ආදරවන්තිය වෙනුවෙන් සිපිරිගෙය හා මරණය තෝරාගත් ආදරවන්තයාගේ චරිතය නිරූපණය කළේ ‘රඟපෑම යනු මේ’ යැයි හින්දි සිනමාවට උගැන්වූ දිලිප් කුමාර් නමැති අද්විතීය රංගනවේදියා ය.

කෙසේ වුව ද මෙය ලියන්නට අප යොමු කළේ එක්තරා අතීතකාමයක් විය හැකි ය.

ඒ අතීතකාමයේ ම දිගුවක් වූ අනාගත අපේක්ෂාවක මෙහෙයවීමෙන් ‘විජයබා කොල්ලය’ චිත්‍රපටය නැරඹීමේ මහත් වූ බලාපොරොත්තුවක් (හා කුඩා බියක් ද) අප තුළ හටගෙන තිබේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අපගේ ඒ අපේක්ෂා නුසුන් කරනු ඇත යන්න අපගේ විශ්වාසයයි. ප්‍රාර්ථනයයි.

 

අදහස්