ලේඛකයෝ සියලු දෙනා බරපතළ රෝගියෝ | සිළුමිණ

ලේඛකයෝ සියලු දෙනා බරපතළ රෝගියෝ

  • පිරිමි අපේ, නිරන්තර ප්‍රතිවාදියා වන ගැහැනිය ගැන හඳුනා ගැනීමක් කරන්නයි මා මෙහිදී උත්සාහ කරන්නේ
  • නිර්මාණාත්මක යමක් ලියනව නම් අඩුම තරමේ අවුරුදු පනහක්වත් ජීවිතය ගෙවෙන්න ඕන
  • ජීවිතය කියන්නෙ ලස්සන විකාරයක්
  • පොතක් පළ කළාම ලේඛකයකු ලෙස අභිමානයක්; ආඩම්බරයක් තියෙනවා
  • අන්තර්ගතය පොහොසත් නම් හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා

‘හෙතෙම 1977 විවෘත ආර්ථිකය විසින් ප්‍රසූත කළා වූ කලා සහ දේශපාලන උප සංස්කෘතීන් හී නව පරිවර්තනයක් උදෙසා සාධනීය මැදිහත් වීමක් කළ අයෙකි. එසේම ඔහු මෙරට සාංදෘෂ්ටිකවාදී වාම බුද්ධි ධාරාවෙහි ප්‍රමුඛ ප්‍රකාශකයෙක් වේ. ලේඛකයකු, සමාජ විශ්ලේෂකයකු, පුවත්පත් කතුවරයකු, චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු, මෙන්ම රැඩිකල් දේශපාලන මතධාරියකු ද වන ඔහු නමින් සිරිමල් විජේසිංහ ය. හෙතෙම, පසු පරම්පරාව වෙත රැඩිකල් ආකාරයට සංස්කෘතික මංපෙත් විවර කළ බොහිමියානු බුද්ධිමතෙක් වේ. ඔහු විසින් රචිත නවතම කෘතිය වන‘ඔබාමා

මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ නමැති වියමන අපගේ පරිකල්පනීය සීමාව මොනවට ප්‍රශ්න කරයි.

මේ ඒ පිළිබඳ කළ කතාබහකි.

රහට බොහෝ දේවල් පිළිබඳ ව ලියන්න පුළුවන්කමක් තියෙද්දී ඒ වෙනුවෙන් ඔබ මෙච්චර කල්මැරුවෙ ඇයි?

ඔබ ඔය අහපු පැනය මීට බොහෝ කාලයකට පෙර මගේ මිතුරනුත් මගෙන් නිතර අහපු ප්‍රශ්නයක්. නිර්මාණාත්මක යමක් ලියනව නම් අඩුම තරමේ අවුරුදු පණහක්වත් ජීවිතය ගෙවෙන්න ඕන කියන අදහස මගේ තරුණ අවධියේ සිටම තිබුණා. ඇතැම් ලේඛකයෝ බොහෝම අඩු වයසින් නිර්මාණ කාර්ය ආරම්භ කරලා පනහ වෙනකොට මැරිල ගිය අයත් ඉන්නවා. ඒත් මට හිතුණා මම අවුරුදු පනහ පැන්නම තමයි ලියන්න ඕන කියලා. මට දැන් පනස් හයයි. මේ පොතේ එක කෙටි කතාවක් ඇරුණම අනෙක් සියලු කෙටිකතා මම ලිව්වේ අවුරුදු පනහ පැන්නට පස්සෙයි. නවකතාවක් ලියන්න අදහස් කරගෙන හිටියත් කෙටිකතා පොත ඊට කලින් ලියලා ඉවර වුණා.

අද හිතල බලද්දි එහෙම කල් මරපු එකේ වටිනා කමක් තියෙනවාද?

ඔව්, ජීවිතය පිළිබඳ ව අවු 42දී විතර යම් අවබෝධයක් මට ලැබුණ කියල හිතෙනවා. එහෙම අවබෝධයක් ලබනවත් එක්කම පනහෙන් පස්සේ ලියනව කියන එකත් මගේ ඔළුවෙන් ගියා. මගේ පුස්තකාලයක් තිබුණා. ඒකෙ තිබුණ පොත් පවා මම එක එක්කෙනාට දීල දැම්මා. මොකද ඒ පොත් පවා මගේ ඔළුවට හරි බරක් වුණා. දැනුම බරක් විදියට තමයි මට දැනුණේ. මගේ දුවගෙන් ලොකු ඉල්ලීමක් තිබුණා, මේ වැඩේ කරන්න ඕන කියලා. ඇයගේ පෙරැත්ත නිසා තමයි ඇත්තට ම මේ පොත පළ වෙන්නේ. ජීවිතය ගැන වූ ශුන්‍ය අවබෝධය නැති වෙලා ගිහින් විටෙක ආසාභරිත හැඟීම් එන්න පුළුවන්. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. මේ පොතත් ඒ වගෙ වැඩක්.

එතකොට ඔබ හතළිහෙන් පස්සේ ලිවීම අතහැරල ද හිටියේ?

නැහැ, මා දිගට ම ටික ටික ලිව්වා. මා ලිවීම සලකන්නේ යම් රෝගයකට තියෙන ප්‍රතිකර්මයක් විදියටයි. ලෝකයෙහි ලේඛකයන් සියලු දෙනා මා සලකන්නේ බරපතළ රෝගීන් විදියටයි. ඒ ලෙඩේට ප්‍රතිකාරය තමයි ලිවීම. ජීවිතය කියන්නෙම අර්බුදකාරී දෙයක්. සල්ලි තිබුණත් අර්බුදයක්; සල්ලි නැතත් අර්බුදයක්. ජීවත් වීමට බලපාන එක ම දේ මුදල් ම නෙමෙයි. එය නොසන්සුන්කාරී දෙයක්. ඒ තුළ සතුට වාසනාව හොයාගෙන යන එක තමයි අපි මේ කරන්නේ. ඒ යන ගමනෙදි සමහරුන්ට හිතෙනව ලියන්න. එහෙම හිතුණ ම ලියන කෙනෙක්ගෙන් එක්කෙනෙක් විතරයි මම.

පාරාදීසය නම් සඟරාමය පුවත්පත සමඟ ඔබ නව සංස්කෘතික කතිකාවක් ආරම්භ කිරීමට මුල්වෙනවා. එය එවක ඉතා ම රැඩිකල් ප්‍රවිෂ්ටයක්?

ඔව්, විශේෂයෙන් ම එහි ඉලක්කය බවට පත් වුණේ එවක තරුණ පරම්පරාව. පාරාදීසය සඟරාව මේ සමාජයට විශාල බලපෑමක් කළා. මේ සඟරාව නිසා වෙනස් විදියට හිතන තරුණ පරම්පරාවක් නගර කේන්ද්‍ර කරගෙන බිහි වුණා. ඒ වගේම ඒ සඟරාව හරහා එළියට ආපු ඔබ ඇතුළු බොහෝදෙනෙක් මේ වන විට විවිධ කලා සංස්කෘතික ක්ෂේත්‍රවල කටයුතු කරනවා. ඒ නිසා ඒ රැඩිකල් ප්‍රවිෂ්ටය අදටත් වලංගුයි. ‘ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ කියන මේ කෘතියත් එවැනි රැඩිකල් ප්‍රවේශයක්. මේ හරහා ලංකාවේ කෙටිකතා කලාව නව මඟකට යොමු වේවි කියන විශ්වාසය මට තියෙනවා.

මේ කෘතිය පළ වීමත් සමඟ ජයදේව උයන්ගොඩ වැනි ප්‍රභාවත් බුද්ධිමතුන් පවා ඔබව බොහිමියානුවකු ලෙස නාමකරණය කරනවා. මේ නාමකරණය මීට පෙර ආදේශ වුණේ සයිමන් නවගත්තේගම හා පසන් කොඩිකාර වැනි ලේඛකයන්ට පමණයි. ඔබ මේ නාමකරණය යටතේ රාමුගත කිරීම ගැන කොතෙක් දුරට එකඟ වෙනවාද?

මිනිහෙක් තුළ විවිධ චරිත ඉන්න පුළුවන්. ඒ විදියට මා තුළත් විටෙක බොහිමියානුවෙක්, මාක්ස්වාදියෙක්, ඇනාකීස්ට් කෙනෙක්, සාංදෘෂ්ටිකවාදියෙක්, ජීවිතාාවබෝධය ලබපු පුද්ගලයෙක් ආදී විවිධ චරිත වෙන අය මා තුළින් දකිනවා. ඒක ඒ අයගේ දැක්ම.

‘ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ කියල මේ කෘතිය නම් කරන්න විශේෂ හේතුවක් තිබුණද?

ඇත්තට ම මේ නම යෙදූ කෙටිකතාව මා ලියන්න ගත්තේ නවකතාවක් විදියටයි. ඒ වගේම ඒක ලියමින් තිබුණේ මේ රටේ පළ කරන්න හිතාගෙන නෙමෙයි. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර යුරෝපයේ පළ කරන්නයි. මට එදා ඉඳලම ලංකාව ඇතුළේ ලියල වැඩක් නැහැ කියන අදහස තදින් ම තිබුණා.

ලංකාවේ සාහිත්‍ය කෘති කළාට එහෙම කිසි ඵල ප්‍රයෝජනයක් නැහැ. ඵල ප්‍රයෝජනය කියල මෙතන දි අදහස් කරන්නේ කීර්තිය නෙමෙයි. මෙය වෙළෙඳ භාණ්ඩයක් විදියට කොයිතරම් අලෙවි කරන්න පුළුවන් ද කියන කාරණය යි.

පොතක් පළ කළාම ලේඛකයකු ලෙස අභිමානයක් ආඩම්බරයක් තියෙනවා. නමුත් ලේඛකයකු ලෙස ජීවත් වෙන්න එය ප්‍රමාණවත් නැහැ. අපි කවදාවත් ස්ථීර රැකියා කරපු අය නෙවෙයි.

අපිට කර්මාන්ත ක්ෂේත්‍රයේ කටයුතු කරන්න හැකියාවකුත් නැහැ. මගේ හැකියාව තියෙන්නේ නිර්මාණාත්මක ක්ෂේත්‍රය තුළ. ඒ නිසා කීයක් හරි හම්බ කරගන්න ඕන මේකෙන්. මේකෙන් හම්බ කරනව නම් අනිවාර්යයෙන්ම ලංකාවෙන් එළියට යන්න ඕන. එහෙම එළියට ගියාම අන්තර්ගතය පොහොසත් නම් හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා.

ලේඛකයෙක් ලෙස පවතින්න ඒ වෙළෙඳපොළ හොඳට ම ප්‍රමාණවත්. ඒකට යන්න තියෙන එක බාධාවක් තමයි මෙහේ ප්‍රොපෙෂනල් භාෂා පරිවර්තකයන් සීමිත වීම. ඒ ඉන්න සීමිත පරිවර්තකයනුත් වැඩ ගොඩාක් බදාගෙන ඉන්නේ.

මා මෙය පරිවර්තනය කරගැනීම සඳහා පරිවර්තකයන් කීපදෙනෙක් එක්කම වැඩ කළා. පරිච්ඡේද කිහිපයක් පරිවර්තනයත් කළා. නමුත් ඔවුන්ගේ කාල වේලාවන් එක්ක මට දිගට වැඩ කිරීමේ හැකියාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා එය අතර මඟ නැවතුණා. ඒකත් එක්ක නවකතාවක් ලිවීමට තිබුණු උනන්දුවත් නැතිව ගියා. අවසානයේ එය කෙටිකතාවක් බවට පත් කර අතරමඟින් නතර කර දැමුවා. මේ කෙටිකතාව පරිච්ඡේද දහයක් පමණ දිවෙන කෙටි කතාවක්. පොතෙන් බාගයක් ම තියෙන්නේ ඒ කෙටිකතාව.

මේ කෙටිකතාව කිසියම් විශේෂත්වයක් තියෙන කෙටිකතාවක් වගේම අපව කිසියම් ආකාරයකට වෙනස්ම පරිකල්පනීය අවකාශයකට රැගෙන යනවා.

ඔව්, මේ කෙටිකතාව ඇතුළේ නොයෙක් චරිත තිබෙනවා. බැරැක් ඔබාමා, මිෂෙල් ඔබාමා, ඕෂෝ, බින්ලාඩන්, ආදි නොයෙක් දෙනා මෙහි දී ඔබට හමුවෙනවා.

ඇත්ත වශයෙන්ම පිරිමි අපේ, නිරන්තර ප්‍රතිවාදියා වන ගැහැනිය ගැන යම් හඳුනා ගැනීමක් කරන්නයි මා මෙහිදී උත්සාහ කරන්නෙ. මේ කතාව බොහෝසෙයින් මෙරට ශාස්ත්‍රීය බුද්ධිමතුන්ගේ අවධානයට පාත්‍ර වූ කෙටිකතාවක්. බොහෝදෙනා මෙය වෙනස් ම ආකාරයේ කෙටිකතාවක් බවත් ඔවුන් ඊට බෙහෙවින් ඇලුම් කරන බවත් ප්‍රකාශ කර සිටියා.

මුදල් පරමාර්ථයෙන්ද ඔබ ලේඛනයේ යෙදෙන්නේ?

අනිවාර්යයෙන්ම ඔව්. අන්තර්ජාතික තලයට ගෙන යෑමේ පරමාර්ථයත් ඒකයි. මොකද මුදල් නැතිව තමයි මෙච්චර කල් මම වැඩ කළේ. වැඩිම වුණොත් තව අවුරුදු දහයක් පහළොවක් ජීවත් වේවි. ඒ කාලය තුළ මුදල් නැතිව ඉන්නව කියන්නේ පාපයක්. දුප්පතෙක් වෙලා හැමදාම මේ විදියට ඉන්න බැහැ. ඒක මහ කරුමයක්. අපිට හම්බ කරන්න වෙනත් මාර්ග නැහැ. ඒ නිසා මේ තියෙන හැකියාවෙන් තමයි කීයක් හරි හම්බ කරන්න වෙන්නේ. ඒක කොච්චර දුරට සාර්ථක වෙයිද කියල මම දන්නෙ නැහැ. යම් උත්සාහයක් විතරයි මට තියෙන්නෙ.

මේ කෘතිය තුළ හීනයානය, මහායානය වගේම තන්ත්‍රයාන බෞද්ධ දාර්ශනික චින්තා කැටිව තිබෙනවා.

ඔව් එහෙම දේවල් ඇති. මගේ ජීවිතයට බලපෑම් කරපු බොහෝ චින්තන ධාරා මෙහි තිබෙන්නට පුළුවන්; මාක්ස්වාදය ද ඇතුළු ව. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ජීවිතය කියන්නෙ ලස්සන විකාරයක් කියල විතරයි. අපි කරන්නෙ ඒ විකාරය අස්සෙ දඟලන එක.

අදහස්