පොතක් ලියා මුදලාලි කෙනෙක් වීමේ අපේක්ෂාවක් මට නෑ | සිළුමිණ

පොතක් ලියා මුදලාලි කෙනෙක් වීමේ අපේක්ෂාවක් මට නෑ

  • මෙය පින්තූරයකට කවියක් ලිවීමක් නොවෙයි
  • මේ මගේ කතාව කියලා කෙනකුට දැනෙන්න පුළුවන්
  • කුමක් හෝ පොතක් ලියන්න මට ඕනැ නෑ

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ

“වෙනස සොයා දෙඇස අයා”, “ආර්නෝ ටයිබර් නදී අසබඩ ඉතාලි සැරිසර” හා “හිටි නව කවි” කෘති ත්‍රිත්වය ෆාස්ට්

පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ් ප්‍රකාශන ලෙස දොරට වැඩුම පසුගියදා සිදු විය.

මේ සංවාදය ඒ නිමිතිකොට ගනිමිනි.

මෑතදී එළි දුටු ඔබේ නවතම කෘති ත්‍රිත්වය අතරින් අපි මුලින් ම “හිටිනව කවි” කාව්‍ය ග්‍රන්ථය ගැන කතා කරමු. ප්‍රවීණ ලේඛකයකු, ගීත රචකයකු හා පරිසර වේදියකු වන සුනිල් සරත් පෙරේරා “සිංහල කවියේ ප්‍රගතිය සඳහා නවමු මඟක් හෙළිකර දෙන ග්‍රන්ථයක් ලෙස” එය හඳුන්වා දෙනවා. ස්වභාව සෞන්දර්ය, පරිසරය තේමා කොටගත් මේ නවමු කෘතිය බිහිවූ පසුබිම කෙබඳුද?

දැනට වසර ගණනාවක් තිස්සේ මම හැමදාම උදෑසන හිරු නැ‍ඟෙන්නටත් කලින් පරිසරයට ඉතා සමීපව යම් කාලයක් ගත කරනවා. ඒ ශාරීරික ව්‍යායාමයකටත් වඩා මනසට දෙන ව්‍යායාමයක් හැටියට. අපි ජීවත් වෙන්නෙ නාගරික පරිසරයක වුණත් අපට ආසන්නව පිහිටලා තියෙන දියවන්නාව, කිඹුලාවල, බෙල්ලන්විල අත්තිඩිය තෙත්බිම් ආශ්‍රිතව ඇතිකරපු ඇවිදින මං තීරු පරිශ්‍ර අපට උරුම වූ වාසනාවක් ලෙසයි මම දකින්නෙ. මේවා ජලපෝෂක ප්‍රදේශ වගේම කුරුලු රක්ෂිත හැටියට කාලයක් තිස්සේ පැවැත එනවා.

හැමදාමත් මේ ඇවිදින මං තීරු කාලයක් ගත කරද්දි සාමාන්‍යයෙන් වෙනත් තැනකදී අප නොදකින විරල ගණයේ පක්ෂීන්, උරගයන්, කිඹුලන් පවා අපේ ඇස ගැටෙනවා. මේ සතුන් දැකීමෙන්, ඒ සතුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමෙන් මා විශාල වින්දනයක් ලබනවා. මිනිසුන් වන අප අතර නැති, අපෙන් ගිලිහෙමින් යන යහපත් ගති පැවතුම් පවා මේ සතුන් අතර අප දකිනවා. ඇතැම්විට මේ ගති ලක්ෂණ අපට හිතාගන්නත් අමාරුයි.

පරිසරය කියන්නේ සතා සීපාවා ගහකොළ ආදී මේ හැම දෙයක් ම කාලයෙන් කාලයට ගහකොළවල කුඹුරුයායවල ඇතිවන වෙනස්කම් අපි දුටුවා. කාලයෙන් කාලයට ඒ පැහැයත් වෙනස්. හිරු නැ‍ඟෙද්දී ඒ පරිසරයේ ඇතිවන වෙනස්කම් අපි නිරීක්ෂණය කළා.

මුලින් මම කළේ ඇසට සමීප ‍මේ දසුන් කැමරාවේ සටහන් කර ගැනීම. ඒ මොහොතේ සිතට ආ හැඟීම් නිවසට ගියාට පසුව සඳැස් කාව්‍ය නිර්මාණ බවට පත්වුණා. ඉන්පසුව ඒ ඡායාරූපත් සමඟම රූප නිර්මාණය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහැරියා. “හිටි නව කවි” ඒ නිර්මාණවල එකතුවක්. මේ සියලු කවි ක්ෂණික ව ලියැවුණු ඒවා. ඒ කියන්නේ “එසැණකවි” ඒ මොහොතේ ම කියැවෙන කවි හිටිවන කවි ඒ නමම අනෙක් අතට යොදල මම “හිටිනව කවි” කියල මේ පොත නම් කළා. අවස්ථා 100 කදී විතර ඒ විදිහට ලියැවුණ කවි ඡායාරූපත් සමඟ මේ කෘතියට ඇතුළත්.

පරිසරයට බොහෝ විපත්තීන් ඇතිවන සමයක පරිසරය රැකගත යුතුය යන පණිවිඩය සමාජගත කිරීමක් ඔබ මෙහිදී අරමුණු කළාද? ‍‍‍‍‍‍

මට මෙපමණ සමීප පරිසරයේ පවා ඇති වූ ස්වාභාවික නොවන ඇතැම් වෙනස්කම් අප කම්පනයට පත් කළා. එවැනි අවස්ථාවල සිතට නැඟුණු ආවේගයන් මම මුදා හැරියේ පද්‍ය නිර්මාණ හැටියට ම තමයි. පරිසරයේ සුන්දරත්වය විඳීමට වගේ ම පරිසරය, සතා සීපාවා ගහකොළ රැක ගැනීමටත් මේ කෘතිය කිසියම් උත්තේජනයක් වේවි කියල මම කල්පනා කරනවා.

ගහකොළවලට ජීවයක් ඇති බව, සතුන්ටත් ජීවිතයක් ඇති බව අප කල්පනා කරන්නේ නෑ. අපි අපේ ජීවිතයට ආසා කරනවා ආදරය කරනවා වගේ ම සතුනුත් ඔවුන්ගේ ජීවිතයට ආදරය කරන බව අප අමතක නොකළ යුතුයි.

මේ කෘතියට ලැබෙමින් ඇති ප්‍රතිචාර ගැන ඔබ මොකද කියන්නෙ?

කවි පොත් ඒ තරම් ම මිනිසුන් අතරට නොයන කාලයක වුණත් මේ පොත කැමැත්තෙන් බාර ගත් සැලකිය යුතු පිරිසක් සිටින බව මෙය කියවා අපට අදහස් දක්වපු අයගෙන් පෙනුණා.

මේ පොතේ කවිත් සමඟ පළවන ඡායාරූ ප ගන්නෙත් කාව්‍ය නිර්මාණයකරන කෙනාමයි. මෙය හුදෙක් පින්තූරයකට කවියක් ලිවීම නෙවෙයි.

ඇසින් දකින දර්ශනය ගැන මනසේ කවියක් ලියැවෙන්නේ ඒ මොහොතෙමයි. එය වචන බවට පෙරළෙන්නෙ පසුව. ඒ අදළ දර්ශනය ම කවියත් සමඟ පළ වුණා. මේ විදිහ පාඨකයාට සමීප වූ බව ප්‍රතිචාර වලින් පැහැදිලි වුණා. මම දැකපු මට දැනුණු දේ මේ නිර්මාණ ඔස්සේ අනෙක් අයත් සමඟ බෙදා ගැනීමට ගත් වෑයම සාර්ථකයි කියල හිතෙනවා. මේ ඔස්සේ ඔවුන් පරිසරය ගැන වඩාත් සංවේදී වනවා නම් පරිසරයට මීටත් වඩා ආදරය කරනවා නම් අපේ අරමුණ ඉටුවුණා වෙනවා.

“වෙනස සොයා දෙඇස අයා” යම් සමාජ සිද්ධීන් හා අර්බුද දෙස ඔබේ විමර්ශනාත්මක ඇස යොමුවීමක්. එය සිදුවන්නේ ඒවා සම්බන්ධයෙන් ඔබට ඇති අත්දැකීම් ඔස්සේ. මෙය කිසියම් සමාජමය මැදිහත්වීමක් විය හැකිද?‍

“වෙනස සොයා දෙ ඇස අයා” කෘතිය අපේ රටේ හා සමාජයේ විය යුතු ‘වෙනස” පිළිබඳ අපේ පෞද්ගලික අත්දැකීම් ඔස්සේ සංවාදයට ලක් කිරීමක්. අප එය කරන්නේ එක් තැනකට කොටු කවී නෙවෙයි. අපම ලැබූ සැබෑ අත්දැකීම් ඔස්සේ අප මෙහිදී සාකච්ඡා කරනවා. ඒ අන්දමින් අප කතා කරන්නේ රටේ සිදුවුණු හා සිදුවන දේ ගැනයි. ඒ ඔස්සේ සිදුවිය යුතු දේ ගැන අපේ සිතේ ඇති අදහස නිදහස්ව ප්‍රකාශ කිරීමක් මේ. රට වැසියන් හැටියට අපේ බලාපොරොත්තුව රටේ ඉදිරිගමන නිවැරැදිව වෙනවා දැකීම. ඒ සඳහා අපට කළ හැකි කාර්යය ගැනයි මම මේ කෘතිය මඟින් කතා කරන්නේ.

මේ කෘතිය තුළ මගේ චරිත කතාව වුණත් තියෙනවා කියලා කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඒක අසාධාරණ සිතිවිල්ලකුත් නෙවෙයි. මොකද, කුඩා කාලයේ පටන් මේ දක්වා ලැබූ අත්දැකීම් ඒවාට සම්බන්ධ චරිත පවා මෙහි බද්ධ වන නිසා.

පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ඇතැම් ප්‍රශ්න හා අර්බුද ගැන අපට ඇති අත්දැකීම් ඔස්සේ මේ කෘතියේ සඳහන් වෙනවා. එමඟින් ඒවා නිවැරදිව වටහා ගැනීමට කිසියම් මඟ පෙන්වීමකුත් සිදුවනවා ඇති. එසේම ඒවා අනාගතයට පාඩම් වනවාත් ඇති.

අපි මේ කෘතිය ඉදිරිපත් කළේ සිවිල් සංවිධාන ලෙස හඳුන්වාගන්නා සංවිධාන හිවල් සංවිධාන බවට පත්ව තිබියදී ‘වෙනස’ කවර වෙනසක් විය යුතු දැයි විමසමින් කාලීන ප්‍රශ්න මාතෘකා කොට ගනිමින් අප සැපයූ පුවත්පත් ලිපි එකතුවක් වන මේ අර්ථාන්විත වෙනසකට කිසියම් මඟ පෙන්වීමක් කරනු ඇතැයි සිතනවා.

ආර්නෝ, ටයිබර් නදී අසබඩ ඉතාලි සැරිසර” කෘතිය සංචාරක සාහිත්‍ය කෘතියකට එහා යන එවැනි කෘතියක්. ඉතාලියේ සංචාරයට කැමැති සංචාරකයකුට කදිම මාර්ගෝපදේශක අත්පොතක් හැටියටත් එය හැඳින්වීමට පුළුවන්. රෝමය හරහා ගලා බසින ටයිබර් නදිය, ප්ලොරන්ස්, ටස්කන්ස් වැනි ප්‍රදේශ ආශ්‍රිතව ඇදී යන ආර්නෝ නදියත්, ඩාවින්සි, මයිකල් ඇන්ජලෝ, ගැලීලි වැනි විශිෂ්ටයන් ගැනත් ආදී වශයෙන් එහිදී පාඨකයා දැනගන්නා කරුණු විචිත්‍රයි. කොහොමද මේ කෘතිය ලියැවුණේ ?

මෙය ලියැවුණේ අප කළ ඉතාලි සංචාරයකින් පසුව නිකම් ම වාර්තාවක් ලියනවා වෙනුවට සංචාරක සටහනකට එහා ගිය දෙයක් ඉදිරිපත් කිරීම මගේ අපේක්ෂාව වුණා. ඒ රටේ ඉතිහාසය දැකීමට උත්සාහ දරණ අතර ම අපට එතැනින් ගලපා ගත හැකි කාරණා මොනවාදැයි පෙන්වා දීමටත් මෙහිදී අප වෑයම් කර තිබෙනවා. එය රට පැත්තෙන් අපට වටිනවා.

අපි මේ සංචාරය කළේ එහිදී ස්පර්ශ කළ යුතු වටිනාකම් ගැන පූර්ව හැදෑරීමකින් පසුව. ඒ නිසාත් එය අපේ අපෙක්ෂා ඉහළින් ම ඉටු වූ සංචාරයක් වුණා. ඒ අත්දැකීම් බෙදා හදා ගැනීම මෙන් ම ඉතාලි සංචාරයකට කැමැත්තක් දක්වන කිසිවකුට මාර්ගෝපදේශයක් සැපයීමටත් මේ කෘතිය සම්පාදනය කිරීම මඟින් අප අපේක්ෂා කළා.

මේ කෘතිය සඳහා ගත් වෙහෙස මගේ අනෙක් කෘති සඳහාත් වෙහෙසට වඩා වැඩියි. ඒ, මා ලැබූ අත්දැකීම් වලට ඉතාලි ඉතිහාසය පිළිබඳ හදාරා ලැබූ අත්දැකීම් ද එකතු කළ යුතුවූ නිසා. වෙහෙසකර අත්දැකීමක් වුණත් අපට ඒ ගැන තෘප්තියක් තියෙන්නෙ මෙය සංචාරක සටහනක් ලෙස රසවිඳීමට කැමැති කෙනකුට ඒ විදියටත් ඉතාලියට යාමට කැමැති කෙනකුට මා‍ර්ගෝපදේශයක් හැටියටත් ඉදිරිපත් කිරීමටත් පුළුවන්වීම නිසා.

සමස්තයක් ලෙස මේ කෘති මඟින් කරන ශාස්ත්‍රීය මෙන් ම සමාජීය මැදිහත්වීම ගැන අපි කතා කරමු?

කිසියම් නිර්මාණයක් කරද්දි රටට හා ජනතාවට ඇති වැදගත්කම ගැන අපට සිතන්න වෙනවා. මොකද නිර්මාණයකින් අප අපේක්ෂා කරන්නේ රටේ හා සමාජයේ යහපත් වෙනසක් නිසා. නිර්මාණයකදී රසවින්දනයටත් විශාල වටිනාකමක් දිය යුතුයි. එතැනදී ශාස්ත්‍රීය හා සෞන්දර්යාත්මක කාරණා එකතු කළ යුතුයි. රටේ ජනතාවගේ රසවින්දනයට යම් උත්තේජනයක් ඇති කළ හැක්කේ එවිටයි. අන්තර්ගතය භාෂා ව්‍යවහාරය ආදී මේ සියල්ල අප සිතන ඉලක්කයට පාඨකයා රැගෙන යෑමට උපකාරී විය යුතුයි.

අදටත් මට තියෙන්නේ මොකක් හෝ පොතක් ලිවීමේ වුවමනාව නෙවෙයි. පොතකින් මූල්‍යමය ලාබ ලැබීම ගැන මේ දක්වා මම හිතලා නෑ. ඉදිරියට හිතන්නෙත් නෑ. පොතක් ලිවීමෙන් මම උපරිම තෘප්තිය ලබන්නේ මම ම දරන අදහස් තවත් පිරිසක් සිතීමට පෙලඹවීම සඳහා බලපෑ බව දැන ගැනීමෙන්. එසේ නැතිව පොතක් ලියා මුදලාලි කෙනෙක් වීමේ අපේක්ෂාවක් අපට නෑ.

 

 

අදහස්