නවකතා පිස්සුව | සිළුමිණ

නවකතා පිස්සුව

මට ගඟට නොයා ඉන්ඩ බැරුව ගිය හින්දම මං ප්‍රාථමික ඉස්කෝලෙට වැඩිපුර ගියේ නෑ. ඒ හින්ද මං හුඟක් වෙලාවට හිටියෙ ගඟේ. තනියම නෙමේ; ඉස්කෝලෙ යාළුවොත් එක්ක. ගඟට එහායින් කැලෑවක් තිබුණා; ඒ හින්ද අපිට ගවේෂණය කරන්ඩ ඕනෑ තරම් භූගෝල විද්‍යාත්මක දේවලුත් තිබුණා. එහෙම උණාම ඉස්කෝලෙ තියෙන ඇට්ලස් පොත ගණන් ගන්නෙ කවුද? කොන්ස්තන්තිනෝපල් නුවර කොහෙ තියෙනවද කියන එක මං ගණන් ගත්තෙ නෑ; මං මගෙම කැලෑව, ගංගාව ගවේෂණය කළා; ඒවයෙ කරන්ඩ වැඩ ඕනෑ තරම් තිබුණා.

අපේ ආච්චි මට ටිකින් ටික කියවන්ඩ පුරුදු කරල තිබුණු හින්දා මං පොත් කියවන්ඩත් පටන් ගත්තා. අපේ ටවුමෙ තිබිච්ච පුස්තකාලෙ මට කලින් හරි මට පස්සෙ හරි මං තරං හොඳට පාව්ච්චි කරපු කෙනෙක් ඇති කියල මං හිතන්නෙ නෑ. එදා මං පොත් කියවන්ඩයි, සටහන් ලියාගන්ඩයි හුරුවෙලා හිටිය තැන ඒගොල්ලො දැන් හැමෝටම පෙන්නනවා. ඇත්තම කියනව නං ඒගොල්ලො මිනිස්සුන්ට පෙන්නල දෙන්ඩ ඕනෑ; අන්න එතනින් තමයි ඒගොල්ලන්ට මාව එළෝගන්ඩ ඕනෑ වුණේ කියල. ඔවුන් මට එතනින් යන්ඩ කියල දිගින් දිගටම තර්ජනේ කරලත් තිබුණා.

මං පොත් කියවන්ඩ පටන් ගත්තට පස්සෙ අලුත් මාන විවර වෙන්ඩ ගන්නවා. මං මුළු පුස්තකාලෙම ගිලල දැම්මා. ඒ විතරක් නෙමෙයි; මං ආස කරපු පොත් අරගෙන ගිහින් රෑට රෑට අපේ ආච්චිට ඇහෙන්ඩ කියවන්ඩත් පුරුදුවෙලා හිටියා. මං ආච්චිට කියෝපු මුල්ම පොත තමයි ‘මිර්ඩෑඩ්ගෙ පොත’. ඒකෙ තියෙන්නෙ දිග කතා. ඉතින් මං පොත කියවගෙන කියවගෙන පොතේ මැද හරියට යනකොට ඔන්න ආච්චි එක්කො වාක්‍යයක තේරුම නැත්තන් එක්තරා ඡේදයක හරි පරිච්ඡේදයක හරි තේරුම අහනවා.

‘නානි, මං ඒ හරිය ඔයාට කියවගෙන ගියානෙ. ඔයා ඒක හරියට අහගෙන ඉඳල නෑ’ එතකොට මං කියනවා.

‘උඹ කියවගෙන යනකොට මට උඹේ කටඅඬ අහන්ඩ ආසයි. ඒ හින්ද ඒ කියාපු දේවල් සේරම මට මතක නැතිවෙනවා. මට නං පුතේ උඹ තමයි මගෙ මිර්ඩෑඩ්’ ආච්චි කියනවා.

ඒ හින්ද ආයෙත් උන්දැට කතාව විස්තර කරල දෙන්ඩ මට සිද්ධවෙනවා. ඒක මට හොඳ පුහුණුවක් වුණා. තමන්ට යාගන්ඩ බැරි ගැඹුරකට යන්ඩ කෙනෙකුට උදව් කරන එක, එයාගෙ අතින් අල්ලගෙන ටිකින් ටික ඒ ගැඹුරට බස්සවන එක මගෙ ජීවිතේ බවට පත් වුණා.

මං සැලසුම් කරල වැඩ කරන කෙනෙක් නෙමේ. ඒ හින්දයි මං තාමත් කැලෑ වැදිල ඉන්නෙ. මිනිස්සුන්ට සත්‍යවබෝධය ලබන්ඩ උගන්න උගන්න මං මේ මොනවද කරන්නෙ කියල සමහර වෙලාවකට මටම හිතාගන්ඩත් බැරුව යනවා. ඔවුන් සත්‍යවබෝධය ලැබුවට පස්සෙ වහාම මං පටන් ගන්නව සත්‍යවබෝධය නොලබා සිටින්නෙ කොහොමද කියල උගන්නන එක. නැත්තං මම මොනවද කරන්නෙ?

මං පොත් දාස් ගානකට ආදරය කරල ඇති. ඒත් මට තුර්ගිනිෆ්ගෙ ‘පියවරු සහ පුත්තු’ තරම් හොඳ පොතක් තිබුණෙ නෑ. මං ඒක කියවන්ඩ කිය කිය අපේ අසරණ තාත්තට දිගින් දිගට ම බලපෑම් කෙරුවා. දැන් එයා මිය ගිහින්. නැත්නම් මට තිබුණ ගිහින් ඒ ගැන සමාව ගන්ඩ. ඇයි මං ඔහුට ඒ පොත කියවන්ඩ කියල බල කළේ? එයයි මායි අතර තිබිච්ච පරතරය තේරුම් කරල දෙන්ඩ මට තිබිච්ච එකම ක්‍රමය තමයි ඒක. එයත් ඇත්තට ම පුදුම මනුස්සයෙක්. මං කිව්ව හින්දම එයත් ඒක නැවත නැවතත් කියවන්ඩ පුරුදුවෙලා හිටියා. ඔහු හුඟ සැරයක් ඒ පොත කියෙව්ව විතරක් නෙමේ එයයි මායි අතරෙ තිබිච්ච හිඩැස නැතිකරන්ඩ පාලමකුත් හැදුවා.

ඉන්පස්සෙ අපි තවදුරටත් තාත්තයි පුතයි වුණේ නෑ. තාත්තල පුත්තු- අම්මල දූල කියන ඥාතිත්වය ලස්සන එකක් නෙමේ. අපි යාළුවො බවට පත් වුණා. තාත්තෙකුටයි පුතෙකුටයි යාළුවො විදිහට සම්බන්ධයක් ගොඩනඟා ගන්ඩ අමාරුයි. එත් ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නෙ තාත්තටයි.

ලියෝ ටෝල්ස්ටෝයි අතිප්‍රබල කලා කෘතියක් නිරිමාණය කරල තියෙනව. ඒක මට බයිබලය වගේ උණා. ඒ තමයි උට්ඨානය.

මං තරුණ කාලෙ යන යන තැන්වල ටෝල්ස්ටෝයිගෙ උට්ඨානය නවකතාව උස්සගෙන ගිය හැටි තාම මට මතකයි. ඒක අපේ තාත්තටත් ප්‍රශ්නයක් වුණා. ‘පොතක් කියවන එක වෙනම දෙයක්. ඇයි ඔයා දවස තිස්සෙ යන යන තැන්වල ඔය පොත අරගෙන යන්නෙ? ඕක කියවලනෙ තියෙන්නෙ?’ තාත්ත ඇහැව්වා.

‘ඔව්. සැරයක් නෙමේ හුඟ සැරයක් කියවලයි තියෙන්නෙ. ඒත් මං ඒක උස්සගෙන යනවා’ මං කිව්වා. මං ටෝල්ස්ටෝයිගෙ උට්ඨානය යන යන තැන්වල අරගෙන යන බව ගමම දැනන් හිටියා. මට පිස්සු කියලයි ඒ අය හිතාගෙන හිටියෙ. පිස්සු මිනිහකුට ඕනැම දෙයක් කරන්ඩ පුළුවන්නෙ. මං රෑ බුදිය ගත්තෙත් ඒ පොත මං ගාවින්ම ඇඳ උඩ තියාගෙනයි. මං ඒකට ආදරේ කළා. ලියෝ ටෝල්ස්ටෝයි ජේසුස්ගෙ මුළු මහත් පණිවිඩය ම ඒ පොතෙන් පරාවර්තනය කරනවා. ටෝල්ස්ටෝයි තොමස් ඇරෙන්ඩ ජේසුස්ගෙ අනිත් සගයො (ඇපොස්තල්වරු) එකොළොස්දෙනාම පහුකරගෙන ගිහින් තියෙනවා.

මං ගෝර්කිට කැමති නෑ. මොකද මට කොමියුනිස්ට්කාරයො පෙන්නන්ඩ බෑ. ඒත් මං ගොර්කි ලියපු ‘අම්මා’ නවකතාවට මං ආදරෙයි. මං ගාව ඒකෙ පිටපත් බර ගානක් තිබුණා.

‘මැක්සිම් ගෝර්කිගෙ අම්ම නවකතාවෙ එක පිටපතක් තිබුණම මදෑ. මොකද තවත් පිටපත් ඕඩර් කරන්නෙ? ඔයාට පිස්සුද?’ තාත්ත ඇහුවා.

‘ඔව්. ගොර්කිගෙ අම්ම නවකතාවට මං පිස්සු වැටිලයි ඉන්නෙ’ මං කිව්වා. අපේ අම්මව දකිද්දි මට ගෝර්කි මතක් වෙනවා.

 

ලබන සතියට

අදහස්