උඹට මං මතකයිද? | Page 2 | සිළුමිණ

උඹට මං මතකයිද?

කැලණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය විසින් 2018 වස‍රේ පැවැත්වූ ප්‍රාසංගික මාධ්‍ය හා සාහිත්‍ය තරගාවලිය සඳහා ඉදිරිපත් වූ පද්‍ය කාව්‍ය නිර්මාණ අතරින් දෙවන ස්ථානය දිනා කලණ නිර්මාණ සංග්‍රහයේ පළ වී ඇති නිර්මාණය මෙවර කවි සමය රස විඳුමට ලක්වේ.

කලා මණ්ඩල සභාපති මහැදුරු ආරියරත්න ඇතුගලගේ උපදේශකත්වයෙන් හා බුද්ධික ජයසුන්දරගේ සංස්කාරකත්වයෙන් පළවී ඇති කලණ සඟරාවට ඇතුළත් වූ ජයග්‍රාහී නිර්මාණයෙහි හිමිකාරිය වන්නී විද්‍යාපීඨ මාණවිකාව, වී.ඩී. සචිත්‍රානි ය‍. අත්දැකීමට මුල්වන පුවත අපූර්ව එකකැයි එක්වර නොහැඟෙන මුත්, කිවිඳිය විසින් තම පරිකල්පනයෙන් ඒ පුවතට නව අර්ථකතථනයක් එක් කරන්නීය. “උඹට මං මතකයිද” නිර්මාණය මෙසේ ය.

උඹට මං මතකයි ද නාමලී නංගියේ

මං උන්නෙ උඹේ ගෙට එහා පොඩි පැල්පතේ

ලොකු අයියෙ කිය කියා එල්ලිලා මගෙ අතේ

ඉස්කෝලෙ යන්නෙ නෑ මං නැතුව කිසි දිනේ

 

කීන දං හිඹුටු අඹ පේර ඇති මණ්ඩියේ

රතු නෙළුම් මානෙල් ද මල් පිපුණු වැව් දියේ

මගේ අත එල්ලිලා ආ ගියපු මග දිගේ

තාම හිත දුවනවා නැතිවාට උඹ ගමේ

 

හිටියාට මං ඉතින් අන්තිම ම පේළියේ

උඹ උන්නෙ ඉස්කෝලෙ ඉස්සරහ බංකුවේ

මට අකුරු ඉලක්කම් සරදමට හිනැහුණේ

අට වසර පන්තියෙන් එළියටම විසි වුණේ

 

උඹ ඉතින් හැමදාම ‍ඉගෙනුමට හපනිනේ

ටවුමෙ ලොකු ඉස්කෝලෙ දොර ඇරුණෙ ඒකනේ

මහ වැවත් වේළිලා නෙළුම් මල් පර වුණේ‍

මං තමයි අන්තිමට උඹ නැතුව තනි වුණේ

 

ඉඳහිටල උඹ ගමට ආ බවත් සැල වුණේ

වෙනද වගෙ උඹ නෑනෙ මා එක්ක හිනැහුණේ

බැද්දෙ මාදං හිඹුටු උඹට නුහුරක් වුණේ

ටවුමෙ සුර සැප කොහෙද මේ හද්ද වන්නියේ

 

බලන් උන්නේම මං උඹ ගැනයි නංගියේ

ඒත් උඹ රහසේම දීග ගියෙ ටවුමෙනේ

ආයෙමත් ගම ආවෙ නෑ නේද නංගියේ

ඉඩෝරෙට මල් පිපේවිද ඉතින් වන්නියේ

 

ආවෙ මං කච්චේරි උප්පැන්නෙ ගන්නනේ

අහම්බෙන් මම දැක්කෙ උඹ එතන ලොක්කිනේ

නොදැක්කා වාගෙ උඹ ගස්සගෙන ඇයි ගියේ

අඳුනන්න බැරි ද මං උඹේ ලොකු අයියනේ

 

ගමේ පාසලේ එකට අකුරු කළ, ළෙන්ගතුව ආදරයෙන් සිටි යෞවනයෙකු හා යෞවනියකගේ ආදර කතාවක දුක්බර අවස්ථාවක් මේ අත්දැකීමෙහි වේ. ගමේ පාසලේ එක පන්තියේ අකුරු කළ, කතානායකයාගේ යාබද නි‍ෙවසෙහි විසූ නාමලී නංගී ඔහුට වඩා ඉගෙනුමෙහි දස්සියයි. ඔහු පන්තියේ අන්තිම පේළියේ සිටින කල ඈ ඉස්සරහ බංකුවේ ය. අද ඈ ගම නැතිව ද ඔහුගේ අතීත මතකයේ ඈ ජීවත්

වේ‍. ඉගෙනීමට දස්කම් නොවූ ඔහු අටේ පන්තියෙන් පාසල හැර යන කල, ඈ නගරයට ගොසිනි. අතීත සුන්දර මතක මෙන් ම ඔවුන් දෙදෙනාගේ ඈත්වීම ද කිවිඳිය අපූරු කවි බසකින් මෙන් ම කාව්‍යෝතීන්ගෙන් ද චිත්‍රණය කරයි.

මහ වැවත් වේළිලා නෙළුම් මල් පරවුණේ

මං තමයි අන්තිමට උඹ නැතුව තනි වුණේ‍‍

මහවැව වේළිලා, නෙළුම් මල් පරවුණේ නාමලී නංගී ගම හැර ගිය බැවිනි. ඇගේ මතකයෙන් ඔහු ඈත් වී යන්නේ, ඈ රහසින් ම විවාපත් වී සිදාදියෙහිම ජීවත් වූ බැවිනි. වන්නියේ ඉඩෝර සමයේ දී මල් නොපිපෙන බව ඔහු දනී. ඇගේ ආදරය ද යළි ඔහුට නොලැබෙන බව කිවිඳිය ව්‍යංග්‍යයෙන් පැවසූ අයුරුයි ඒ. මෙබඳු පෙම් සබඳතා බිඳ වැටීම් සුලබ වූවත් සචිත්‍රානි කිවිඳිය තම නිර්මාණයේ කූට ප්‍රාප්ත අවස්ථාව හෘද සංවේදී සිදුවීමකින් ද සටහන් කරයි.

ගමේ පෙම්වතාට නගරයට එන්නට සිදුවන්නේ අහම්බෙනි. ඔහු නගරයේ කච්චේරියට පැමිණෙන්නේ ඔහුගේ උප්පැන්නය පිළිබඳ ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට ය. එහිදී ඔහුට අත්විඳින්නට සිදුවන්නේ කෙබඳු අනපේක්ෂිත සිදුවීමකට ද? නාමලී නංගී, කච්චේරියේ ඉහළ තනතුරක සිටින බව ඔහු දකී. එහෙත් ඈ ඔහු නොදුටුවා සේ ගස්සාගෙන යන්නීය. ගමේ ඈ සමඟ එකට අකුරු කළ, රතු නෙළුම් මානෙල් මල් පිපුණු වැව්දියේ ඔහු අතේ එල්ලිලා ගමන් ගිය ඇයට ඔහු කෙලෙස අමතක වී ද? ඔහු සිත දුකින් පිරේ.

අඳුනන්න බැරිද මං උඹේ ලොකු අයියනේ

ඔහුගේ පැනය එපමණකි. සරල පුවතක, මතුපිටින් පෙනෙන, සරල බවට යටින් දිවෙන ශෝකීය හැඟීමකින් කවියේ කතානායකයා දෙස බලන්නට කළ ඇරියුමක් වැන්න මේ නිර්මාණය. සංක්ෂිප්ත ගුණය පිළිබඳ කිවිඳිය සැලකිලිමත් වී නම්, නිර්මාණයෙහි අගය තවත් වර්ධනය වන්නට ඉඩ තිබිණැයි හැ‍ඟේ.

Comments