ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ‍සොඳුරු මතක | සිළුමිණ

ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ‍සොඳුරු මතක

1896 දී ඇමෙරිකාවේදී උපන් වොලිබෝලය වසරින් වසර විවිධ රටවලට සංක්‍රමණය වෙමින් 1916 දී ලංකාවට ආගමනය විය. ඒ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ එවකට ශාරිරික අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාව සිටි ඇමෙරිකානු ජාතික වෝල්ටර් ජේ. කැමක් මහතාගේ මගපෙන්වීම අනුවය. ක්‍රිඩා සමාජ පිහිටුවා විවිධ තරගමලා ඇරැඹීමත්, ඒ සඳහා ක්‍රිඩක සහභාගීත්වයත් නොඅඩුව ලැබීමත් නිසා ඉක්මනින්ම ජනප්‍රියත්වයට පත් වූ වොලිබෝලයට නිල පිලිගැනීම ලැබෙනුයේ 1951 සැප්තැම්බර් මස 04 වන දින ලංකා වොලිබෝල් සම්මේලනය පිහිටුවීමත් සමගමය. එදා සිට ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ සොඳුරු මතක සටහන් ගැන ලියැවෙන ලිපියේ 8 වන කොටසයි මේ.

ටී.බී.බී.ගුණතිලක මෙහෙයවු පොලිස් කණ්ඩායම අන්තර් සමාජීය ශුරතාව සමඟ ජාතික අන්තර් දිස්ත්‍රික් ශුරතාවය ද 1971 වසරේදී දිනා ගැනිමට සමත් විය. එල්.පී. පෙරේරා මෙහෙයවු යුධ හමුදා කණ්ඩායම 1974 වසරේදීත් ඩබ්.එල්. පියරත්න මෙහෙයවු ගම්පහ කණ්ඩායම 1975දීත් අන්තර් දිස්ත්‍රික් ශූරතාව හිමිකරගත් අතර 1975 වර්ෂයෙන් පසු අන්තර් දිස්ත්‍රික් වොලිබෝල් තරගමාලාව පැවැත් වු බවට අනාවරණය නොවේ.

ජාතික කාන්තා ශුරතාව

නන්දා ගනේගොඩ මෙහෙය වු කොලොන්නාව සෙන්ට්‍රල් කණ්ඩායම 1970, 72, 73,74,75,76 වර්ෂවලදී ජාතික කාන්තා ශුරතාව දිනා ගත් අතර මධුකා සනාතනි කිරිඇල්ල මෙහෙයවු වැල්ලම්පිටිය මිත්‍ර කාණ්ඩායම 1979 වර්ෂයේදී ජාතික කාන්තා ශුරතාව දිනා ගන්නා ලදි.

ලංකාදීප කුසලාන පාසල් තරගමාලාව

ලලිත් ජිනසේන මෙහෙයවු පොතුපිටිය මහා විදුහල 1973 වර්ෂයේදීත් ලක්ෂ්මන් මෙන්ඩිස් මෙහෙයවු ගම්පහ බණ්ඩාරනායක මහා විදුහල1975 වර්ෂයේදීත් පසු කලෙක ඊලාම් යුද්ධය වෙනුවෙන් දිවි පිදු රණවිරු ප්‍රදීප් පද්මකුමාර මෙහෙයවු කටාන රද්දොළුව මහා විදුහල 1976 වර්ෂයේදීත් ලංකාදීප කුසලානයට හිමිකම් කී පාසල් වේ.

පුරා වසර 24ක් 1952 වර්ෂයේ සිට 1976 දක්වා ලංකාදීප කුසලානයේ අතීතය පිළීබඳව කරුණු විමසීමේදී පෙනීයන වැදගත්ම කරුණ නම් ලංකාදීප කුසලානයන් තම විදුහල්වලට ලබාදීමට නායකත්වය ලබාදුන් එසේම ක්‍රීඩකයන් වශයෙන් ක්‍රීඩා කල ක්‍රීඩකයන් වැඩි දෙනෙකු පසුකලෙක ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය ලබාදීමට සහ නියෝජනය කිරීමට ද භාග්‍ය ලැබීම ලංකාදීප කුසලාන අතීත වංශකතාවේ විශේෂතම මතක සටහන් වේ. ලංකාදීප කුසලාන තරගමාලාව පාසල් ක්‍රීඩකයන්ට වොලිබෝල් ක්‍රීඩාවේ තෝතැන්නක් බවට පත්ව තිබූ අතර පාසල් ක්‍රීඩකයන් ජාතික තලයට රැගෙන ඒම සඳහාද දැක්වූ දායකත්වය අතිමහත්ය. තරගමාලවේ ආරම්භයේ සිටම අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ට පමණක් සීමාවූ වයස් සීමා කඩඉම 1967 වර්ෂයේදී ඉවත් කිරීම නිසා එම වසරේදී පාසල් ක්‍රීඩකයන්ගේ අනන්‍යතාවය මදකට ගිලිහී ගිය නමුත් 1968 වර්ෂයේදී නැවත එම වරද නිවැරදි කිරීමට වොලිබෝල් සම්මේලනය පියවර ගැනීම නිසා නැවතත් ලංකාදීප කුසලාන තරගමාලවේ අයිතිය පාසල් ක්‍රීඩකයන්ට ලැබිනි.

 

අදහස්