ගුටි කෑවත් පාඩම් කළත් අපි එකට | සිළුමිණ

ගුටි කෑවත් පාඩම් කළත් අපි එකට

ශ්‍රී ලංකාවේ බාලිකා විද්‍යාල දෙකක් අතර ආරම්භ කළ මොට්වානි අභියෝග ශූරතා රන් මහා දැල් පන්දු (නෙට්බෝල්) සටන කොළඹ විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සුජාතා විද්‍යාලය අතර පැවැත්වීය. එහි දී සමාරම්භක තරගයේදීම ශූරියන් වීමට විශාඛා විද්‍යාලය සමත් විය. ශ්‍රී ලංකේය ක්‍රීඩා බිමේ රග්බි සහ පාපන්දු තරගවලට පමණක් සීමා වී තිබුණු තුරග තරග පිටිය මෙකී තරගාවලියට ද සිය දායකත්වය ලබා දීම විශේෂත්වයකි. සමාරම්භක තරගාවලියේ සත්කාරකත්වය සුජාතා විද්‍යාලයට හිමි විය. ක්ලාරා මොට්වානි විදුහල්පතිනියක් ලෙස මේ දෙවිදුහල්වලටම දීර්ඝ කාලයක සේවය කර තිබේ. එමෙන්ම සුජාතා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනියද ඇයයි.

වයස අවුරුදු 17 න් පහළ තරගය ලකුණු 20-3 ක් ලෙස ජයගත් විශාඛා විද්‍යාලය, 19න් පහළ තරගය ලකුණු 49-10 ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.

මේ එකි තරගාවලිය පිළිබඳ විශාඛා විද්‍යාලයේ 19න් පහළ කණ්ඩායමේ නායිකාව තමාදි දිසාරා සමඟ කතාබහකට අප වෙන් කළ ඉඩකඩයි.

මේ තරගයට එනකොට මොන වගේ බලාපොරොත්තුවක්ද තිබුණේ?

අපට ලොකුවට පුහුණුවීම් කිරීමට නම් ලැබුණේ නෑ. නිවාසාන්තර ක්‍රීඩා තරග තිබුණා. මේ නිසා තමයි අපට ලොකු පුහුණුවීම්වලට යන්න බැරි වුණේ.

ඒ වුණාට පුහුණුකරුවන් සමඟ අන්තිම සතියේ හොඳ පුහුණුවක් ලැබුණා. ඒ පුහුණුව තුළින් අපි හිතුවා හොඳ තරගයක් දීලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා

හැබැයි තරගයක් නම් තිබුණේ නෑ?

ඇත්තටම ඔව්, අපට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන දෙන්නෙක් ඉන්නවා. මෙලානි සහ නටාෂා, ඒ දෙන්නා ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කරනවා. ඒ දෙන්නාගෙන් මේ තරග‍යේ අපට ඉදිරියට යන්න ලොකු සහයෝගයක් ලැබුණා. සමස්තයක් විදියට ගත්තම පාසල් තරගවල හොඳම ක්‍රීඩිකාවන් අප සතුව ඉන්නවා.

මේ වගේ මහා තරගයක් පැවැත්වීම ගැන මොකද හිතෙන්නේ?

අපට ඇත්තටම හරියට ම අදහසක් තිබ්බේ මේ තරගය පැවැත්වෙන විදිය ගැනවත්. මේ තරම් ලොකුවට තියෙයි කියලා හිතුවෙත් නෑ.

මේ තරගය සංවිධානය කරලා තිබුණේ සුජාතා විද්‍යාලය. අපට ආරාධනාවක් තිබුණා. අපේ විදුහල්පතිතුමිය මේ ආරාධනය පිළි අරගෙන තිබුණා. මොට්වානි හිටපු විදුහල්පතිනිය සුජාතා විද්‍යාලයේ සමාරම්භක විදුහල්පතිනිය. ඒ වගේම අප විද්‍යාලයෙත් විදුහල්පති ධූරය දරලා තියෙනවා. එතුමියට උපහාරයක් විදියට තමයි මේ තරගාවලිය පැවැත්වුණේ. වයස අවුරුදු 17-19 න් පහළ කණ්ඩායම් දෙකම මේ තරගාවලියට ක්‍රීඩා කළා.

මෙය වාර්ෂිකව පැවැත්වෙන තරගාවලියක් වෙයිද?

දැනට සංවිධාන කමිටුව එහෙම තමයි අදහස් කරගෙන ඉන්නේ. මම ක්‍රීඩා කරපු අන්තිම අවුරුද්ද. ඉදිරි තරගාවලිවල දී අපේ නංගිලා මේ තරගාවලියට එකතු වෙයි.

ඔබේ නෙට්බෝල් පසුබිම ගොඩනැ‍ඟෙන්නේ කොහොමද?

හය වසරේ ඉඳලම නෙට්බෝල් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ අවුරුදු 12න් පහළ ඉඳලා. එතැන ඉඳලම මේ කණ්ඩායම තමයි උඩට එන්නේ. දෙන්නෙක් තුන්දෙනෙක් අපොස උසස් පෙළ පන්තිවලින් ආවේ. අනිත් ඔක්කෝම පොඩි කාලයේ ඉදලා එකට හිටියේ. අපේ ටීම් එකේ හොඳ එකමුතුකමක් තියෙනවා. සමස්ත ලංකා තරගාවල අපි අනිවාර්යෙන්ම අවසන් තරගවලට එනවා. තව අවුරුද්දක් විතර නෙට්බෝල් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ පවුලේ තොරතුරු?

අම්මා, ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ කරනවා. තාත්තා ව්‍යාපාරික කටයුතු කරනවා. අපේ ටීම් එකේ අයගේ මවුපියන් අපට හොඳ සහයෝගයක් දෙනවා. කෑම බීම පවා ටීම් එකටම ගෙනත් දෙනවා. පිට පළාත් තරගවලට ගියාම ඒ පහසුකම් හැම දෙයක්ම ලබා දෙනවා. අම්මාත් පාසල් කාලයේ නෙට්බෝල් ක්‍රීඩා කරලා තියෙනවා.

අම්මද ඔබව නෙට්බෝල් ක්‍රීඩාවට යොමු කළේ?

ඔව්. මම වෙන ක්‍රීඩාවලට යොමු වෙලා ඉන්න කොට අම්මා තමයි නෙට්බෝල් ක්‍රීඩාවට මාව යොමු කළේ.

අම්මාත් විශාඛා විද්‍යාලයේ ඉගෙන ගෙන තියෙන්නේ. අම්මා දීපානි කරුණාරත්න. ඒ ආභාසයත් එක්කම වගේ තමයි මට නෙට්බෝල් ක්‍රීඩාවෙන් මෙතරම් දුර එන්න පුළුවන් වුණේ. අපේ පවුලේ මම විතරයි.

ඔබේ අධ්‍යාපන කටයුතු?

අපොස උසස් පෙළ හදාරනවා. අපේ ටීම් එකේ තුන් දෙනෙක් හැර ඉතිරි ඔක්කෝම ඊළඟ අවුරුද්දේ අපොස උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා. අපොස සාමාන්‍ය ප්‍රතිඵල ඉහළ ම මට්ටමින් අපේ විද්‍යාලයට තියෙනවා. ඔක්තෝබර් දක්වා හොඳට පුහුණුවීම් කරලා දෙසැම්බර් මාසයේ විභාගයටත් හොඳට මුහුණ දීලා තියෙනවා. මම වාණිජ අංශයෙන් තමයි ඉගෙනීම් කටයුතු කරන්නේ.

ඔබ යොමුවෙලා හිටපු අනිත් ක්‍රීඩා මොනවාද?

පොඩිම කාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩා කළා. ඊට පස්සේ තමයි අම්මා කියලා නෙට්බෝල් ක්‍රීඩාව තෝරා ගත්තේ. ක්‍රීඩා දෙකක් කරන්න අමාරුයි. බැඩ්මින්ටන් අතහැරුණා කියලා සමහර වෙලාවට දුකක් කනගාටුවක් නැතුව ම නොවෙයි. නෙට්බෝල් කණ්ඩායම් ක්‍රීඩාවක්. මේ කණ්ඩායම් ක්‍රීඩාවේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. එකතු වෙලා වැඩ කරන්න. අපි පුරුදු පුහුණු වුණේ නෙට්බෝල් නිසා. කෑම කන්න, පාඩම් කරන්නේ, බැනුම් අහන්නේ පවා එකට, මේ එකමුතුකම හැදුණේ නෙට්බෝල් නිසා. බැඩ්මින්ටන් වගේ කේවල ක්‍රීඩාවන්ගෙන් ඉදිරියට ගියා නම් මට මේ තරම් සමාජ ග‍නුදෙනුවකට හුරු නොවෙන්න තිබුණා.

මේ දේවල් එක්ක විනෝදාංශයකට යොමු වෙන්න වෙලාවක් තියෙනවද?

ඇත්තටම නෑ. නෙට්බෝල් ක්‍රීඩාව තමයි විනෝදාංශය විදියටත් සලකන්නේ. පාසලේ හවස පන්ති නැති දවස්වලට දවස් තුනක් විතර නෙට්බෝල් පුහුණුවීම් තියෙනවා. පුහුණුකාරිය පවා අපේ එක්ක හුගක් කිට්ටුවෙන් ගනුදෙනු කරනවා. ඒ දේවල් එක්ක නෙට්බෝල් ක්‍රීඩාව තමයි අපේ ජීවිතයේ මූලිකම දේ වෙලා තියෙන්නේ.

මේ හැම දෙයක් එක්කම නෙට්බෝල් ක්‍රීඩාවක් විදියට දකින්නේ කොහොමද?

ඉස්සරට වඩා අපේ රටේ නෙට්බෝල් ක්‍රීඩාවට අදහොඳ තැනක් තියෙනවා. ජාතික කණ්ඩායම පවා තරග ජය ගන්නවා. අපේ පාසලේ ඉගෙන ගත්ත හුගක් අක්කලා ජාතික කණ්ඩායමේ ඉන්නවා. එකතු වෙන්න පුළුවන් අයත් ගොඩක් ඉන්නවා. ඒ අයත් ඉදිරියට ඇවිත් රටට හොඳ දෙයක් කරයි කියලා හිතනවා.

විශාඛා කිව්වාම නෙට්බෝල් ක්‍රීඩාවට සුවිශේෂි ස්ථානයක් හිමි තැනක්. කොහොමද ඒ තත්ත්වය ඔබ දකින්නේ?

නෙට්බෝල්, මලල ක්‍රීඩා සහ බැඩ්මින්ටන්වල අපේ පාසලේ ලොකු ඉඩකඩක් වෙන් වෙලා තියෙනවා. ඒ අතරින් නෙට්බෝල් ක්‍රීඩාවට විශේෂත්වයක් තියෙනවා. හැම අවුරුද්දකම පාසල් නෙට්බෝල් තරගවල සමස්ත ශුරතාව හිමි වෙනවා. ඒ නිසාම විද්‍යාලයේ නෙට්බෝල් ක්‍රීඩාවට විශේෂ තැනක් තියෙනවා. විදුහල් පතිතුමියගෙන් පවා විශාල සහයෝගයක් ලැබෙනවා. එතුමියත් නෙට්බෝල් ක්‍රීඩා කරලා තියෙනවා.

මේ තරග ඉතිහාසයේ අමතක නොවන තරගය මොකක්ද?

ගිය අවුරුද්දේ අපි අවසන් පූර්ව තරගවලට ආවා. අපේ හොඳම ක්‍රීඩිකාවක් වන සමුදී වැටිලා, දණහිස පැන්නා. අපි ඔක්කොම අඬ අඬා තමයි ඒ තරගයට ක්‍රීඩා කළේ. අතර ඒ තරගය පැරදුණා. එයාට තවමත් ක්‍රීඩා කරන්න බැහැ ඇණ දාලා තියෙන්නේ. එයා නැති පාඩුව තවමත් අපට ගොඩක් දැනේනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද ?

ඉගෙනීම පැත්තෙන් ඉදිරියට ගිහින් ගණකාධිකාරිවරියක් වෙන්න හිතාගෙන ඉගෙන ගන්නවා. ක්‍රීඩාව පැත්තෙන් පුළුවන් උපරිමයට යන්න බලනවා. තව ‍තේරීම් ඉදිරියට තියෙනවා. ඒවාට ඉදිරිපත් වෙලා පුළුවන් තරම් හොඳින් ක්‍රීඩා කරලා ඉදිරියට යන්න උත්සාහ කරනවා.

අදහස්