ක්‍රීඩාවේ ජීව ගුණය බිඳුණේ අශ්වින්ගෙන්ද? බට්ලර්ගෙන් ද? | සිළුමිණ

ක්‍රීඩාවේ ජීව ගුණය බිඳුණේ අශ්වින්ගෙන්ද? බට්ලර්ගෙන් ද?

ඉන්දීය ප්‍රීමියර් ලීග් හෙවත් අයි.පී.එල්. 2019 පන්දු ඕවර 20 ක්‍රිකට් තරගාවලිය මේ වන විට ඇරැඹී තිබේ. එහි මුල් වටයේ තරගයක් මාර්තු 25 වැනිදා පැවැත්වීය. ඒ ජායිපූර් නුවරදීය. එහිදී තරග කළේ සත්කාරක රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් xi පන්ජාබ් යන කණ්ඩායම්ය.

මුලින් ම පන්දුවට පහර දුන් කිංග්ස් xi කණ්ඩායම පන්දු ඕවර 20 දී කඩුලු 04 ට ලකුණු 184 ක් රැස් කර ගැනීමට සමත් වූයේය. ඊට පිළිතුරු වශයෙන් රාජස්ථාන් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 108 ක් රැස් කර තිබුණි.

ඒ වන විට එංගලන්ත දකුණත් ආරම්භක පිතිකරු ජොෂ් බට්ලර් ලකුණු 69ක් රැස් කරගෙන සිටියේය. තරගයේ තවත් ඕවරයක් යවනු ලැබුවේ දකුණතින් පිට දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් විසිනි. හෙතෙම කිංග්ස් xi නායකයාත් විය. අශ්වින් එම ඕවරයේ තවත් පන්දුවක් යැවීම සඳහා පැමිණියේය. එක් වරම පන්දුව නොයැවූ අශ්වින් පන්දු යැවිමේ අන්තයේ තිබුණු කඩුලුවල බේල්ස් ඉවත් කළේය. ඒ සමඟම විනිසුරුගෙන් ඉල්ලීමකුත් කළේය. ඒ වන විට බට්ලර් සිටියේ සිය සීමාවෙන් පිටතය. ප්‍රධාන විනිසුරුවරයා තීරණයක් ලබා ගැනීමට තෙවන හෙවත් රූපවාහිනි විනිසුරුවරයා වෙතට එය භාර දුන්නේය.

රූපවාහිනි විනිසුරුවරයා වූයේ ඔස්ට්‍රේලියානු ජාතික බෲස් ඔක්සෙන්ෆර්ඩ්ය. හෙතෙම (උපත 1960 මාර්තු 05) එය දැවී යෑමක් ලෙස තීරණය ලබා දුන්නේය. බෲස් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) උසස් විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකි.

බට්ලර් දැවී ගිය ආකාරය ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිරීතිවලට අනුව හඳුන්වන්නේ ‘මන්කාඩ්’ දුවද්දී දවා ගැනීම ලෙසටයි. සාමාන්‍යයෙන් මෙම දැවී යෑම සිදු කිරීමට පෙර පන්දු යවන්නා විසින් පන්දුවට පහර නොදෙන හෙවත් විනිසුරු අන්තයේ සිටින පිතිකරුවාට පෙර අනතුරු ඇඟවීමක් සිදු කරයි.

මෙහිදී අශ්වින් එසේ නොකළ බවටත් ඇතැමෙක් පවසති. අනතුරු ඇඟවීමක් සිදු කළත් නොකළත් මෙවැනි දුවද්දී දැවී යෑමක් කළ විට අදාළ පන්දු යවන්නා දැඩි ලෙස විවේචනයට ලක් වෙයි. ඔහුට එල්ල වන ප්‍රධානතම චෝදනාව වන්නේ ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළ බවයි.

ඉහත තරගයෙන් කිංග්ස් xi පිලට ලකුණු 14ක ජයක් අත් විය. අදාළ සිදුවීම වූ විට අශ්වින් සහ බට්ලර් අතර දැඩි එමෙන් ම උණුසුම් වචන හුවමාරුවකුත් සිදු වූහ. බට්ලර් පිටියෙන් ඉවතට ගියේ දැඩි කෝපයකින් යුතුවය. තරගය නිමාවීමෙන් අනතුරුව සුපුරුදු පරිදි දෙපිළේ ක්‍රීඩකයන් අතට අත දී ආචාර කර ගත්හ. එහිදී බට්ලර් වෙනතක් බලාගෙන අශ්වින්ට අතට අත දුන්නේය.

මෙවැනි සිදුවීමකදී සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට ම බොහෝ දෙනෙක් අශ්වින්ගේ ක්‍රියාව හෙළා දුටුහ. ශ්‍රේෂ්ඨ ඔස්ට්‍රේලියානු මෙන්ම හිටපු පා දඟ පන්දු යැවූ ක්‍රීඩකයකු වන ෂේන් වෝන් (උපත 1969 සැප්තැම්බර් 13) මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.

“රවී අශ්වින් නායකයකු සහ පුද්ගලයෙක් හැටියට බලාපොරොත්තු සුන් කළා. සෑම අයි.පී.එල්. තරගාවලියක් ඇරඹීමට පෙර සියලු නායකයන් ක්‍රීඩාවේ ජීව ගුණය රැකෙන ආකාරයට ක්‍රීඩා කරන බවට අස්සන් කරමින් එකඟ වෙනවා. අශ්වින්ට පන්දුව යැවීමේ අරමුණක් තිබුණේ නැහැ. ඒ නිසා ම විනිසුරුවරයා එය අජීවී පන්දුවක් බවට නම් කළ යුතුව තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔබටයි දැන් අවස්ථාව. මෙය අයි.පී.එල්. තරගාවලියට හොඳ නැහැ. කණ්ඩායමේ නායකයා ලෙසට ඔබ කණ්ඩායම ක්‍රීඩා කළ යුතු ආකාරය ගැන ප්‍රමිතියක් ඇති කළ යුතුයි. මෙවැනි නින්දිත සහ පහත් ක්‍රියාවක් ඔබ ඇයි කළේ? ඔබ එයත් සමඟ ජීවත් විය යුතුයි. අශ්වින් මහතාණෙනි, ඊට සමාවන්න යැයි කීමට ප්‍රමාද වැඩියි. දැන් ඔබව මතක හිටින්නේ මේ පහත් ක්‍රියාව නිසයි.”

අශ්වින්ව විවේචනය කළ පිරිසට එංගලන්ත එක්දින නායක ඔයින් මෝර්ගන් (උපත 1986 සැප්තැම්බර් 10) ද අයත්ය. “මම දකින දේ ගැන මට විශ්වාස කරන්නත් බැහැ. එය ළාබාල දරුවන්ට නරක ආදර්ශයක්. මේ ගැන කාලයක් ගිය විට අශ්වින් කණගාටුවට පත් වේවි.”

ඩීන් ජෝන්ස් (උපත 1961 මාර්තු 24) හිටපු සුපිරි ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකි. එමෙන් ම 1987 ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයෙකි. වත්මනදී ඔහු පුහුණුකරුවෙකි. එමෙන් ම රූපවාහිනි විචාරකයෙකි. හෙතෙම මෙම සිදුවීමේදී අශ්වින්ට සහාය දක්වමින් අදහස් දැක්වූයේය.

“මෙහි වරද අශ්වින්ට දාන්න එපා. නීතිය අනුව එයට ඉඩ තියෙනවා. එය ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහියි කියල කොහොමද හෑල්ලුවට ලක් කරන්නේ. ක්‍රීඩාවේ නීතිරීතිවලට අනුව එය කළ හැකියි. මේ නීති සම්පාදනය කරන පරිපාලකයන්ට වරද පටවන්න.”

තමන්ට එල්ල වූ සියලු චෝදනාවලට අශ්වින් මෙසේ පිළිතුරු ලබා දෙනු ලැබීය.

“මම ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහිව කටයුතු කළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මගේ පැත්තෙන් නම් එය ඉතා පැහැදිලියි. මම මෙය කලින් සැලසුම් කළේ නැහැ. එය ක්‍රීඩාවේ නීතිය තුළ තිබෙනවා. එය ක්‍රීඩාවේ ජීව ගුණයට සම්බන්ධ වෙන ආකාරය ගැන මට තේරෙන්නේ නැහැ.”

අශ්වින් අන්තර්ජාතිකව ඉන්දියාව නියෝජනය කරන්නේ 2010 වසරේ සිටයි. මේ වනවිට ඔහු (උපත 1986 සැප්තැම්බර් 17) ටෙස්ට් තරග 65, එක්දින 111ක් සහ 20 - 20 තරග 46කට ක්‍රීඩා කර ඇත. ඔහුගේ පන්දු යැවීමේ විශේෂත්වයක් ඇත. එනම් පන්දු යැවීමට පෙර සුළු වේලාවක් නතරව සිටිමින් පන්දුව යැවීමයි.

මෙවර අයි.පී.එල්. තරගයේ දී අශ්වින්ගේ ‘මන්කාඩ්’ දවා ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ නීතියට අනුව නිවැරදිය. එම නීතිය 41.16 යටතේ නීතිගත කර තිබේ. පන්දු යවන්නා හෝ පන්දු යවන්නිය සාමාන්‍යයෙන් පන්දුව නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන විට පන්දුව සජීවී බවට පත්වේ. ඒ වන විට පන්දුවට පහර නොදෙන්නා ඔහුගේ හෝ ඇගේ සීමාවෙන් පිටත සිටියේ නම් එවිට පන්දු යවන්නාට හෝ පන්දු යවන්නියට පිතිකරුවා හෝ පිතිකාරිනිය දවා ගැනීම සඳහා උත්සාහ කිරීමට අවසර තිබෙන බවට මෙම නීතියේ සඳහන් වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදකයන් වශයෙන් කටයුතු කරන්නේ එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය හෙවත් එම්.සී.සී. වේ. එම්.සී.සී. පිහිටු වූයේ 1787 වසරේදීය. 1814 වසරේ සිට සුප්‍රකට ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එහි මූලස්ථානය පිහිටා ඇත.

අශ්වින් විසින් සිදු කළ මන්කාඩ් දවාගැනීම ගැන එම්.සී.සී. නිවේදනයක් මගින් මුලින් ම මෙසේ අනුමත කළේය.

“මේ නීතිය අත්‍යවශ්‍යයි. එය නොමැතිව පන්දුවට පහර නොදෙන්නන් නිදහසේ ක්‍රියා කරනු ඇත. සීමාවෙන් පිටතට සිටින පන්දුවට පහර නොදෙන්නන්ට අනතුරු ඇඟවීමකින් තොරව දවා ගැනීමට පන්දු යවන්නන්ට හැකියාව ඇත.”

කෙසේ වෙතත් ඊට පසුව එම්.සී.සී. නීති කළමනාකරු ෆ්‍රේසර් ස්ටුවර්ට් තරමක් වෙනස් වූ ප්‍රකාශයක් සිදු කළේය. “ක්‍රීඩාවේ ජීව ගුණයට‍ අදාළව අශ්වින් ක්‍රියා කළා කියලා අපි හිතන්නේ නැහැ. මේ සිදුවීම පුළුල් ලෙස සමාලෝචනය කරමින් නැවත නැවතත් පරීක්ෂා කළ විට අප විශ්වාස කරන හැටියට නැවතී පන්දු යැවීමට අශ්වින් ගනු ලබන කාලය වැඩියි. ඒ වගේ ම කලින් පන්දුවට පහර නොදෙනෙන පිතිකරු සීමාවෙන් පිටතට යෑම අසාධාරණ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහිවීමක් වෙනවා. ඒ වගේම පන්දුව නිසි පරිදි තණතිල්ලට යන තුරු පන්දුවට පහර නොදෙන්නා නියමිත සීමාව තුළ සිටිනවා නම් මේ කිසිදු වාද විවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ.”

ජොෂ් බට්ලර් ‘මන්කාඩ්’ දුවද්දී දැවී යෑමකට හසු වූ ප්‍රථම වතාව මෙය නොවේ. 2014 වසරේදී බර්මින්හැම් නුවරදී පැවැති එක්දින ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායක (උපත 1985 පෙබරවාරි 09) මේ ආකාරයට ම බට්ලර්ව (උපත 1990 සැප්තැම්බර් 08) දවා ගත්තේය. සචිත්‍ර ද දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකි.

මෙම දැවී යාම ‘මන්කාඩ්’ ලෙසට හඳුන්වන්නේ අන්තර්ජාතිකව මේ දැවී යෑම සිදු කළ ප්‍රථමයා වෙනුවෙනි. ඔහු ඉන්දියාවේ විනු මන්කාඩ්ය. ඔහු 1947 වසරේදී පැවැති ටෙස්ට් තරගයකදී මේ දවා ගැනීම සිදු කළේය.

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එවර ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ දෙවන තරගය පැවැත්වූයේ 1947 දෙසැම්බර් මස 12 සිට 18 දක්වාය. ඒ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. එහිදි දැවී ගිය ක්‍රීඩකයා වූයේ බිල් බ්‍රවුන්ය. ඔහු (උපත 1912 ජූලි 31 - විපත 2008 මාර්තු 16) පන්දු යවන්නා වූ විනු මන්කාඩ් පන්දුව යැවීමට සූදානම් වන විට සිටියේ සීමාවෙන් පිටතය. කෙසේ වෙතත් ඊට පෙර මන්කාඩ් විසින් පළමු ටෙස්ට් තරගයේදී බිල්ට අනතුරු අඟවා තිබුණි. එවර තරග සංචාරයේම පෙර පැවැති ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු xi කණ්ඩායම් අතර තරගයේදීත් බිල්ව මේ ආකාරයට ම මන්කාඩ් විසින් දවා ගෙන තිබුණි.

කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඉතා දැඩි ලෙස මන්කාඩ්ව විවේචනය කළේය. ඉහත ටෙස්ට් තරගයේ දී ඔස්ට්‍රේලියානු නායකයා වූයේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය. ඔහු (උපත 1908 අගෝස්තු 27 - විපත 2001 පෙබරවාරි 25) පසු කලෙක සිය ස්වයං චරිතාපදානය තුළින් මන්කාඩ් කළ ක්‍රියාව අනුමත කළේය.

“මට අනුව මාධ්‍ය ඔහුගේ (මන්කාඩ්ගේ) ක්‍රීඩාශීලිත්වය ප්‍රශ්න කළේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. ක්‍රිකට් නීතියට අනුව පන්දුව යවන තුරු පන්දුවට පහර නොදෙන්නා සිය නියමිත ස්ථානයේ රැඳී සිටිය යුතු බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එහෙම නොවේ නම් පන්දු යවන්නාට ඒ සඳහා හැකියාව ප්‍රතිපාදන තුළින් ඇති කර තිබෙන්නේ ඇයි? ඒ පැහැදිලිවම පන්දුවට පහර නොදෙන්නාට අසාධාරණ වාසියක් ලබා ගැනීම වැළැක්වීමටයි.”

මුල්වන්ත්‍රායි හිමාත්ලාල් ‘විනු’ මන්කාඩ් (උපත 1917 අප්‍රේල් 12 - විපත 1978 අගෝස්තු 21) දකුණත් පිතිකරුවෙකි. එමෙන්ම වමතින් දඟ පන්දු යැවීය. ඔහු 1946 - 59 දක්වා අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය. එහිදී ටෙස්ට් තරග 44කට ක්‍රීඩා කළේය. ලකුණු 2109කි. සාමාන්‍යය 31.47කි. ඉනිමක වැඩිම 231 වේ. ශතක 05කි. අර්ධ ශතක 06කි. දවාගත් කඩුලු ගණන 162කි. සාමාන්‍යය 32.32කි. ඉනිමක හොඳම 52-8කි. ඉනිමක කඩුලු 05 බැගින් දවාගත් අවස්ථා 08කි. තරගයක කඩුලු 10 බැගින් අවස්ථා 02කි. රැකගත් උඩපන්දු ගණන 33කි.

ටෙස්ට් තරගවලදී වාර්තා වූ දෙවන ‘මන්කාඩ්’ දැවී යෑම 1968 - 69 තරගවාරයේදීය. එහිදී දකුණතින් වේග පන්දු යැවූ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී චාර්ලි ග්‍රිෆිත් (උපත 1938 දෙසැම්බර් 14) විසින් ඔස්ට්‍රේලියාවේ ඉයන් රෙඩ්පාත්ව (උපත 1941 මැයි 11) දවා ගත්තේය. ඒ ඇඩිලේඩ් නුවරදීය.

එක්දින ජාත්‍යන්තර තරගයකදී ‘මන්කාඩ්’ දැවී යාමක් පළමු වරට වාර්තා වූයේ 1974 - 75 මෙල්බර්න් නුවරදීය. ඒ දකුණතින් මද වේග පන්දු යැවූ ඔස්ට්‍රේලියාවේ ග්‍රේග් චැපල් (උපත 1948 අගෝස්තු 07) විසින් එංගලන්තයේ බ්‍රයන් ලක්හර්ස්ට්ව (උපත 1939 පෙබරවාරි 05 - විපත 2005 මාර්තු 01) දවා ගැනීමය.

නවසීලන්තයේ දකුණතින් පිට දඟ පන්දු යැවූ දීපාක් පටෙල් (උපත 1958 ඔක්තෝබර් 25) විසින් සිම්බාබ්වේ හි ග්‍රාන්ට් ෆ්ලවර්ව (උපත 1970 දෙසැම්බර් 20) දවා ගත්තේය. ඒ 1992 - 93 තරගවාරයේදී හරාරේ නුවරදීය.

1992 - 93 තරගවාරයේදී පෝර්ට් එළිසබෙත් නුවරදී ඉන්දියාවේ දකුණතින් මද වේග පන්දු යැවූ කපිල් දේව් (උපත 1959 ජනවාරි 06) විසින් දකුණු අප්‍රිකාවේ පීටර් කර්ස්ටන්ව (උපත 1955 මැයි 14) දවා ගත්තේය.

අනෙක් අවස්ථාව 2014 වසරේදී සචිත්‍ර විසින් ජොෂ් බට්ලර්ව දවා ගැනීමයි.

20 - 20 ජාත්‍යන්තර තරගයකදී ‘මන්කාඩ්’ දැවී යෑමක් ප්‍රථම සහ දැනට වාර්තාවූ එකම අවස්ථාව 2016 වසරේදීය. ඒ බංග්ලාදේශයේදී පැවැති ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදීය. එහිදී වමතින් දඟ පන්දු යැවූ ඕමානයේ අමිර් කාලීම් (උපත 1981 නොවැම්බර් 20) විසින් හොංකොංහි මාර්ක් චැප්මන්ව (උපත 1994 ජුනි 27) දවා ගත්තේය.

මේ අතර ‘මන්කාඩ්’ දැවී යාම් කිරීමට අවස්ථාව ලැබුණත් එසේ නොකළ ක්‍රීඩක‍යෝත් සිටිති.

මින් වඩාත් ම ප්‍රචලිත අවස්ථාව 1987 ලෝක කුසලාන තරගාවලියේ තරගයකදී වාර්තා විය. එහිදී තරග කළේ බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානයයි. තරගයෙන් ජය ගැනීමට පාකිස්තානයට කඩුල්ලක් ඉතිරිව ලකුණු 02 ක් ලබා ගත යුතු විය. පන්දුවට පහර දුන්නේ අබ්දුල් ඛාදිර් (උපත 1955 සැප්තැම්බර් 15) නැමති සුප්‍රකට පා දඟ පන්දු යවන්නාය. පන්දු යවන්නාගේ අන්තයේ සිටියේ සලීම් ජෆාර් (උපත 1962 නොවැම්බර් 19) නැමැති වමත් මද වේග පන්දු යවන්නාය.

මෙම තරගය පැවැත්වූයේ පාකිස්තානයේ ලාහෝර් නුවරදීය. පන්දු යවන්නා වූයේ දකුණතින් වේග පන්දු යැවූ කෝර්ට්නි වෝල්ෂ්ය. ඔහු (උපත 1962 ඔක්තෝබර් 30) පන්දුව යැවීමට සූදානම් වන විට ජෆාර් සිටියේ සීමාවෙන් පිටතය. වෝල්ෂ්ට ඉතා පහසුවෙන් ජෆාර්ව දවා ගැනීමට හැකියාව තිබුණි.

එහෙත් ඔහු එසේ කළේ නැත. ඔහු ජෆාර්ට අනතුරු ඇඟවීමක් පමණක් කළේය. මෙම තරගයෙන් කොදෙව්වන් පරාජයට පත් වූහ. එසේ වුවත් වෝල්ෂ්ගේ ක්‍රියාවට පාකිස්තාන රජය ඇතුළු බොහෝ‍ දෙනා ප්‍රශංසා කළහ.

කොමන්වෙල්ත් බැංකු එක්දින තරගාවලිය 2012 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පවත්වනු ලැබීය. එහිදී තරගයකදී තරග කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. එහිදී ‘මන්කාඩ්’ දුවද්දී දැවී යෑමකට ළහිරු තිරිමාන්න (උපත 1989 අ‍ගෝස්තු 09) ලක් වූයේය. පන්දු යවන්නා වූයේ පුදුම නොවන්න රවිචන්ද්‍රන් අශ්වින්මය.

එහෙත් එම අවස්ථාවේදී පිටියේ විනිසුරුවන් වූ ඔස්ට්‍රේලියාවේ පෝල් රයිෆල් (උපත 1966 අප්‍රේල් 19) සහ නවසීලන්තයේ බිලී බවුඩන් (උපත 1963 අප්‍රේල් 11) අතර සාකච්ඡාවක් සිදු වූහ.

පසුව ඉන්දියාවෙන් දැවී යාමේ ඉල්ලීම ගැන සලකා බැලිය හැකිදැයි විමසූහ. එම තරගයේ ඉන්දීය නායකයා වූයේ විරෙන්දර් ෂේවාග්ය. ඔහු (උපත 1978 ‍ඔක්තෝබර් 20) ඒ අනුව දැවී යෑමේ ඉල්ලීම ඉවත් කර ගත්තේය.

එසේ වුවත් දවා ගැනීමට පෙර අශ්වින් පිතිකරුවාට අනතුරු ඇඟවූ බව ෂේවාග් විනිසුරුවන්ට දැන්වීය. ඊට ශ්‍රී ලංකා නායකයා වූ මහේල ජයවර්ධන (උපත 1977 මැයි 27) ප්‍රතිචාර දැක්වූයේ එවැනි දැනුම්දීමක් ගැන තමන් දැනුවත්ව නොසිටිය බවය.

Comments