ක්‍රීඩකයාට ස්වයං විනයක් තියෙන්න ඕනෑ | සිළුමිණ

ක්‍රීඩකයාට ස්වයං විනයක් තියෙන්න ඕනෑ

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයකි. පළමු සහ දෙවැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියන්ට ශ්‍රී ලංකාව එක් වුයේ අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේය. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්ව දිස්ත්‍රික්ක පුහුණුකරුවන් සමඟ එක්ව ළාබාල ක්‍රීඩකයන්ගේ දක්ෂතා හැකියාවන් හඳුනාගැනීමේ වැඩ සටහනකට දායක වී සිටින අනුර තෙන්නකෝන් සමඟ කතාබහකට අප වෙන් කළ ඉඩකඩයි.

ඔබේ ගම් පළාත?

මම ඉපදුනේ අනුරාධපුරේ.

අම්මා - තාත්තා?

තාත්තා පුංචි බණ්ඩා තෙන්නකෝන්. තාත්තාගේ ගම කොබෙයිගනේ. අම්මා සුමනා තෙන්නකෝන්. හොරොව්පතානේ. තාත්තා රාජ්‍ය පරිපාලන සේවයේ වැඩ කළේ. තාත්තා එහි උසස්වීම් ලබාගෙන අවසානයේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් විදියට කොළඹ රැකියාව කළා.

පවුලේ කවුද?

*මට සහෝදරයෝ දෙන්නෙක් හිටියා. සහෝදරියෝ හතර දෙනයි. ඔක්කෝම හත් දෙනයි. මම විවාහකයි. බිරිය නෙලුන්, පුතාලා දෙන්නයි. ලොකු පුතා අසේල, පොඩි පුතා එරාජ්, පොඩි කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළත්, පස්සේ ඒ දෙන්නම ක්‍රිකට් අත්හැරලා වෙන වෘත්තින් වලට යොමු වුණා.

ක්‍රිකට් පසුබිම?

තාත්තා රජයේ රැකියාවක් කළ නිසා තැනින් තැනට මාරු වුණා. එහෙම ස්ථිර නවාතැන් පළක් තිබුණේ නෑ. ඒ නිසාම මාව ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ නේවාසිකාගාරයට ඇතුළත් කළා. එතකොට මට අවුරුදු හයක් විතර ඇති. මම නැවතිලා හිටපු බෝඩිම තිබුණෙත් ශාන්ත තෝමස් ක්‍රිකට් ක්‍රීඩාංගණය ළඟමයි. මට ඉතින් හැම වෙලාවෙම වගේ ක්‍රිකට් මැච් බලන්න අවස්ථාව ලැබුණා. මම ඉතින් නිතරම මට ක්‍රිකට් ගැන ආසාවක් ඇල්මක් ඇති වුණෙත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා.

ඔය අතර මතකයේ රැඳුණු චරිත කවුද?

මයිකල් තිසේරා, රීඩ්, වේග පන්දු යවන්නෙක් ඩේවිඩ් ෆර්ඩිනන්, අපේ පාසලේ ක්‍රීඩකයෝ. ඊ‍ට අමතරව වෙනත් පාසල්වල පවා දක්ෂයෝ ඇවිත් අපේ පාසල් සමඟ තරග කළා. ඒ අතරත් විශිෂ්ට ක්‍රීඩකයෝ හිටියා.

ක්‍රිකට් තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණාද? නැත්නම් අහඹු සිදුවීමක්ද?

මගේ ඇ‍ඟෙත් ක්‍රිකට් සම්බන්ධ මොනවා හරි හැකියාවක් තියෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම වාසනාවත් තියෙන්න ඇති කියලා හිතනවා. මේ දෙකම නිසා මට ක්‍රිකට් ගැන හිත ඇදිලා යන්න ඇති.

පාසල් ක්‍රිකට් ජීවිතය?

ශාන්ත තෝමස් විද්‍යාලයේ අවුරුදු 10 න් පහළ ඉඳලා 19න් පහළ දක්වාම ක්‍රීඩා කළා. ඔය හැම වයස් කාණ්ඩයකම නායකත්වයත් දැරුවා. 16න් පහළට පස්සේ තිබ්බේ 19 න් පහළ තරග, ඒ හැම වයස් කාණ්ඩයකම හොඳට ක්‍රීඩා කළා.

රාජකීය - ශාන්ත තෝමස් මහා ගැටු‍මේ මතක ද.

අවුරුදු පහක් මහා තරග ක්‍රීඩා කළා. අන්තිම අවුරුද්දේ 1966 නායකත්වය දැරුවා.

ඒ කාලයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ විනය - නීති රීති කොහොමද?

ඒ දවස්වල පාසල්වල තිබුණේ බටහිර සංස්කෘතියත් එක්ක බැඳී තිබුණු නීති රීතියි. විනය ඉතාමත් තදින් සලකා බලපු දෙයක්. නීති රීති කඩ කරන්න කිසිම අවස්ථාවක ඉඩ දුන්නේ නෑ. විනය කැඩුවොත් දැඩි දඬුවම් දුන්නා.

ඒ නිසාම විනය කියන දේ ගැන අපි හුඟක් සැලකිලිමත් වුණා. ඒවා අපිට තව කවුරුවත් ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න ඕනෑ වුණේ නෑ. අපි ඒවාට ගොඩක් ගරු කළා.

ඔය කාලය ඇතුළත මොන යම් දෙයකට හෝ දඬුවම් විඳලා තියෙනවාද?

නෑ. විනය සම්බන්ධයෙන් අපි හුඟක් සැලකිලිමත් වුණා. මම මේ දේවල්වලට හුගක් ගරු කරන කෙනෙක්. සමහර ක්‍රීඩකයෝ හිටියා දඩබ්බර වැඩ කරපු, ඒවාට දඬුවම් ලැබුණා. එතකොට තව කෙනෙක් වැරැදි වැඩක් කරන්න බය වෙනවා. එහෙම නැති වුණා නම්, පාලනය කරන්න අමාරුයි.

ඔය කාලයේ පාසල් පුහුණුකරුවන්ගේ අරමුණු වුණේ?

දැන් තියෙන තත්ත්වයට වඩා හුගක් ම වෙනස්. ඒ දවස්වල පුහුණුකරුවන්් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඕනෑම විදියට තීන්දු තීරණ ගන්න ඉඩ හැරියා. වැඩිය ඇඟිලි ගහන්න ගියේ නෑ. නායකයාට, ජ්‍යෙෂ්ඨයන්ට කැමැති විදියට තරග කරන්න අවශ්‍ය වට පිටාව හැදුවා.

දැන් තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඕවරයක පළමු වැනි පන්දුව සහ අවසාන පන්දුව යවන්න ඕනෑ විදිය තීරණය කරන්නේ පුහුණුකරුවා. දැන් පුහුණුකරුවෝ ක්‍රීඩකයන්ට ඕනෑ එපා කරන හැම දේම කියලා පන්දුවෙන් පන්දුවට, පහරෙන් පහර කියලා දෙන තැනට ඇවිත්. ඒකෙන් වෙලා තියෙන්නේ හිතන්න බැරි, තීරණයක් ගන්න බැරි පිරිසක් බවට පත් වෙලා.

දැන් හුගක් වෙලාවට තරගාවලි දිනන එක තමයි ටාගට් එක?

ඔව්, ඒක නෑ කියන්න බෑ. පාසල් වලින් පුහුණුකරුවන්ට දෙන්නෙත් ඔය වගේ ටාගට් තමයි. තරගාවලි දිනන එක තමයි එතකොට ඔවුන් මූලිකම ටාගට් එක කර ගන්නේ.

ඒ නිසාම කෙටි මං හොයනවා තරගාවලි දිනා ගන්න?

ඔව්, ඒ ඇතුළේම තියෙන්නේ උපදෙස් දෙන ඒවා විතරයි. හිතන්න, තීරණ ගන්න, ඒවා ක්‍රියාත්මක කරන්න කාලයක් නෑ. අවසානයේ ක්‍රීඩකයන්ට ඉතුරු වන්නේ මානසික පීඩනයක් විතරයි. ක්‍රිකට් කියන‍්නේ ඇ‍ඟේ හයියෙන්ම ගහන්න පුළුවන් දෙයක් හෝ කරන්න පුළුවන් ‍ක්‍රීඩාවක් නෙවෙයි. තනිකරම ඔලුව පාවිච්චි කරන්න ඕනෑ.

ඒකට පුහුණු කළේ නැත්නම් පාසල් මට්ටමින් උඩට ගියාත් ම අතරමං වෙන්න තමයි වෙන්නේ. දැන් අන්තර් ජාතික තරගවලට ගියාම හුගක් අය අතරමං වෙන්නේ ඔය හේතුව නිසා තමයි.

ජාතික කණ්ඩායමට එන්න අවස්ථාව උදා වුනේ කොහොමද?

1965 දී තමයි ජාතික කණ්ඩායමට තේරුණේ. එංගලන්තය - ඔස්ට්‍රේලියාවට යන අතරතුර ලංකාවට ආවා. ඒක එක් දිනකට සීමා වූ තරගයක්. එතකොට මම ඉස්කෝලේ යනවා. අවුරුදු 19යි. ශ්‍රී ලංකා ටීම් එකේ නායකත්වය දැරුවේ මයිකල් තිසේරා.

නවකයෙක්, පාසල් මට්ටමින් ඔබ විතරද තේරුණේ?

ඉස්කෝල ළමයකුට හිටියේ මම විතරයි.

මේ වෙනස තේරුණේ කොහොමද ?

මට අත්දැකීම් එහෙම තිබුණේ ම නෑ. ලොකු වෙනසක් දැණුනා. හැබැයි ඒක අභියෝගයක් විදියට බාර අරගෙන ක්‍රීඩා කළා.

ඒ අභියෝගය දැනුණේ කොහොමද? එයට මුහුණ දුන්නේ?

ඒ වයසේදී මාව ජාතික කණ්ඩායමට තේරෙන්නේ තේරිම් කමිටුව මම ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕනෑ. මම හිතුවේ ඒ විශ්වාසයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනෑ කියලයි.

ඔය කාලේ ගෙදර පසුබිම?

මට එතරම් ම බලපෑමක් තිබුණේ නෑ. මගේ ක්‍රිකට් ගැන ගෙදර අය විශේෂ උනන්දුවක් දැක්වුවෙත් නෑ. මට හොඳට උගන්වන්න තමයි ඔවුන් අදහස් කර ගෙන හිටියේ. ඒ දවස්වල හැටියට ඒ අදහස හරි. මොකද ක්‍රිකට් ගහලා තැනකට එන්න බෑ. අද වගේ එදා ක්‍රීඩාවෙන් හම්බ කරන්න බෑ. ක්‍රිකට් ගහපු හැම කෙනෙක්ම රැකියාවක් කරන අතර තමයි ක්‍රිකට් ගැහුවේ.

අම්මා - තාත්තා ඔබේ පළමු ජාතික ක්‍රීඩා කළ තරගය බලන්න ආවාද?

හැම තරගයක් ම බලන්න ආවේ නැති වුණාට, රාජකීය - ශාන්ත තෝමස් මහා තරගය බලන්න ආවා. මේ විශේෂ තරගයටත් ඔවුන් ආවා.

1975 -79 පළමු සහ දෙවැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගවලට යන නායකයා?

1975 දී පළමු තරගාවලියට යන කොට සීමිත ඕවර තරග ගැන අපට තිබුණු අත්දැකීම් මදි. අන්තර් ජාතික මට්ටමේ අත්දැකීම් තිබුණේම නෑ. සීමිත ඕවර තරග පටන් ගන්නේ 1960 ගණන්වල මැද හරියේ. හැබැයි අපට වැඩි තරග හම්බ වුණේ නෑ.

1975 පළමු ලෝක කුසලානයට යන කොට අන්තර් ජාතික තරග පහකට වඩා අපි ක්‍රීඩා කරලා තිබුණේ නෑ. ඒක හරි ලොකුවට දැනුණා. සීමිත ඕවර තරග සම්බන්ධයෙන් අපට වැඩි අවබෝධයක් තිබුණේ නැති නිසා.

කළමනාකරු විදියට වැඩ කළේ කවුද? පුහුණුකරුද ?

කේ.එම්.ටී. පෙරේරා. කියලා ශ්‍රී ලංකාව නියෝජනය කරපු පැරණි ක්‍රීඩකයෙක්. අපට පුහුණුකරුවෝ හිටියේ නෑ. අපිම තමයි ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතලා තීන්දු තීරණ ගන්නේ. කළමනාකරුගේ උපදෙස් සහ සහයෝගය උඩ තමයි අපි ක්‍රීඩාව කර ගෙන ගියේ.

1975 පළමු ලෝක කුසලානයට යන කොට පෙර සූදානම?

අයි.සී.සී. එකෙන්ම තමයි අපට දැනුම් දීලා තිබුණේ අපට 1975 පළමු කුසලානයට සහභාගි වෙන්න අවස්ථාව දෙනවා කියලා.

රටේ ප්‍රතිචාරය?

අ‍පේ රටේ ජනතාව හුගක් සතුටු වුණා. පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න අපට අවස්ථාව ලැබුණු එක ගැන අපි ක්‍රීඩා කරනවා දැකලා තිබුණා. ඒ නිසා අපේ ජනතාවට අප ගැන ලොකු විශ්වාසයක් තිබුණා.

දැන් වගේ මාධ්‍ය සාකච්ඡා එහෙම තිබුණාද?

නෑ. නෑ. එහෙම දේවල් නම් තිබුණේ නෑ. අපට ඒ වෙනකොටත් ටෙස්ට් වරම් හම්බ වෙලා තිබුණේ නැති හින්දා මාධ්‍ය සාකච්ඡා, පුහුණු වීම් කටයුතු එහෙම වැඩිය තිබුණේ නෑ.

නායකයා විදියට ඔබ රටට ප්‍රකාශයක් කරලද ගියේ?

එහෙම විශේෂ දෙයක් නම් නෑ. හැබැයි පත්තරවල, ගුවන්විදුලියේ අපි මේ තරගාවලියට ගිහින් උපරිම දක්ෂතා දක්වන්න අදහස් කරනවා කියලා.

දැන් වගේ විදේශ සංචාරවලදී නිදහස එහෙම තිබුණද?

මෙහෙමයි වැඩි බලපෑම් නම් තිබුණේ නෑ. ටීම් එකක් විදියට අපට හරියට හැසිරෙන්න ඕනෑ විදියට හැඩ ගස්වලා තිබුණා. ඒකට මූලික හේතුව අපට පාසල්වලින් ම ඒ දේවල් හරියට කියලා දීලා තිබුණා. ඒ නිසා කවුරුත් කිසිම වෙලාවක වැරැදි - නොගැලපෙන වැඩක් කරන්න ගියේ නෑ. අපි විසින්ම අපව පාලනය කර ගන්න නිසා, කවුරුවත් අපිට ඇවිත් හොඳ නරක කියලා දෙනකන් හිටියේ නෑ.

1975 දි පළමු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදි හම්බ වුණේ වින්ඩිස්ලා. විකට් 09 කින් පරදිනවා?

තරගය තිබ්බේ ඕල්ට්‍රැෆර්ඩ්වල. එදා දවසේ මැන්චෙස්ටර්වල දේශගුණය වින්ඩිස්ලාට වාසි වන විදියට තිබ්බේ. හුඟක් සීතලයි.

වින්ඩිස්ලා හුඟ දෙනෙක් ඒ කාලයේ ප්‍රාන්ත ක්‍රීඩා කරනවා. ඒ අයට මේ ‍ෙද්ශගුණය ‍ෙහාඳට හුරුයි. අපේ අයට ඒ පුරුද්ද තිබුණේ නෑ. සීතලේ තරග කරන්න හුඟක් අමාරු වුණා. ඉර අව්ව තිබ්බෙ ම නෑ. ක්ලයිව් ලොයිඩ්ගේ ප්‍රාන්තේ තමයි තරගය තිබ්බේ.

ඒක වින්ඩිස්ලාට වාසියක් වෙන්න ඇති?

ඔව්. එයා කියන්න ඇති තණ තීරුවේ තණ කොළ ටිකක් වැඩිපුර තියන්න කියලා. ඒකෙන් අපට හුඟක් අමාරු වුණා. වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන්න. කාසිය වාසියත් ඒ අයට ගියා.

දෙවැනි තරගයේදි ඔස්ට්‍රේලියාවට එරෙහිව දැවැන්ත විදියට ශ්‍රී ලංකාව නැගිටිනවා?

ඒකටත් දේශගුණය බලපෑවා. අප ක්‍රීඩා කළේ ලන්ඩන් ඕවල් පිටියේ. හොඳට ඉර අව්ව පායලා තිබ්බා. තණ තීරුවත් පිතිකරුවන්ට වාසි විදියට හැසිරුණේ. ඔස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහර දීලා ලකුණු 328ක් ලබා ගත්තා.

අපි විකට් හතරකට 276ක් ගත්තා. සුනිල් වෙත්තිමුණි සහ දුලිප් මෙන්ඩිස්. ජෙෆ් තොම්සන්ගේ පන්දුවැදිලා අතර මග පිටියෙන් ඉවත් වෙන්න වුණා. නැත්නම් තවත් අපට මේ ඉලක්කයට ළං වෙන්න තිබුණා. ඒ දෙන්නා හොඳට පන්දුවට පහර දෙන කොට තමයි මේ දේ වුණේ.

ඔස්ට්‍රේලියාව ලකුණු 328 ‍ෙබ්ර ගන්න පන්දු යවන්නෝ 7ක් උපයෝගි කර ගෙන තිබුණා?

ඔව්, ශ්‍රී ලංකා පිතිකරුවන් මේ ලකුණු ප්‍රමාණයට හොඳ අභියෝගයක් එල්ල කළා. නරඹන්නන් පවා පුදුම වෙලා තරගය බැලුවේ. අපි වින්ඩ්ස් තරගයේදි 81කට අවුට් වුණහම අපේ ජනතාවට සෑහෙන කලකිරිමක් තියෙන්න ඇති. හැබැයි දෙවැනි තරගයේදී අපි ඔස්ට්‍රේලියාව වගේ ප්‍රබල කණ්ඩායමකට ලොකු සටනක් දෙන කොට අපට ‍ලොකු දෙයක් වුණා.

1979 දෙවැනි ලෝක කුසලාන තරගාවලියේදීත්, ශ්‍රී ලංකාවේ බර ඔබේ උරමතට පැටවෙනවා?

ඔව්, 1975 ට වඩා වෙනස තිබුණේ, අපට කලින් ගිහින් ටෙස්ට් වරම් නැති රටවල් එක්ක ක්‍රීඩා කරලා, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්න සිද්ධ වුණා.

ඒ තරග හොඳට කරලා අපි අපේ ඉලක්කයට ගියා. ඒකෙන් අපියි - කැනඩාවයි ඉදිරියට ගියා. පළමු තරගය නවසීලන්තය එක්ක තිබ්බේ. අපි ඒ තරගයත් පැරදුණා. ඔවුන් පහසුවෙන් තරගය ජය ගත්තා.

ඔබ ලකුණු 56ක් ලබා ගත්තා?

ඔව්, අපි මේ නවසීලන්ත තරගයේ තවත් කල්පනාකාරීව පන්දුවට පහර දුන්නා නම්, මීට වඩා ලකුණු ගණනකට අපට යන්න තිබුණා. අවාසනාවකට වගේ තරගය අවසානයේ මගේ කකුලේ මස් පිඩු ඉරීමකට ලක්වෙලා මට හුඟක් අමාරු වුණා. මේ තරගය ඉවර වුණාම තමයි අමාරුව මතු වුණේ. ඇවිදින්නම බැරි වුණා.

අපට ඒ දවස්වල වගේ වෛද්‍ය පහසුකම් තිබුණේ නෑ. මම හරියට ඒ ආබාධයට ප්‍රතිකාර කරපු නැති නිසා මට මාසයක් විතර ක්‍රීඩා කරන්න බැරි වුණා.

ආබාධය නිසාද ඉන්දියාවට එරෙහිව ඓතිහාසික ජයක් හිමි කර ගත් දෙවැනි තරගයට ක්‍රීඩා කරන්න බැරි වුණේ?

ඔව්, බන්දුල වර්ණපුර තමයි ඒ තරගයේ නායකයා වුණේ. අපේ ටීම් එකට ප්‍රබල ඉන්දියාව පරාජය කරලා ඉතිහාසගත ජයක් හිමි කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ වින්ඩිස් තරගය වැස්සට සේදුණා.

ඔබ එක්දින තරග හතරයි ක්‍රීඩා කරලා තිබෙන්නේ. මේ හතර ම ලෝක කුසලාන තරගාවලියේ. මේ හතරේම නායකයා. හැබැයි කිසිම තරගයක පන්දු යවලා නෑ?

මම හොඳ පන්දු යවන්නෙක් නෙවෙයි. පාසල් කාලයේ මම පන්දු යැව්වට, ජ්‍යෙෂ්ඨ මට්ටමට එනකොට ඒකත් අතහැරලා පිතිකරු අංශය ගැන පමණක් අවධානය යොමු කළා.

1979 ලෝක කුසලානයෙන් පස්සේ ඔබේ ක්‍රිකට් ජීවිතයට මොකද වෙන්නේ?

1979 න් පස්සේ මම ක්‍රිකට්වලින් අයින් වුණා. ඒ කාලයේ දැන් වගේ ක්‍රිකට්වලින් ජීවත් වෙන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. අපේ රටේ ක්‍රීඩා කරන තරගයකට දවසකට රුපියල් 35ක් වගේ තමයි ගෙව්වේ. ඒක ගමන්බිමන් වලට තමයි වැඩිපුර වියදම් වුණේ. බස් එකේ යනවා නම් ලාභයි. මේ දීමනාව අනිත් රටවල් එක්ක සන්සන්දනය කරන කොට මේ ගෙවීම් විහිළුවක් වගේ. එතැනදි තමයි මම කල්පනා කළේ තවදුරටත් ක්‍රිකට් ගහනවාද නැත්නම් රැකියාව ගැන අවධානය යොමු කරනවාද කියලා. ඒ වෙලාවේ මම හිතුවේ රැකියා ගැන අවධානය යොමු කලේ නැත්නම් උසස්වීම්වලට යන්න බැරි වෙනවා.

රැකියාව කළේ?

දුම්කොළ සමාගමේ වෙළෙඳ නියෝජිතයෙක් විදියට වැඩ කළේ. ක්‍රම ක්‍රමයෙන් ඉහළට ඇවිත් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු විදියට කටයුතු කළා. අවුරුදු 26ක් රැකියාව කළා.

ජීවිතයේ එක්තරා කඩඉමකදි ක්‍රිකට් ද?රැකියාවද කියලා තෝරා ගැනීමක් කරන්න සිද්ධ වුණා?

ඔව්, ඒ කාලයේ කසාද බැඳලා දරුවෝ දෙන්නකුත් හිටියා. ළමයි දෙන්නා පොඩියි. ඒ ගැනත් හිතන්න ඕනෑ වුණා.

ඒ කාලයේ වන කොට අපේ රටේ ක්‍රිකට්වල තත්වය?

වැඩිය පහසුකම් ලැබුණේ නෑ. තිබ්බේ නෑ. වෘත්තියක් විදියට මේ දේ කරන්න බැරි වුණා. පුහුණුවීම් පවා ක‍ෙළ් රස්සාවෙන් පස්සේ. හවස 4 - 5 න් පස්සේ තමයි අපි පුහුණුවීම් කළේ. වැඩිම වුණොත් පැය 2 යි පුහුණුවීම් කළේ.

එහෙම පුහුණුවීම් කරලා අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රීඩා කරන්න හෝ ඉහළට එන්න අමාරුයි. පුහුණුකරුවෙක් පවා නැතුව අපේ හැකියාවෙන් තමයි ක්‍රීඩා කළේ. පුහුණුවීම් කළේ. හැබැයි වැඩියෙන් අන්තර්ජාතික තරග ලැබෙන කොට විශේෂයෙන් ඉන්දියාව, පාකිස්තානය එක්ක තරග කරනකොට අපි දියුණු වුණා. හැබැයි මේ තමන්ගේ ම උත්සාහය, උනන්දුව සහ කැපවීම එක්ක ආ ගමනක් තමයි තිබුණේ.

පුහුණුවීම් කළේ කොහේද?

එස්.එස්.සී, එන්.සී.සී සහ ඕවල් ග්‍රවුන්ඩ්වල තමයි වැඩිපුර පුහුණුවීම් කළේ.

මෙහෙම දුෂ්කර ගමනක් ගෙවා ගෙන එනකොට 1982 ටෙස්ට් වරම් හිමි වෙනවා. ඊට අවුරුදු 14 කට පස්සේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නවා. මේ පරිවර්තනය දකින්නේ කොහොමද?

කලින් අපි ක්‍රිකට්වල ලබා තිබූ යම් යම් ජයග්‍රහණයන් ටෙස්ට් වරම් දිනා ගන්න ලොකු රුකුලක් වුණා. ක්‍රම ක්‍රමයෙන් පුහුණුවීම්වල විධිමත්භාවයක් ඇති වුණා. මුදල් පහසුකම් වැඩි වුණා. ඔය කාල වකවානුව වන විට ටෙස්ට් වරම් දිනා ගෙන ලෝක කුසලානය දිනා ගන්නා තැනට එනකොට වෘත්තීය මට්ටම දක්වා විකාශනය වුණා කිව්වොත් හරි.

මෙහි උපරිමයට ළඟාවීම තමයි 96 ලෝක කුසලානය දිනා ගැනීම?

ඔව්, ඊට පස්සේ තමයි මුළු ලෝකය ම අපිව පිළිගන්නේ. කතා කරන්න පටන් ගන්නේ. මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලැබීමත් එක්ක ආදායම් මාර්ග විවෘත වුණා. ක්‍රීඩකයන්ගේ වටිනාකම් වැඩි වුණා, ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳ අලෙවි භාණ්ඩයක් වුණා. ලොකු පරිවර්තනයක් ක්‍රිකට්වල සිද්ධ වුණේ 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තාට පස්සෙයි.

විදේශ පුහුණුකරුවන්ගේ සේවය අප මුලින්ම ලබා ගත්තේ කොයි කාලයේද?

අසූව දශකයේ මැද භාගයේ සර් ගාර්ෆීල්ඩ් සෝර්බර්ස් තාවකාලික පුහුණුකරුවකු විදියට කෙටි කාලයක් වැඩ කරලා තියෙනවා. දිගු කාලීනව ගත්තොත් මුලින්ම අපේ ක්‍රිකට්වලට එන්නේ ඩේව් වට්මෝර්. එයා දීර්ඝ කාලයක් අපේ ක්‍රිකට්වලට සම්බන්ධ වෙලා හිටියා.

ඒ පරිවර්තනවල සුවිශේෂි ලක්ෂණ අද දකින්න තියෙනවාද?

ඒවා ගැන කතා කරන්න ඕනෑ. මීට වඩා ඒවා ගැන අවධානයක් යොමු කරන්න ඕනෑ. විශේෂයෙන් ක්‍රීඩකයෝ මීට වඩා කැප වෙනවා නම් දියුණු වෙන්න පුළුවන්. පුද්ගලිකව ගත්තොත් ඔවුන්ටත් එය පොඳුයි. පොදුවේ රටටත් එය වටිනවා. මේවායින් අද ඔවුන් මොන තරම් ප්‍රයෝජන ගන්නවාද කියලා බලන්න ඕනෑ. අද වෙන කොට අනෙක් රටවල් ක්‍රිකට් ලෝකයම ආක්‍රමණය කරලා ඉවරයි. අපි ඉන්නේ කොතැනද කියලා හිතන්න ඕනෑ.

හැකියාවේ අඩුවක්ද ?

වෙන රටවල් එක්ක ගනිද්දි හැකිය‍ාවේ අඩුවක් නම් පේන්න නෑ. මානසිකව තමයි මේ අවුල අපේ ක්‍රීඩකයන්ට ලිහා ගන්න බැරි වෙලා තියෙන්නේ.

ක්‍රීඩාවේ අමාරු අවස්ථාවකට ආවාම පීඩනය දරා ගැනීමේ ගැටලුවක අපේ අය පැටලෙනවා කියලා පැහැදිලිවම පේන්න තියෙනවා. පීඩනය දරා ගැනීමේ හැකියාව ගැන අපේ ක්‍රීඩකයන් මීට වඩා අවධානය යොමු කරන්න ඕනෑ. හැකියාවෙන් අඩුවක් නෑ. මානසික පීඩනය දරා ගෙන ක්‍රීඩා කරනවා නම් ඉහළ යන්න පුළුවන්.

මේ හැම දෙයක්ම දරාගෙන ඉදිරියට යන ක්‍රීඩකයෝ?

විරාට් කෝලි ඉහළින් ම ඉන්නවා. දෝනි, ස්ටිව් ස්මිත්, ජෝ රූට් වගේ ක්‍රීඩකයෝ තරගයක ඕනෑම පීඩනයක් දරාගෙන ඉදිරියට යන අයයි. මේ පීඩනය වඩාත් බලපාන්නේ පිතිකරුවන්ට, ඔවුන්ට එක අවස්ථාවයි තිබෙන්නේ ඉනිමක් ගොඩනගා ගන්න. පීඩාව වැඩියෙන් දැනෙන්නේ පිතිකරුවන්ට. එය ඔවුන් පාලනය කර ගන්න දැන ගන්න ඕනෑ.

අපේ තත්ත්වය අසතුටුදායකයි?

ඔව්, අපේ ක්‍රීඩකයෝ තව කැපවීමෙන් ඉගෙන ගන්නවා නම් මේ හැම පීඩනයක් ම දරා ගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයි. මේක ලෙහෙසි නෑ. ඒක තේරුම් ගන්න ඕනෑ.

ඇත්තටම මොනවද වෙලා තියෙන්නේ?

ඒක අපටත් සමහර වේලාවට තේරුම් ගන්න අමාරුයි. ක්‍රීඩකයෝ ම තමයි මේ දේවල් ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩු හදා ගෙන ඉදිරියට එන්න. පහසුකම් නැතුව නෙවෙයි. ඕනෑ තරම් පුහුණුකරුවන් ඉන්නවා. මෙතැනින් එළියට යන්න ඕනෑ දක්ෂයෝ. මොකද ඔවුන්ට හම්‍බ වෙන්නේ තවත් දක්ෂයෝ පිරිසක් මිසක් නිකන්ම නිකන් ක්‍රිකට් ගහන පිරිසක් නෙවෙයි. ලෙහෙසියෙන් ලකුණක් ගහන්න බෑ. විකට් එකක් ගන්න බෑ. මොන අභියෝගයක් ප්‍රතිවාදීන්ගෙන් ආවත් එයට මුහුණ දීමේ හැකියාව තියෙන්න ඕනෑ.

සංගා සහ මුරලි මේ දේවල් මොන තරම් ප්‍රගුණ කරලා තිබ්බද?

ඔවුන් දෙන්නා උපරිමයෙන් කැපවෙලා ගමනක් ගිය දෙන්නෙක්. මොන අභියෝගයක් ප්‍රතිවාදින්ගෙන් එල්ල වුණත් ඔවුන් ඒ අභියෝග ජය ගත්තා. ක්‍රිකට්වල ඔවුන් දිගු ගමනක් ගියේ ඒ නිසයි.

ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට්හි දැන් දරන වගකීම මොකක්ද?

පිට පළාත්වල දිස්ත්‍රික්කවල ඉන්න පුහුණුකරුවන් සමඟ වැඩ කරලා, නවක ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සොයා බලන එක වගේම ඔවුන්ට උපදෙස් දීම, පුහුණු කරුවන් සමඟ එකතු වෙලා මේ ගමන ඉදිරියට ගෙන යාම තමයි.

මේ පුහුණු කරුවන්ට හොඳ දැනුමක් තියෙනවා. හුගක් වෙලාවට දකින්න තියෙන්නේ සමහර ප්‍රදේශවල යටිතල පහසුකම්වල අඩු පාඩු තමයි. විකට් හරියට නෑ. නවකයන් ඉදිරියට ගන්න නම් මේවා හරියට තියෙන්න ඕනෑ. දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන විදියට තමයි මේ දේ ක්‍රියාත්මක වෙන්නේ. පුහුණුකරුවාටත් ලොකු වගකීමක් තියෙනවා.

විදේශිය පුහුණුකරුවන්ගේ අවශ්‍යතාව දකින්නේ කොහොමද?

විදේශ පුහුණුකරුවන් හැම වෙලාවෙම අලුත් වන ලෝකයක් එක්ක ඉදිරියට යන අය. දැන් අපේ ක්‍රීඩකයන්ට තියෙන ලොකුම ගැටලුව තමයි භාෂාව පිළිබඳ තියෙන ගැටලුව. වටහා ගැනීමේ ලොකු ගැටලුවක අපේ ක්‍රීඩකයෝ පැටලිලා ඉන්නවා. සන්නිවේදනය කියන ගැටලුව තමයි මූලිකවම බලපාලා තියෙන්නේ. දේශීය පුහුණුකරුවන්ට මේ භාෂාමය ගැටලුව නැති වුණාට ඔවුන්ට තියෙන අත්දැකීම් ප්‍රමාණවත්ද කියන ගැටලුවක් තියෙනවා.

කළමනාකරුවකු විදියට වැඩ කළේ කොයි කාලයේදී ද?

2010 – 2012 කාලයේ තමයි ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විදියට වැඩ කළේ. ඒ කාලයේ අපට විශිෂ්ට ක්‍රීඩකයෝ හිටියා. සංගා, මහේල - මුරලි- ඩිල්ෂාන්, ඔවුන්ගේ ක්‍රිකට් දැනුමත් ඉහළ මට්ටමක තිබුණා.

2011 ලෝක කුසලාන තරගාවලියේ අපි අනුශූරයෝ වුණා. ඒ අවසන් තරගයෙන් අපට ගොඩ එන්න බැරි වුණා. දෝනිගේ විශිෂ්ට ඉනිම නිසා. ඔවුන්ගේ මුල් කඩුලු දෙක ඉක්මනින් බිඳ දැම්මට ඒ පීඩනය දිගට ම රඳවා ගන්න බැරි වුණා. මාලිංග මුල් අවස්ථ‍ාවේ ඊ‍ට වඩා පන්දු වාර සංඛ්‍යාවක් යවන්න තිබ්බා. ගම්බීර්ගේ උඩපන්දුව ගිලිහීයාමත් හේතු වුණා. ඊට අමතරව මුළු ඉන්දියාවේ ම පීඩනය, මේ හැම දෙයක්ම බල පෑවා.

වර්තමානයේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විනය ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවා සම්බන්ධයෙන් සංවේදී ද?

ක්‍රීඩකයෝ රට නියෝජනය කරන කොට වගකීමක් තියෙනවා, හැම දෙයකින් අනිත් අයට ආදර්ශයක් වන විදියට ඉන්න. ඒ දේවල් හරියට ක්‍රියාත්මක කර ගැනීම තමන්ට අයිති දෙයක්. ස්වයං පාලනයක්, ස්වයං විනයක් තමන් ගොඩ නගා ගන්න ඕනෑ. මේවා ‍පොලිසි - උසාවි මගින් අවවාද දිලා හරි කියලා දෙන තැනට හරි යන්න කලින් තමන්ම හදා ගන්න ඕනෑ. නැත්නම් තවත් අවුල් ඇති වන එක නවත්වන්න බෑ. අපි තනියම අපේ දේවල් හදා ගන්නවා නම් ඔය කාටවත් ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න වෙන්නේ නෑ. ඔක්කෝම අවුල් කර ගත්තම පස්සේ නීති රීති දාලා හදලා හරියන්නේ නෑ. අපි කතා කරපු දේවල් වලින් ටිකක් හරි අද ඉන්න ක්‍රීඩකයන්ට ගන්න පුළුවන් නම් ඔවුන්ට දිගු ගමනක් යන්න පුළුවන් වෙයි.

Comments