ක්ලබ් වසංගතයෙන් ක්‍රීඩාව බේරාගනිමු | සිළුමිණ

ක්ලබ් වසංගතයෙන් ක්‍රීඩාව බේරාගනිමු

අපේ රටේ සියලු දේ ජරා ජීර්ණ වී ඔජස් ගලන තත්ත්වයට ම කුණු වී තියෙද් දී ලාංකියන්ට මුව පුරා කතා කිරීමට දෙයක් ඉතිරි වී තිබුණි නම් ඒ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් විය යුතුය. අනූව දශකයේ මැද භාගයේ සිට ම ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ප්‍රබල මට්ටමක පසු විය. එකී ප්‍රබලතාව කොතෙක්ද යත් 1996 ක්‍රිකට් කිරුළ දිනා ගැනීමෙන් එය සනාථ වෙයි. නමුත් ඊට පසු සිදු වූයේ කුමක්ද? ක්‍රිකට් කිරුළ හරහා මෙරට තුළම පොම්ප වූ මුදල් කන්දරාවට වහ වැටුණන් අද වන විට එය වළපල්ලට දක්කා ගෙන යමින් සිටිති. ආගමික ‍හෝ ජාතික අතින් ගත්තද ලාංකේය සමාජයේ මුල් බැස ගෙන ඇති ජරාජීර්ණ සමාජ විරෝධයන් දුරස් වූ එකම තැන ක්‍රිකට් පිටිය පමණක් විය. මේ සියලු කරුණු කාරණා මේ වන විට සෝදා පාළුවට ලක් වී කුණු ගොඩක් බවට පත්ව තිබෙන්නේ ඇයිද යන්න විමසා බැලීමට පසු ගිය සති කිහිපය තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ සිද්ධි මාලාව ප්‍රමාණවත්ය. ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ යැයි ද එය මහත්වරුන්ට උරුම යැයි ද අද කෑ ගසා පැවැසීමට නොහැකි තැනකට ම පත්වී තිබෙන බව පැහැදිලිය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට ප්‍රධාන හේතුව ක්‍රීඩකයන්ට නිදහස ලැබී පීඩනයෙන් මිදී ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවැසුවේ මෙරටට පැමිණීමෙන් අනතුරුවය. මැයි අග ආරම්භවන මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හරි හමන් නායකයකු නොමැති කළ දිමුත්ගේ නම ද ඉහළින්ම කියැවිනි. එවන් පසුබිමක දිමුත් බීමතින් සිදු කළ අනතුරක් නිසා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ. මේ පිළිබඳ FBපිටුවට තවත් ක්‍රීඩකයකුගේ ඡායාරූපයක් මුදාහැර තිබූ FB පාඨකයකු එකි ක්‍රීඩකයාගේ ප්‍රකාශයක් ලෙස සටහන් කර තිබුණේත් තනියම ක්ලබ් ගියාට තොට හොඳ වැඩේ යන්නයි. මෙකී ප්‍රකාශය මගින් ගම්‍ය වන්නේ වෙනකක් නොව, ක්‍රීඩකයන්ගේ ක්ලබ් වසංගතය බව පැහැදිලිය.

මීට මාස කිහිපයකට පෙර බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ‍ට රාත්‍රි සමාජ ශාලාවක රවුම් ගසා තම නවාතැන් පොළ සොයා ගැනීමට නොහැකිව එකී සංචාරය අතරතුරම ගෙදර එන්නට සිදුවිය. එහි දී වැන්ඩසේ සමඟ තවත් ‍තිදෙනකු රාත්‍රි සමාජ ශාලාවකම කරක් ගසා තිබූ අතර, ඉතිරි තිදෙනා රාත්‍රියේම හෝටලයට පැමිණ ඇති අතර, වැන්ඩසේ එහි දී අතරමංව තිබේ. වැන්ඩසේ එහි දී අතරමං වූ නිසා මේ සිද්ධිය හෙළිදරව් වූ අතර, එය එසේ නොවුණී නම් සියලු සිද්ධි යහතින් ම ගලා යනු ඇත.

දිමුත්ගේ බීමත්කම ද අනතුරක් සිදු වීම නිසාම හෙළිදරව් වූ අතර, එය එසේ නොවුණි නම් සියලු සිද්ධි යහතින්ම ගලා යනු ඇත.

1982 බන්දුල වර්ණපුරගෙන් ආරම්භ වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයන්ගේ නාමාවලියේ බේබද්දෙකු ලෙස පොලිස් පොත්වල සටහන් වූ ප්‍රථම සහ එකම නම දිමුත් නම් විය. එය ලෙහෙසියෙන් බැහැර කළ හැකි කරුණක් නොවේ.

පසුගිය වසරේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලාංකේය ක්‍රීඩා සංගම් සම්මේලන ප්‍රධානීන් එක් වූ මාධ්‍ය හමුවට විගණකාධිපති ගාමිණි විජේසිංහට ද ආරාධනා කර තිබුණි. එහි දී විගණකාධිපතිවරයා කළ කතාව නැවත නැවත සිහිපත් කර‍ගත යුත්තේ වෙනකක් නිසා නොව, අපේ රටේ ක්‍රීඩාවේ නිලධාරීන් අල්ලන අඩව්වල හැටියට දිමුත් කරුණාරත්නලා වැනි අය බඩ පිනුම් ගැසීම ගැන කවර කතාවද යන්නයි. රටෙන් ක්‍රීඩාව ගිලිහිලා යන විදිය දැක්කම, රටේ ක්‍රීඩාවට වෙන දේ දැක්කම මට දුකයි. මේක නිවැරදි වෙන්න ඕනෑ. ඒ විගණකාධිපතිවරයාගේ හඬයි. විගණකාධිපති වරයාගේ මේ කතාව තුළ වැඩිදුරටත් කියැවෙන්නේ කුමක්දැයි යන්න සොයා බැලීමට අවැසි නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැ‍ඟීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මහේල, සංගා, මුරලි, සහ රොෂාන් මහානාමගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම තුළින්ම පැහැදිලිය. මේ සියලු දෙනා එක හඬින් එහි දී පැවැසුවේ ක්‍රිකට් නම් ජරා ජීර්ණ වූ කුණු ගොඩට කර ගැසීමට තමන් අකැමැති බවය. එමෙන්ම තමන්ව පාවිච්චි කරමින් මේ කුණුගොඩ සුද්ධ පවිත්‍ර කර ගැනීමට කිසිවකු හෝ සිහින දකින්නේ නම් එය කවදාවත් සැබෑ නොවන බවය.

වැන්ඩාසේගේ සමාජ ශාලා සිද්ධිය ගත්තද, දිමුත් බීමත්ව සිදු කළ රිය අනතුර සිද්ධීන් දෙකක් ලෙස ඇවැසි නම් ලඝු කළ හැකිය. නමුත් ප්‍රශ්නය වන්නේ නීති රීති රාමුවක් තුළ ගිවිසුම් ගත ක්‍රීඩකයන් අතින් ම නීතිවිරෝධි සහ විනය විරෝධී ක්‍රීයාවන් සිදුවිමය. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම තුළින් ම මෙහි බරපතළ අවුලක් තිබෙන බව පැහැදිලිය. පසුගිය කාලයේ සමාජ ශාලා, මත්ද්‍රව්‍යය භාවිතය තුළින් සිදු වූ සිදුවීම් රාශියක් වන සිද්ධීන් රැසක්ම වාර්තා විය. ඒවා සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගත්තේ ද යන්න ඇත්තේ සැක සංකා පමණි. ක්‍රීඩකයන්ට විනයක් තිබිය යුතුය. කළෙක පටන්ම රටම අයාලේ යන තැනක ඇති විට එක් අයකුගේ හෝ දෙදෙනකුගේ විනය ‍හෝ වෙන යම් දේ ගැන කතා කිරීමද ඵල රහිතය.

 

අදහස්