ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් වැඩ කරන්නේ | සිළුමිණ

ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් වැඩ කරන්නේ

මෙරට ක්‍රීඩා සංගම්වල නිලධාරින් ක්‍රීඩාව වෙනුවෙන් අවංකවම පෙනී සිටින්නේද? නැතිනම් තම තමන්ගේ වුවමනා එපා කම් ගැන පමණක් සලකා කටයුතු කරන්නේද? එසේ කටයුතු කරන ක්‍රීඩා සංගම් ගැන ක්‍රීඩා අමාත්‍යාංශයට ක්‍රීඩා ඇමැතිට වග කීමක් වග වීමක් නොවන්නේද?

විදෙස් සංචාර, ඥාති සබඳතා, යහළු මිත්‍රකම් හෝ තම ව්‍යාපාරික කටයුතු සඳහා හෝ නැතිනම් වරදාන වරප්‍රසාද උදෙසා ක්‍රීඩා සංගම්වල නිල තල උසුලන නිලධාරින් එක්ව හෝ තනිව කටයුතු කරන්නේ සංගමයේ ව්‍යවස්ථාව වෙනස් කොට හෝ ව්‍යවස්ථාවට මුවා වී හෝ ව්‍යවස්ථාවට පටහැණිව හෝ කරනුයේ ක්‍රීඩාවේ දියුණුව නොව තම වරදාන වරප්‍රසාද හිමිකර ගැනිම ට මග පාදාගැනීම නොවන්නේද? අද බොහෝ ක්‍රීඩා සංගම්වල මෙවැනි ක්‍රියාවන් නිසා ක්‍රීඩාව වලපල්ලට යමින් සිටින අතර තවත් ක්‍රීඩා කිහිපයක් වැඩිකල් නොගොස් මේ ඉරණමට ගොදුරු වනු නියතය. අද මෝටර් රථ ක්‍රීඩාවටද අත්ව ඇත්තේ එවැනිම ඉරණමකි. ශ්‍රී ලංකා ඔටොමෝබයිල් ස්පෝර්ස්ට් (SLAS) නැතිනම් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩාවේ මව් සංගමය අද වන විට ක්‍රියා කරමින් සිටින්නේද මෝටර් රථ ක්‍රීඩාව වලපල්ලට ඇදගෙන යන ගමනකය.

මෙරට මෝටර් රථ ක්‍රීඩාවට දිගු ඉතිහාසයක් ඇත. පශ්චාත් යටත් විජිත සමයේ ඇරැඹෙන මෙරට මෝටර් රථ ක්‍රීඩාව මේ වන විට දශක අටකට වැඩි කළක් පසුකර ඇත. එසේ ඇරඹෙන මෝටර් රථ ක්‍රීඩාව ක්‍රීඩා පනතේ විධිවිධානයන් ප්‍රකාරව සංගමයකට යටත් වන්නේ 1972 වසරේදීය. ඒ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය යනුවෙනි. ( Sri Lanka Association for Motor sports – SLAMS) සියලු සංගම් එක්තැන්කොට සංගමයක් යටතට එක් රැස්කරන මෝටර් රථ ක්‍රීඩාව නැවත වරක් 2003 වසරේ දී මෙරට සිටින ප්‍රවිණතම මෝටර් රථ ධාවකයකු වු සුරංජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා එවකට මෝටර් රථ ක්‍රීඩාවේ ප්‍රවිණයන් රැසකගේ මග පෙන්විම මත අධිකරණ තීන්දුවකින් සම්මේලනයක් යටතට ඒකරාශි කළේය. ඒ ශ්‍රී ලංකා ඔටොමොබයිල් ස්පෝර්ට්ස් (Sri Lanka Automobile Sports -SLAS) යටතට. සංගමය අහෝසී වී එතැන්සිට සම්මේලනය ක්‍රියාත්මකවිය. එම අවස්ථාවේදීම ජාතික තරගාවලියක්ද එළිදැක් විය. 2004 වසරේ සිට ආරම්භ වු එම මෝටර් රථ ජාතික සම්මාන 2016 වසර වන තුරු ක්‍රියාත්මකව ඇත්තේය.

නමුත් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් වත්මන් බලධරයන්ගේ යටතේ පැවැති 2016 වෙනුවෙන් 2017දි ප්‍රදානය කළ ජාතික සම්මාන ද මතභේදාත්මකය.

සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය (Ceylon Motor Sport Club – CMSC), ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්‍රීඩා සමාජය (Sri Lanka Motor Cycle Club – SLMCC) හා හස්ති ශෛලපුර මෝටර් රථ ක්‍රිඩා සමාජය ( Kurunagala Motor Sports Club – KMSC) යන ක්‍රීඩා සංගම් තුන 1972 වසරේ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය ( Sri Lanka Association for Motor sports – SLAMS) යටතට පත් වන විටත් සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය (Ceylon Motor Sport Club – CMSC), අන්තර් ජාතික මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ (FIA – Federation International Automobile) සාමාජිකත්වය ඉසිලීය. ඔවුන් එම සාමාජිකත්වය 1958 වසරේ දී ලබාගෙන තිබුණි. මෙරට මෝටර් රථ ක්‍රීඩාවට මව් සංගමයක් නොමැති මොහොතක අන්තර් ජාතික මෝටර් රථ ක්‍රීඩා සමිමේලනයේ සාමාජිකත්වය ඉසුලුවත් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය ( Sri Lanka Association for Motor sports – SLAMS) පිහිටුවීමෙන් පසු අන්තර් ජාතික මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ (FIA) සාමාජිකත්වය ඔවුන් වෙත පවරාගත යුතුව තිබුණි. නමුත් එවකට සිටි බලධාරීන් එය එසේ නොකළේ මන්ද කියා අප නොදනිමු.

ස්ලැම්ස් - ස්ලාස් වී වසර 16ක් ගත වුවත් අන්තර් ජාතික මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේ (FIA – Federation International Automobile) සමාජිකත්වය ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් (Sri Lanka Automobile Sports -SLAS) යටතට ගැනීමට වත්මන් බලධාරින් අපොහොසත් වී ඇත.එසේ කරන්නේ මන්ද කියාවත් අප නොදකනිමු. ඔවුන් උත්සහා දැරුවේ නම් එයට කුමක් සිදුවිනි ද?

ක්‍රීඩා සමාජ තුනකින් සමන්විතව ඇරැඹි ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය ( Sri Lanka Association for Motor sports – SLAMS), ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් (Sri Lanka Automobile Sports -SLAS) බවට පරිවර්තනය වන විට ක්‍රියාකාරී සංගම් අටකට වැඩි විය. ඒ අතරින් සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය (Ceylon Motor Sport Club – CMSC), ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (Sri Lanka Association of Racing Drivers and Riders – SLARDAR), ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්‍රීඩා සමාජය (Sri Lanka Motor Cycle Club – SLMCC) සාදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය (Southern Motor Sports Club – SMSC ) ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (Asian Motor Racing Club – AMRC ) හා මෝටර් රථ ක්‍රීඩා සංගමය (Motor Racing Association – MRC) කැපීපෙනෙන වැඩකොටසක් කරමින් මෝටර් රථ ක්‍රීඩාවේ ප්‍රගමනයට කටයුතු සිදුකරමින් සිටියේය. අද වන විට ඒ සියලු ක්‍රියාකාරකම් යහලුකම් හා ඥාතිකම්, වරදාන වරප්‍රසාද මත පහව ගොස් ඇත.

මා පසුගිය අතීතය පිළිබඳ කෙටි හඳුන්වා දීමක් කරමින් පිවිසීමට බලාපොරොත්තු වන්නේ අද මෝටර් රථ ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම ගැන ක්‍රීඩා ඇමැතිගේ අවධානය යොමු කිරීමටයි. ක්‍රීඩා ඇමැතිතුමනි. යන්නේ කොහේද? ඇහුවාම මල්ලේ පොල් කියන වත්මන් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් (Sri Lanka Automobile Sports -SLAS) බලධරයන් තුන් වසරක ගිනුම් වාර්ථා නොපෙන්වා ලැජ්ජා නැතිව තනතුරු දරමින් සිටීයි. එමෙන්ම මෝටර් රථ ක්‍රීඩාවේ උන්නතියට කිසිඳු වැඩසටහනක් දියත් නොකර වාර්ෂික මහා සභා රැස්විමක් නොකැඳවා මෝටර් රථ ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් යමක් කරන සංගමයකටද තම ගමන යාමට නො දී ඔබ්බුඩ්ස්මන් වරයකු ලෙස ක්‍රීයා කරන ආයතනයක් බවට පත්ව ඇත.

නමුත් තම හිතවතුන්ට එසේ නොවේ. 2016 ඔක්තෝබර් මස 27 වැනි දින අංක 1990/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද 2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග සහ 2017 පෙබරවාරී මස 13 වැනි දින අංක 2006 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද (සංශෝධිත) ජාතික ක්‍රීඩා සංගම් නියෝගවලින් පැවැසෙන බොහෝ දේ අපහරණය කරමින් මෝටර් රථ ක්‍රීඩාව ඔවුන් කිහිපදෙනකු සතු පුද්ගලික බුදලයක් සේ සලකමින් තම තම හැකි පමණ නීති රේගුලාසි වෙනස් කරමින් මෝටර් රථ ක්‍රීඩාව වලපල්ලට රැගෙන යමින් සිටියි.

2016 වසරේ මෝටර් රථ ජාතික සම්මාන ප්‍රදානය කරමින් නැටූ විගඩම ඒ අතරින් එකකි. සුදුස්සන් අමතක කොට නුසුදුස්සන් රජ කෙරවූ ජාතික සම්මාන ප්‍රදානය තම අඩු පාඩු වසා ගමින් ජාතික තලයේ ක්‍රීඩකයන් ලෙස කඩතුරාවෙන් මෙපිට පෙනීසිටි පුද්ගලයන් සුදුස්සන් අභිබවා යමින් තම මඩිස්සලේ තර කරගත් අවස්ථාවක් ලෙස 2016 මෝටර් රථ ජාතික සම්මාන ප්‍රදානය සැලැකිය හැකිය. පසුව වත්මන් ස්ලාස් බලධරයන් තම වැරැද්ද නිවැරදි කරගැනිමට ප්‍රයත්න දරමින් නැවතත් එම ජාතික සම්මාන නිවැරැදි කිරීමට ගියත් එය එසේ කළ නොහැකි විය. සම්මානලාභීන් නැවත සම්මාන ලබාදිම ප්‍රතික්ෂේප කළහ. තම හිතවතුන් හා ඥාතීන් එවා බෙදාහදා ගත්හ.

ජාතික සම්මාන ප්‍රදානයවත් නිසිලෙස කළ නොහැකි වු වත්මන් බලධරයන් පසුගිය වසරේ ක්‍රීඩා සංගමයක් විසින් සංවිධානය කර තිබු සම්මාන ප්‍රදානයක් අවලංගු කළේය.එම අවලංගුව නිකුත් කරන්නේද විධාය කසභාවේ කිසිදු අනුමැතියකින් තොරවය. තුන් වසරක ශ්‍රී ලංකා ඔටෝමෝබයිල් ස්පෝර්ට්ස් ගිනුම් වාර්තා නොපෙන්වා සිටින සංගමයක් අධිකරණය වාරණ නියෝගයකට යටත්ව සිටින මොහොතකය. නමුත් එම සංගමය ඒ වන විටත් සමස්ත ක්‍රීඩාවේම මෙතෙක් ප්‍රදානය නොකළ ත්‍යාග ප්‍රදානයක් සිදුකිරීමට සැලැසුම් කර තිබුණි. ඔවුන් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් (Sri Lanka Automobile Sports -SLAS) බලධරයන්ගේ නියෝග පසකළා විශාල වියදමක් දරමින් දින වෙන්කරගනිමින් හෝටල් වෙන්කරගනිමින් කර තිබූ සම්මාන ප්‍රදානය සිදුකළේය. පසුව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් බලධරයන් එම සංගමයට තහනම ක්‍රීයාත්මක කළේය. එම සංගමයට ද ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ උදෙසා ලබාදිමට තිබු මුදල් යොමුකොට අධිකරණයේ පිහිට පැතිය යුතු විය. අධිකරණය සත්‍ය උදෙසා පෙනී සිටිමින් තින්දුව ලබාදෙමින් නැවතත් එම සංගමයට තම තරගාවලිය එළි දැක්විමට අවසරය ලබාදුනි.

“යමක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතු“ (හුණුවටයේ කතාව - බර්තෝල්ට් බ්‍රෙෂ්ට්) ප්‍රකට කියමන සනාත කරමින්ය. නමුත් ඒ වන විටත් අශ්වයා ඉස්තාල යෙන් පැන ගොස් ඇති බව අපට පැවැසුවේ එම සංගමයේ සභාපතිවරයාය. තරගකරුවන් උදෙසා ලබාදීමට තිබූ ත්‍යාග ක්‍රීඩා ඇමැතිතුමනි, අපමන කැපවීමකින් ලබාගන්නා දෙයක් වෙයි. එය ලබානොදෙන්න කටයුතු කරන ක්‍රීඩා සම්මේලනය කුමක්ද? එවැනි ක්‍රීඩාවකට හෙට දවසක් තිබිය හැකිද? කිසිවක් නොකළ කිසිවක් කරකියා ගත නොහැකි පිරිසක් අද වන විට ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් ප්‍රධාන නිලතල දරමින් මේ කටයුතු කරමින් සිටින්නේ මෝටර් රථ ක්‍රීඩාවේ උන්නතියටද නැතිනම් මළගමටද?

එදා ඒ තහනම නොවන්නට මේ වසරේදීද නවීනතම මෝටර් රථ තුනක් ප්‍රදානය කිරීමට සැලැසුම් සකස්කර තිබූ බව පවසන එම සංගමයේ සභාපති මාධ්‍ය හමුවේ පවසා සිටින්නේ අප සමඟ සිටි අනුග්‍රහකයන් අපගේ තහනම හේතුකොට ගෙන අපගෙන් ඉවත් වු බවයි. ඔවුන්ට දොස් කියන්න බෑ. එසේ නොවන්නට පසුගිය වසරට සාපේක්ෂව ඊට නොදැවෙනි ත්‍යාග ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට අප සංගමය සැලසුම් සකස්කොට මෝටර් රථ වෙන් කොට තිබූ බව වගකීමෙන් ඔහු පවසයි. ගිය වසරේ දී මෝටර් රථ දෙකක් හා යතුරුපැදි දෙකක් ප්‍රධානය කළ සංගමය මේ වසරේ දී යතුරුපැදි දෙකක් පමණක් ප්‍රදානය කිරීමට සැලැසුම් කර ඇත. “අපට උසාවි ගානේ රස්තියාදු නොවී ක්‍රීඩාවට යමක් කිරීමට තිබුණිනම් පසුගිය වසරට වඩා යමක් කිරීමේ අභිලාෂය“ තිබූ බව ඔහු වැඩිදුරටත් පවසයි.

ක්‍රීඩා ඇමැතිතුමනි තමන් විසින්ම ඇතුළත් විමේ ඇයදුම් පතක් සමඟ ඒ ඒ තරගයට අදාළ ගාස්තුද ගෙවමින් තම මෝටර් රථය තමන් විසින්ම ධාවන පථයට ප්‍රවාහනය කරමින් ඒ සඳහාද මුදල් වැයකරමින් කොළඹින් බැහැරව පවත්නා තරග සඳහා නවාතැන් පහසුකම් කෑම බිම ඉදුම්හිටුම් සපයාගනිමින් තමන්ගේ කාර්මික ශීල්පීන්ගේ නවාතැන් කෑම බිම ඉදුම් හිටුම් හා අනෙකුත් උවමනා සපුරාලමින් තරගකරන තරග කරුවන්ට අවසන හිමිවන්නේ කුමක්ද? තරගයෙන් ස්ථානයක් හිමි වුවත් සහතික පතක් සමඟ කුසලානයක් පමණි. නැතිනම් කිසිවක් නැත. එවන් වට පිටාවක මෙවැනි අති විශාල ජයමල්ලක් ක්‍රීඩකයෙකුට හිමිවිම වැලැක්විම කාගේ නීතියක්ද?

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් වත්මන් බලධරයන් මෝටර් රථ ක්‍රීඩාවේ දියුණුවට පත්ව සිටින පාලකයන් මිස අයිතිකරුවන් නොවන්නේය. ඔවුන් කටයුතු කරමින් සිටින්නේ ඔවුන් පරම අයිතිය බුක්තියෙන් හිමි වු පිරිසක් ලෙසයි.

Comments